“හැම හොඳ දෙයකටම අවසානයක් තියෙනවා.” – Pandya

15886
(CricFit)

2022 IPL තරගාවලිය සඳහා Mumbai Indians කණ්ඩායම රඳවා ගන්නා ක්‍රීඩකයින් පසුගිය දා නිවේදනය කර සිටියා. ඒ ක්‍රීඩකයින් අතර ප්‍රබල ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya නොසිටීම කැපී පෙනෙන සිදුවීමක් වුනා.

මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් 2015 වසරේ දී පළමු වරට IPL ක්‍රීඩා කළ Pandya එතැන් සිට දිගටම මුම්බායි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත් වුනා.

කෙසේ වෙතත් 2021 IPL තරග වාරය Hardik Pandyaට එතරම් සතුටුදායක තරගාවලියක් බවට පත් වුනේ නැහැ. ආබාධයක් නිසා පන්දු යැවීමට ද නොහැකි වුණු Pandyaට සිය පිත්ත රිසි සේ ක්‍රියාත්මක කරන්නට ද ඉඩක් ලැබුණේ නැහැ.

ප්‍රහාරක වේගය 113.39ක් ලෙස පවත්වා ගෙන තරග 12ක දී ඔහු රැස් කරගෙන තිබුණේ ලකුණු 127ක් පමණයි. 2015, 2016, 2019 හා 2020 වසරවල දී මුම්බායි නියෝජනය කරමින් Pandya IPL ශූරතාවය ද දිනා ගන්නට සමත් වුනා.

Pandyaව මුම්බායි කණ්ඩායමෙන් නිදහස් කිරීමෙන් පසුව ඔහු ඉතා සංවේදී වීඩියෝවක් මාධ්‍යයට නිකුත් කර තිබුණා. “මම මේ මතකයන් මගේ ජීවිත කාලය පුරාවට රැගෙන යනවා”, Pandya එම වීඩියෝවත් සමඟ සටහනක් තබා තිබුණා.

මම හදාගත්ත යාළුකම්වලට, මම හදාගත්ත බැඳීම්වලට, මගේ රසිකයින්ට මම හැමදාම ගරු කරනවා. මම ක්‍රීඩකයෙක් විදියට පමණක් නොවේ, මිනිසෙක් විදිහටත් දියුණු වුනා. යොවුන් ක්‍රීඩකයෙක් විදියට මම මෙහාට ආවේ සිහින ගොඩක් එක්ක. අපි එකට දිනුවා, අපි එකට පැරදුණා, අපි එකට සටන් කළා. මේ කණ්ඩායම එක්ක හැම මොහොතක්ම මගේ හදවතේ තියෙනවා.”

හැම හොඳ දෙයකටම අවසානයක් තියෙනවා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හැමදාම මගේ හදවතේ තියේවි.”

Hardik සමඟ ඔහුගේ සොයුරු Krunal Pandya ද කණ්ඩායමෙන් නිදහස් කර තිබීම විශේෂත්වයක්. මුම්බායි කණ්ඩායම රඳවා ගත් ක්‍රීඩකයින් සිව්දෙනා වන්නේ නායක Rohit Sharma, Jasprit Bumrah, Suryakumar Yadav හා Kieron Pollard.

Hindustan Times ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<