මේ මස 14 වැනිදා සිට 23 වැනිදා දක්වා කටාර් හි දී පැවැත්වීමට නියමිත Asia Cup Rising Stars 2025 විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා A කණ්ඩායම (12) මව්බිමෙන් පිටත් වුණා.
දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් හිමි වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම ඇතුලත්.
ඊට අමතර ව පළපුරුදු පළමු පෙළ ක්‍රීඩයන් සේ ම දක්ෂ යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද මෙම කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා.
මේ Asia Cup Rising Stars තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තැබෙන සටහනක්.
දුනිත් වෙල්ලාලගේ
තවමත් 22 හැවිරිදි වියේ පසුවෙන දුනිත් වෙල්ලාලගේ මේ වන විට ටෙස්ට් තරගයක්, එක්දින ජාත්‍යන්තර තරග 31ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6ක අත්දැකිම් සපිරි ක්‍රීඩකයෙක්.
ඔහුගේ දක්ෂතා අතර එක්දින ජාත්‍යන්තර කඩුලු 39ක්, පළමු පෙළ කඩුලු 104ක්, පළමු පෙළ එක්දින කඩුලු 101ක් සහ විස්සයි විස්ස කඩුලු 66ක් තිබෙනවා. වමත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන දුනිත් වෙල්ලාලගේ පළමු පෙළ සහ පළමු පෙළ එක්දින ලකුණු 1000 කඩඉම ද සපුරා ඇති ක්‍රීඩකයෙක්.
රමේෂ් මෙන්ඩිස්
ටෙස්ට් තරග 16ක, එක්දින ජාත්‍යන්තර තරග 4ක සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 4ක අත්දැකීම් සපිරි රමේෂ් මෙන්ඩිස් මෙම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයායි.
පළමු පෙළ තරග 101ක් ක්‍රීඩා කර ඇති රමේෂ් මෙන්ඩිස් ඉනිම 146ක දී ශතක 12ක් සහ අර්ධ ශතක 26ක් සමඟින් ලකුණු 5229ක් ද සහ ඉනිම 164ක දී කඩුලු 304ක් ලබා සිටින ප්‍රමුඛ පෙළ ක්‍රීඩකයෙක්.
දකුණත් මැද පෙළ පිතිකරුවෙක් ලෙසත් සහ දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසත් දක්ෂතා දක්වන රමේෂ් මෙන්ඩිස් මේ වන විට ටෙස්ට් කඩුලු 71ක් ලබා සිටින අතර ටෙස්ට් තරග පිටියේ කඩුලු අර්ධ ශතකයක් කරා වේගයෙන් ගමන් කළ මෙරට ක්‍රීඩකයන් අතර 2 වැනි ස්ථානයේ සම ව අසුන් ගැනීමට ද ඔහු සමත් ව සිටිනවා.
නිශාන් මදුශ්ක
26 හැවිරිදි වියේ පසුවෙන නිශාන් මදුශ්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 10ක ඉනිම් 18ක දී ලකුණු 571ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 8ක ඉනිම් 7ක දී ලකුණු 182ක් ලබා ඇති ක්‍රීඩකයෙක්. ඔහුගේ මෙම තරග අතර ටෙස්ට් ශතකයක්, ටෙස්ට් අර්ධ ශතක ද්විත්වයක් සහ එක්දින අර්ධ ශතක ද්විත්වයක් ද ඇතුලත්.
CCC කණ්ඩායම නියෝජනය නිශාන් මදුශ්කගේ අවසන් ඉනිම් 10 තුළ ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිම සහිත ශතකයක ද සහ ඊට අමතර ව අර්ධ ශතක 2ක් ද ඇතුලත් අතර කණ්ඩායමේ කඩුලු රකින්නා සහ ආරම්භක පිතිකරු ලෙසින් ද ඔහු කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.
මිලාන් රත්නායක
ටෙස්ට් තරග 5කට සහ එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇති 29 හැවිරිදි වියේ පසුවෙන මිලාන් රත්නායක සංචාරය සඳහා එක් වෙන කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දුයවන්නන්ගේ කඳවුරේ ප්‍රධාන ක්‍රීඩකයෙක්.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන මිලාන් රත්නායක මේ දක්වා පළමු පෙළ තරග 53ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 1052ක් සහ කඩුලු 121ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.
එමෙන් ම මිලාන් රත්නායක තමන් සහභාගී වූ පළමු ටෙස්ට් තරගයේ දී ම ටෙස්ට් ක්‍රිකට් වාර්තා ද්විත්වයක් පිහිටුවීමට ද සමත් වෙමින් විශේෂ අවධානයට ලක් වූ ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් අංක 9 පිතිකරුවෙක් හෝ ඊට පහළ පිතිකරුවෙක් සිය මංගල ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා මෙන් ම සිය මංගල ටෙස්ට් තරගයේ දී අංක 9 පිතිකරු ලෙසින් ලත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ක්‍රීඩකයා බවට ද ඔහු පත්වෙනවා. ඔහු එහි දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 72ක්.
- ගියවර ශූරයෝ මෙවර Bowl ශූරතාවට හිමිකම් කියයි
- පාකිස්තානයට යන ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිත නම් කරයි
- දුනිත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායම ආසියානු කුසලානයට!
ප්‍රමෝද් මදුශාන්
31 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන ප්‍රමෝද් මදුශාන්, මෙම කණ්ඩායම හා එක්වෙන ප්‍රධාන වේග පන්දුයවන්නන්ගෙන් එක් අයෙක්. මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 9කට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 8කට සහභාගී වී ඇති ප්‍රමෝද් මදුශාන් වඩාත් ම දක්ෂතා දක්ෂතා ඇත්තේ පළමු පෙළ එක්දින තරගවලදීයි.
එහි දී ඔහු මෙතෙක් සහභාගී වූ තරග 88ක දී කඩුලු 113ක් ලබා තිබෙනවා.
නුවනිඳු ප්‍රනාන්දු
එක්දින ජාත්‍යන්තර තරග 6ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කට සහභාගී වී ඇති 26 වැනි වියේ පසුවෙන දකුණත් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු මෙම කණ්ඩායමට එක් වෙන වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයෙක්.
මේ දක්වා පළමු පෙළ තරග 65කට ක්‍රීඩා කර ඇති නුවනිඳු ප්‍රනාන්දු ශතක 15ක් සහ හයේ පහර 11ක් සමඟින් ලකුණු 3617ක්, පළමු පෙළ එක්දින තරග 73ක දී ලකුණු 2107ක් සහ විස්සයි විස්ස තරග 69ක දී ලකුණු 1386ක් ලබා සිටිනවා.
එමෙන් ම ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් වරට සහභාගී වූ ඕස්ට්‍රේලියා A කණ්ඩායම සමඟ පැවැති සිව් දින තරගාවලියේ සේ ම එක්දින තරගාවලියේ ද වැඩිම ලකුණුලාභියා ද වූවා.
සහන් ආරච්චිගේ
29 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සහන් ආරච්චිගේ ද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයෙක්.
NCC කණ්ඩායම නියෝජනය කරන සහන් ආරච්චිගේ, පළමු පෙළ ශතක 8ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 3778ක් ද සහ කඩුලු 51ක් ද පළමු පෙළ එක්දින තරග 113ක දී ලකුණු 2772ක් සහ කඩුලු 77ක් ද ලබා ගනිමින් ද මෙම තරගාවලිය සඳහා එක් වේ.
ලසිත් කෲස්පුල්ලේ
දකුණතින් පන්දුවට පහර දෙන 27 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක පිතිකරුවෙක් වන ලසිත් කෲස්පුල්ලේ, පළමු පෙළ තරග 63ක දී ශතක 9ක් සහ අර්ධ ශතක 22ක් සමඟින් ලකුණු 4015ක් ලබා සිටින ක්‍රීඩකයෙක්. ඔහුගේ තරග අතර 2023 වසරේ ඔක්තෝබරයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහි ව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ද ඇතුලත්.
මේ වන විට CCC කණ්ඩායම නියෝජනය කරන ලසිත් කෲස්පුල්ලේ ගේ අවසන් ඉනිම් 10 තුළ ඇත්තේ ඉනිම් 9කට පෙර ලබා ගත් එක් අර්ධ ශතකයක් පමණයි. ඒ නිමා වූ ඕස්ට්‍රේලියා A සංචාරයට එරෙහිවයි.
විජයකාන්ත් වියස්කාන්ත්
23 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක්. විස්සයි විස්ස දේශීය තරග පිටියේ වැඩි දක්ෂතා දක්වන විජයකාන්ත් වියස්කාන්ත් මේ වන විට තරග 57ක දී කඩුලු 62ක් ලබා සිටිනවා.
අහන් වික්‍රමසිංහ
24 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු අහන් වික්‍රමසිංහ මෙම කණ්ඩායම හා නම් කර ඇත්තේ පිතිකරුවෙක් ලැයිස්තුවටයි. මේ වනවිට NCC කණ්ඩායම නියෝජනය කරන අහන් වික්‍රමසිංහ ගේ අවසන් ඉනිම් 5 තුළ ශතකයක් ද සමඟින් ලකුණු 167ක් රැඳී තිබෙනවා.
එමෙන් ම පළමු පෙළ තරග 47ක දී ශතක 6ක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු2677ක් ද සහ පළමු පෙළ එක්දින තරග 56ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1355ක් ද ඔහුගේ දක්ෂතා අතර තිබෙනවා.
- රිච්මන්ඩ් පරාජය කළ මහානාමයන් Tier A ශූරයන් වෙයි
- රැජිණියන්ගේ මංගල ගැටුමේ ජය අනුලා විද්‍යාලයට
- මිනුවන්ගොඩ ජනාධිපතිවරුන් ජය ගනී
සොහාන් ද ලිවේරා
25 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු සොහාන් ද ලිවේරා, කඩුලු රකින්නෙක් ලෙසින් ද කටයුතු කරන ක්‍රීඩකයෙක්. ඔහු මේ දක්වා පළමු පෙළ තරග 43ක දී ශතක 6ක් සහ අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2679ක් ලබා ඇති අතර කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 114කට දායකත්වය දක්වා තිබෙනවා.
එමෙන් ම පළමු පෙළ එක්දින තරග 55ක දී ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 992ක් සහ කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 61කට දායකත්වය දක්වා තිබෙනවා.
ඔහුගේ අවසන් ඉනිම් 5 ඇතුලත වූ අවසන් ඉනිමේ දී ඕස්ට්‍රේලියා A කණ්ඩායම එරෙහි ව නොදැවී ලබා ගත් අර්ධ ශතකයක් ද ඇතුලත්.
විශේන් හැළඹගේ
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වූ විශේන් හැළඹගේ මේ වෙද්දී ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ එක්දින තරග 17ක් සහ විස්සයි විස්ස තරග 20කට පමණයි.
එම තරගවල දී ඔහු වඩාත් දක්ෂතා දක්වා ඇත්තේ විස්සයි විස්ස තරවලදීයි. ඔහු විසින් නිමා කර ඇති විස්සයි විස්ස තරගවල දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 539ක් ලබා සිටින අතර කඩුලු 11ක් ද ඒ අතර තිබෙනවා.
එක්දින තරගවල ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 294ක් සහ කඩුලු 2ක්.
ඉසිත විජේසුන්දර
28 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් මෙම කණ්ඩායම හා එක් වෙන ඉසිත විජේසුන්දර මේ වන විට පළමු පෙළ තරග 46ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 845ක් ද සහ කඩුලු 112ක් ද, පළමු පෙළ එක්දින තරග 46ක දී ලකුණු 411ක් සහ කඩුලු 52ක් ද ලබා ඇති ක්‍රීඩකයෙක්.
ට්‍රවින් මැතිව්
තවමත් 21 හැවිරිදි වියේ පසුවෙන ට්‍රවින් මැතිව් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කර තිබෙනවා.
ඔහු මේ දක්වා සහභාගී වී ඇත්තේ පළමු පෙළ තරග 2කට, පළමු පෙළ එක්දින තරග 20කට සහ විස්සයි විස්ස තරග 12කට පමණයි.
ගරුක සංකේත්
මෙම සංචාරය සඳහා එක් වෙන ළාබාලත ම ක්‍රීඩකයා වෙන්නේ 20 හැවිරිදි වියේ පසුවෙන ගරුක සංකේත්. ලසිත් මාලිංග ගේ ඉරියව්වෙන් පන්දු යවන ගරුක සංකේත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම ද නියෝජනය කළා.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















