ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ හොංකොං පරාජය කරයි

127

ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (17) Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වු අතර එහි දී නිමා වූ එම තරගවල දී ශ්‍රී ලංකා A කණ්ඩායම, හොංකොං කණ්ඩායම පරාජයට පත් කිරීමටත් සහ බංග්ලාදේශ A  කණ්ඩායම, ඇෆ්ගනිස්තාන A කණ්ඩායම පරාජයට පත් කිරිමටත් සමත් වෙනවා.

බංග්ලාදේශ A කණ්ඩායම මේ ලබා ගත්තේ තම 2 වැනි ජයග්‍රහණය වන අතර හොංකොං කණ්ඩායම මේ ලැබූවේ 2 වැනි පරාජයයි.

7 වැනි තරගය, ශ්‍රී ලංකා A කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හොංකොං කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 117ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කරමින් සහභාගී වුණා. ඒ පෙර තරගය හා එක් වූ ඉසිත විජේසුන්දර වෙනුවට ට්‍රවීන් මැතිව් එක් කරගනිමිනුයි. හොංකොං කණ්ඩායම පෙර තරගයට එක් වූ කණ්ඩායම් සාමාජිකයන් ගෙන් ම සමන්විත වුවා.

ශ්‍රී ලංකා A කණ්ඩායම

 

දුනිත් වෙල්ලාලගේ (නායක), නිශාන් මදුශ්ක, විශේන් හැළඹගේ, ලසිත් කෲස්පූල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, මිලාන් රත්නායක, රමේෂ් මෙන්ඩිස්, ට්‍රවීන් මැතිව්, විජයකාන්ත් වියස්කාන්ත් සහ ගරුක සංකේත්.

හොංකොං කණ්ඩායම

 

Yasim Murtaza (නායක), Zeeshan Ali (කඩුලු රකින්නා), Anshy Rath, Babar Hayat, Nizakat Khan, Aizaz Khan, Shiv Mathur, Kinchit Shah, Nasrulla Rana, Ateeq Iqbal, Ehsan Khan.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හොංකොං කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 12ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ සමත් වෙනවා. එහි දී ඉනිමේ 3 වැනි පන්දුවාරය යැවූ ට්‍රවීන් මැතිව් පිට පිට පන්දු 2ක දී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වෙන අතර ඊට පසු පන්දුවාරයේ දී නායක දුනිත් වෙල්ලාලගේ ද කඩුල්ලක් දවා ගන්නවා.

නමුත් ඉන් අනතුරු ව සිව් වැනි කඩුල්ලේ දී පන්දු 32ක දී ලකුණු 37ක සබඳතාවක් එක් කිරීමට Anshy Rath සහ Shiv Mathur සමත් වෙනවා. එහි දී Shiv Mathur පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත් අතර Anshy Rath පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟන් ලකුණු 21ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක  Yasim Murtaza පන්දු 24කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත් අතර ඉනිම අවසන් වෙද්දී  Ehsan Khan පන්දු 8ක දී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ට්‍රවින් මැතිව් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව විජයකාන්ත් වියස්කාන්ත් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ගරුක සංකේත් සහ මිලාන් රත්නායක කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ ආයු කාලය රැඳී පවතින්නේ පන්දු 4ක් දක්වා පමණයි. විශේන් හැළඹගේ පන්දු 3ක හතරේ පහරක් සමඟින් එකතු කර ගත් ලකුණු 4ක් පමණක් ලබා සිටිය දී පළමු කඩුල්ලට දැවී යනවා.

අනතුරු ව කඩුල්ලට එක් වූ ලසිත් කෲස්පුලේ ද ලබා ගන්නේ ලකුණු 13ක් පමණයි. පන්දු 12කින් සමන්විත වූ එම ඉනිමට හතරේ පහක් සහ හයේ පහරක් එක් කිරීමට සමත් වෙනවා.

අනතුරු ව කඩුල්ලේ දී පන්දු 35ක දී ලකුණු 55ක සබඳතාවක් එක් කිරීමට නිශාන් මදුශ්ක සහ නුවනිඳු ප්‍රනාන්දු සමත් වෙන්නේ ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණය පහසු කටයුත්කක් කිරමිනුයි. ඉනිම ආරම්භ කළ නිශාන් මදුශ්ක 3 වැනි කඩුල්ලට දැවී යමින් එම සබඳතාව නිමා කරන විට පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 37ක් ද ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණය කරන විට නුවනිඳු ප්‍රනාන්දු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා සිටි අතර සහන් ආරච්චිගේ පන්දු 13ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 22ක දී නොදැවුණ ලකුණු 33ක සබඳතාවක් එක් කිරීමට ද සමත් විම කැපී පෙණුනා.

කඩුලු දවා ගැනීමේ දී Anshy Rath, Yasim Murtaza සහ Nasrulla Rana කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • හොංකොංකණ්ඩායම– කඩුලු 9ක් දැවී 117 (20.0) Anshy Rath 21, Shiv Mathur 26, Yasim Murtaza 20, Ehsan Khan නොදැවී 17, ට්‍රවීන් මැතිව් 3/21, දුනිත් වෙල්ලාලගේ 2/24, විජයකාන්ත් වියස්කාන්ත් 2/11
  • ශ්‍රී ලංකා Aකණ්ඩායම– කඩුලු 3ක් දැවී 120 (13.5) නිශාන් මදුශ්ක 35, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 47, සහන් ආරච්චිගේ නොදැවී 14, Anshy Rath 1/14

ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරගයේ වීරයා – ට්‍රවීන් මැතිව් (ශ්‍රී ලංකා A කණ්ඩායම)

8 වැනි තරගය, ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සහ බංග්ලාදේශ A කණ්ඩායම අතර

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ A කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 78ක් පමණයි. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.

බංග්ලාදේශA කණ්ඩාය

 

Akbar Ali (නායක සහ කඩුලු රකින්නා), Habibur Rahman Sohan, Jishan Alam, Zawad Abrar, Rakibul Hasan, Mahidul Islam Ankon, SM Meherob, Abu Hider, Yasir Ali, Ripon Mondol, Abdul Gaffar Saqlain.

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම

 

Darwish Rasooli (නායක), Imran Mir, Noor ul Rahman (කඩුලු රකින්නා), Sediqullah Atal, Ijaz Ahmad Ahmadzai, Abdollah Ahmadzai, Nangeyalia Kharote, Farmanullah Safi, Qais Ahmad, AM Ghazanfar, Bilal Sami. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Darwish Rasooli. ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Ijaz Ahmad Ahmadzai පන්දු 26කට මුහුණ දෙමින් ලකුණු 12ක් ද සහ Qais Ahmad පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද ලබා ගන්නවා. එම ඉනිමේ අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසිමට ප්‍රතිවාදී බංග්ලාදේශ A පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අසරණ කිරීමේ දී Rakibul Hasan තම පන්දුවාර 4 ලකුණු 7කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව ආරම්භක පන්දු යැවූ Ripon Mondol ද තම පන්දුවාර 4 ලකුණු 10කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගන්නවා.

ඊට අමතර ව SM Meherob කඩුලු ද්විත්වයක් ද සහ Abdul Gaffar Saqlain කඩුල්ලක් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායම ප්‍රතිවාදී ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගන්නවා. ඔවුන් එම ඉලක්කය කරා යන්නේ තවත් පන්දු 39ක් ද ඉතිරි කර ගනිමිනුයි.

එම ජයග්‍රාහී ගමනේ දී ආරම්භක කඩුලු ද්විත්වය ලකුණු 24ක් වෙද්දී දැවී ගිය ද අනතුරු ව 3 වැනි කඩුල්ලට Zawad Abrar සහ Mahidul Islam Ankon එක් ව පන්දු 43ක දී නොදැවුණ ලකුණු 55ක සබඳතාවක් ගොඩ නගමින් තරගය ජයග්‍රහණය රැගෙන යනවා.

එහි දී Zawad Abrar පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද සහ Mahidul Islam Ankon පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී AM Ghazanfar තම පන්දුවාර 4 ලකුණු 8කට සීමා කරමින් ලකුණු 8කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඇෆ්ගනිස්තාන Aකණ්ඩායම සියලුම දෙනා දැවී 78(18.4) Darwish Rasooli 27, Ripon Mondol 3/10, SM Meherob 2/14, Rakibul Hasan 3/07
  • බංග්ලාදේශ Aකණ්ඩායම– කඩුලු 2ක් දැවී 79 (13.3) Zawad Abrar නොදැවී 24, Mahidul Islam Ankon නොදැවී 27, AM Ghazanfar 2/08

බංග්ලාදේශ A කණ්ඩායම කඩුලු 8ක ජයක්.

තරගයේ වීරයා – Ripon Mondol (බංග්ලාදේශ A කණ්ඩායම)

තරගාවලියේ පාකිස්තාන Shaheens කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම මෙන් ම ඉන්දීය A කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර දිවා/රාත්‍රී තරගයත් හෙට (18) Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

Asia Cup Rising Stars 2025 තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<