විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය මේ මස 13 වැනිදා Abu Dhabi හි Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන මෙම තරගය තරගාවලියේ 5 වැනි තරගයයි. බංග්ලාදේශය මෙම තරගයට එක් වෙන්නේ හොංකොං රාජ්‍ය කණ්ඩායම සමඟින් සහභාගී වූ තරගයෙන් ජයග්‍රහණය කරමින් ලත් පන්නරයත් සමඟිනුයි.
විස්සයි විස්ස ආසියානු කුසලාන තරග ඉතිහාසයේ මේ දක්වා දෙරට ක්‍රීඩකයෝ තරග ද්විත්වයක දී එකිනෙකා හමුව ඇති අතර එම තරග නිමා වී ඇත්තේ 1-1ක් ලෙස ජය හිමිකර ගනිමිනුයි. 2016 වසරේ පැවැති පළමු ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දී බංග්ලාදේශය ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර ඉන් අනතුරු ව 2022 වසරේ පැවැති 2 වැනි තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
එම තරග දත්තවලට අමතර ව ශ්‍රී ලංකාව මේ දක්වා බංග්ලාදේශය සමඟින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 20කට සහභාගී වී ඇති අතර ඉන් තරග 12ක් ජයග්‍රහණය කර තිබෙනවා. තරග 8ක් අවසන් ව ඇත්තේ බංග්ලාදේශයට ජය හිමිවෙමින්.
දෙරට අතර පැවැති ආසන්නත ම තරගාවලිය, මෙරට දී පැවැති අතර තරග 3කින් යුත් එම තරගාවලිය තරග 2-1ක් ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
මෙම තරගයේ දී චරිත් අසලංක තම 20 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සඳහා කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසෙන අතර Litton Das තම 21 වැනි තරගය සඳහා කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසීමට නියමිතයි.
Litton Das මෙතෙක් නායකත්වය ලබා දුන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 20 දී තරග 11ක් ජයග්‍රහණ කරා මෙහෙයවා ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වෙද්දී අනෙක් තරග 8 පරාජිත තරග ලෙසින් අවසන් කර තිබෙනවා. චරිත් අසලංක නිමා කළ තරග අතුරින් ජයග්‍රහණය කර ඇත්තෙ තරග 8ක දී පමණක් වන අතර තරග 10ක් පරාජිත තරග ලෙසත් සහ ලකුණු සමවීමෙන් අවසන් කළ තරගයක් ලෙසත් ද අනෙක් තරග නිමා වී තිබෙනවා.
ශ්‍රී ලංකාව
චරිත් අසලංක ගේ නායකත්වය යටතේ ආසියානු කුසලාන තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ සඳහා එක් වෙන්නේ සිම්බාබ්වේ සමඟ වු සාර්ථක තරග සංචාරයක් අවසන් කරමිනුයි. තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළ එම තරගාවලියේ වඩාත් වැදගත් මාතෘකාවක් බවට පත් වූයේ කමිල් මිෂාර ගේ ප්‍රවිශ්ඨයයි.
24 හැවිරිදි වියේ පසුවෙන කමිල් මිෂාර, සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති තෙවැනි තරගයේ දී පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසු ව පිටියට පිවිසෙමින් තමන් එම ස්ථානයෙන් පන්දුවට පහර දීමේ විශ්වාසවන්තයෙක් බැව් ඔප්පු කළා.
එමෙන් ම කුසල් පෙරේරා ද තනි ඉලක්කමේ ඉනිම් 3කට පසුව විශ්වසනීය ඉනිමක් ගොඩ නගමින් තමන් තව දුරටත් විශ්වසනීය ජ්‍යෙෂ්ඨ පිතිකරුවෙක් බැව් ඒත්තු ගැන් වූවා. ඔවුන්ට අමතර ව පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ද සුපුරුදු දක්ෂතා අතර සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසියට ගත හැකියි.
ඔවුන්ට අමතර ව කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානක ද බැහැර කළ හැකි චරිත නොවන අතර නායක චරිත් අසලංකගෙන් දීර්ඝ ඉනිමක අවැසියාව පවතී. ඔහු පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි අවසන් අවස්ථා 10 දී ලබා ගෙන ඇත්තේ ලකුණු 139ක් පමණයි. ඒ අතර තනි ඉලක්කමේ ඉනිම් 6ක් ම පැවැතීම ඔහුගේ පසු බැසීමේ තරම විඳහා දක්වනවා.
මෙම තරගයේ දී මතීෂ පතිරණ සහ දුශ්මන්ත චමීර එක් ව නුවන් තුෂාර ද වේග පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක් වීමේ වැඩි ඉඩකඩක් පැවැතිය හැකියි. ඒ ඔහුට ඉනිමක අවසන් අදියරේ දී පිතිකරුවෙක් ලෙසින් යමක් කිරීමේ හැකියාවෙන් ද යුක්ත බැවිනුයි.
කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙසින් බොහෝ විට දුශාන් හේමන්තට අවස්ථාව හිමි වීමේ ඉඩකඩ පවතින අතර එසේ වුවහොත් කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක සහ චරිත් අසලංකට ද වැඩි පන්දු වාර ප්‍රමාණයක් යැවීමට සිදු විය හැකියි.
කෙසේ වෙතත් කණ්ඩායම නම් කිරීමේ දී ජනිත් ලියනගේ සහ දුනිත් වෙල්ලාලගේ ගේ දක්ෂතා කණ්ඩායමට කෙලෙස එක් කර ගත හැකිදැයි යන්න ගැන කණ්ඩායම් පාලකයන්ගේ අවධානයට ලක් විය හැකියැයි සිතේ.
එසේ වන්නේ නම් මේ දෙදෙනාගේ එක් අයෙක්ට පමණක් කණ්ඩායමේ ඉඩක් විවර විය හැකි අතර එසේ වුවහොත් වේග පන්දු යවන්නන් දෙදෙනෙක් පමණක් යොදා ගනිමින් කණ්ඩායම නම් කිරීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා.
ශ්‍රී ලංකා සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කමිල් මිෂාර, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, දුශාන් හේමන්ත, මතීෂ පතිරණ, දුශ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ.
බංග්ලාදේශය
මෙම තරගයේ දී බංග්ලාදේශය සහභාගී වෙන්නේ Litton Das ගේ නායකත්වය යටතේයි. 30 හැවිරිදි වියේ පසුවෙන Litton Das කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් සේ ම කඩුලු රැකීමේ ද නිරත වෙනවා.
මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 111කට සහභාගී වී ඇති ඔහු අර්ධ ශතක 15ක් ද සමඟින් ලකුණු 2496ක් ලබා තිබෙනවා. එය බංග්ලාදේශ විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් දක්ෂතාවයි. එම ලකුණු අතරට ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 10ක දී ලබා ගත් ලකුණු 252ක් ද තිබෙනවා.
ඔහුත් සමඟින් කණ්ඩායමට එක් වෙන ක්‍රීඩකයන් අතර නිත්‍ය ආරම්භක පිතිකරු Tanzid Hasan, ඉදිරි පෙළ පිතිකරුවන් වන Towhid Hridoy සහ Towhid Hridoy ද සිටිය හැකියි.
පන්දු යැවීමේ දී මෑත කාලීන දක්ෂතා අතර බංග්ලාදේශ කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්තයන් වී ඇත්තේ දකුණතින් වේග පන්දු යවන Taskin Ahmed සහ දකුණතින් පිට දඟ පන්දු යවන Mahedi Hasan වෙතයි.
Taskin Ahmed මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 79කට සහභාගී වෙමින් කඩුලු 96ක් දවාගෙන තිබෙන අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 9ක දී ලබා ගත් කඩුලු 10ක් ද ඒ අතර තිබෙනවා.
තුන් ඉරියව්වෙන් ද දක්ෂතා දක්වන Mahedi Hasan මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 64කට සහභාගී වෙමින් ලකුණු 401ක් සහ කඩුලු 57ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. පන්දු යැවීමේ දී ඔහුගේ ඉහළ ම දක්ෂතාව වී ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි ව මේ වසරේ ජුලි මාසයේ දී පැවැති තරගයේ දී ලකුණු 11කට දවා ගත් කඩුලු 4යි.
ඔවුන් දෙදෙනාට අමතර ව බංග්ලාදේශ පන්දු බලඇණිය ශක්තිමත් කිරීමට 30 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන Mustafizur Rahman ද සැදී පැහැදී සිටිනවා. මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 114ක දී කඩුලු 142ක් දවා ගෙන ඇති ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 15ක දී කඩුලු 19ක් ලබා තිබෙනවා. එමෙන් ම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 43ක දී කඩුලු 50ක් දවාගෙන තිබෙන 23 හැවිරිදි වියේ පසුවෙන Rishad Hossain ද කණ්ඩායමේ සිටින තවත් දක්ෂ පන්දු යවන්නෙක් ලෙසින් දැක් විය හැකියි.
බංග්ලාදේශය මෙම තරග සංචාරයේ දී තවමත් 22 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Parvez Hossain Emon ආරම්භක පිතිකරුවෙක් ලෙසින් අත්හදා බලමින් සිටිනවා. හොංකොං හා සමඟ තරගයේ දී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඔහු ඇතැම් විට ශ්‍රී ලංකාව හා සමඟ තරගයේ දී ද ඔහු ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසිය හැකියි.
බංග්ලාදේශ සංචිතය
Litton Das (නායක සහ කඩුලු රකින්නා), Parvez Hossain Emon, Tanzid Hasan, Towhid Hridoy, Jaker Ali, Mahedi Hasan, Shamim Hossain, Rishad Hossain, Tanzim Hasan Sakib, Taskin Ahmed, Mustafizur Rahman, Mohammad Saifuddin, Nasum Ahmed, Nurul Hasan, Saif Hassan, Shoriful Islam.
මෙම තරගයේ දී දෙරටේ ක්‍රීඩකයන්ට ළඟා විය හැකි සුවිශේෂී කඩඉම්
- පැතුම් නිස්සංක : විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 2000ක් සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 50ක් පමණයි.
- කුසල් මෙන්ඩිස් : විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් 50කට තවත් අවශ්‍ය ව ඇත්තේ එක් අවස්ථාවක් සපුරා ගැනීම පමණයි.
- බිනුර ප්‍රනාන්දු : විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 50ක් සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 7ක් පමණයි.
- Towhid Hridoy : විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 1000ක් සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 56ක් පමණයි.
- Taskin Ahmed : විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 100ක් සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 4ක් පමණයි.
- Mustafizur Rahman : විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 150ක් සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 8ක් පමණයි.
- Mohammad Saifuddin : විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 50ක් දවා ගැනීමට තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 4ක් පමණයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















