19න් පහළ ආසියානු කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව

ACC Men’s U19 Asia Cup 2025 

2
ACC Men’s U19 Asia Cup 2025 

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 12 වැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 8ක් සහභාගී වන අතර තරගාවලියේ පළමු වටය දෙසැම්බර් මස 17 වැනිදා අවසන් වීමට නියමිත අතර එම තරග අවසානයේ සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වයන් දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගන්නවා. එම තරග ද්විත්වය දෙසැම්බර් මස 19 වැනි දින පැවැත්වෙන අතර එම තරග ද්විත්වයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් ද්විත්වය සහභාගී වන අවසන් මහා තරගය දෙසැම්බර් මස 21 වැනිදා ඩුබායි ICCA ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

A කාණ්ඩය

ඉන්දියාව, මැලේසියාව, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය

B කාණ්ඩය

ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව

මෙතෙක් පැවැති තරගාවලි අතුරින් ඉන්දියාව අවස්ථා 7ක ශූරතාවනුත්, එක් අවස්ථාවක දී සම ශූරතාවත් සහ තවත් අවස්ථාවක දී අනුශූරතාවත් දිනා ගනිමින් මෙම වයස් කාණ්ඩයේ ආසියාවේ ප්‍රභලයන් බවට පත් ව සිටිනවා.

ඔවුන්ට අමතර ව බංග්ලාදේශය ආසන්නත ම තරගාවලි ද්විත්වයේ ම ශූරයන් වන අතර ඊට අමතර ව ඇෆ්ගනිස්තානය ද එක් වරක් ආසියානු ශූරතාව හිමිකර ගෙන සිටිනවා.

පාකිස්තානය ඉන්දියාව සමඟින් දිනා ගත් සම ශූරතාව හැරෙන්නට තවත් අවස්ථා 2ක දී අනුශූරයන් බවට පත් ව තිබෙනවා.

අනුශූරතා ලැයිස්තුවේ වැඩිම වාර ප්‍රමාණයක් (5) හිමිකර ගන්නේ ශ්‍රී ලංකාව වන අතර ඒ සෑම අවස්ථාවක ම ඔවුන් පරාජයට පත් ව සිටින්නේ ඉන්දියාවට වීම විශේෂත්වයක්. අනුශූරතා ලැයිස්තුවේ බංග්ලාදේශය මෙන් ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එක් අවස්ථාව බැගින් සටහන් ව තිබෙනවා.

>>ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයෝ ආසියානු කුසලානයට යයි

1 වැනි තරගාවලිය 1989 – බංග්ලාදේශය

  • ශූරතාව – ඉන්දියාව
  • අනුශූරතාව – ශ්‍රී ලංකාව

ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව සහ සිංගප්පූරුව සහභාගී වු මංගල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දක්වන්නේ බංග්ලාදේශයයි. කෙසේ වෙතත් තරගාවලියේ ඉතිහාසය සොයා යෑමේ දී බංග්ලාදේශය, මැලේසියාව සහ සිංගප්පූරුව සහභාගී වූ තරග තොරතුරු නොමැති අතර සටහන් ව ඇත්තේ අනෙක් රටවල් ත්‍රිත්වයේ තරගවල පමණයි.

මංගල තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 79ක ජයග්‍රහණයක් ඉන්දියාව සතු වෙන අතර අනුශූරයන් බවට පත් වූයේ ශ්‍රී ලංකාවයි. මෙම තරගාවලියේ ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 2014 වසරේ සභාපති ලෙස කටයුතු කළ Ranjib Biswal කටයුතු කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මාවන් අතපත්තු සතු වූවා.

එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අය අතර කුමාර් ධර්මසේන, වරුණ වරාගොඩ, ලකී රොජර්ස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ පියල් විජේතුංග වැන්නෝ ද  සිටි අතර ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් Ajay Jadeja, Vinod Kambli සහ Sourav Ganguly ද සහභාගී වුණා.

2 වැනි තරගාවලිය 2003 – පාකිස්තානය

  • ශූරතාව – ඉන්දියාව
  • අනුශූරතාව – ශ්‍රී ලංකාව

මංගල තරගාවලියෙන් අනතුරු ව වසර 14කට පසුව පැවැති 2 වැන්න පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැති අතර ඊට එක් වූයේ කණ්ඩායම් 4ක් පමණයි. ඒ අනුව සත්කාරක පාකිස්තානය සමඟ බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඊට එක් වුණා.

තරග 7කින් සමන්විත තරගාවලියේ අපරාජිතව අවසන් මහා තරගය සඳහා එක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම කැපී පෙණුන අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අනෙක් කණ්ඩායම වූයේ ඉන්දියාවයි.

දෙරට අතර පැවැති පළමු වටයේ තරගයෙන් කඩුලු 4ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙම තරගයේ දී සිදු වූයේ කඩුලු 8ක පරාජයකට මුහුණ දීමටයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ෆර්වීස් මහරූෆ් ගේ නායකත්වය යටතේ එක් වූ අතර ඊට උපුල් තරංග, කෞෂාල් සිල්වා, කෝසල කුලසේකර සහ ඇන්ජලෝ මැතිව්ස් යන පසුකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ මෙම තරග සංචාරය සඳහා එක් වූවා.

3 වැනි තරගාවලිය 2012 – මැලේසියාව

  • සම ශූරතාව – ඉන්දියාව සහ පාකිස්තානය

2 වැනි තරගාවලිය අවසන් වීමෙන් පසුව නැවත වසර 9කට පසුවයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ. ඒ සඳහා මැලේසියාව අනුග්‍රහය දක්වන ලද අතර තරගාවලිය සඳහා A කාණ්ඩය නියෝජනය කරමින් පාකිස්තානය, ඉන්දියාව, නේපාලය සහ සත්කාරක මැලේසියාව යන රටවල් එක් වූ අතර B කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ කටාර් යන රටවල් එක් වූවා.

තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඔවුන් ඉන්දියාව සමඟින් පැවැති 2 වැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 6ක පරාජයකට මුහුණ දෙමින් තරගාවලියෙන් ඉවත් වෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ පාකිස්තානය සහභාගී වෙන අතර එම තරගය ලකුණු සම වීමෙන් අවසන් වන අතර කණ්ඩායම් ද්විත්වය සම ශූරයන් ලෙසින් නම් කෙරෙනවා.

මෙවර තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සනිත ද මැල් ගේ නායකත්වය යටතේ සහභාගී වූ අතර ඊට පසුකාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වූ ක්‍රීඩකයන් වූ ලහිරු මදුශංක, නිරෝෂන් දික්වැල්ල සහ තරිඳු කෞෂාල් වැනි අය ද ක්‍රීඩා කළා.

4 වැනි තරගාවලිය 2013/14 – එක්සත් අරාබි එමීර් රාජ්‍ය

  • ශූරතාව – ඉන්දියාව
  • අනුශුරතාව – පාකිස්තානය

මෙවර තරගාවලිය සදහා A කාණ්ඩය නියෝජනය කරමින් ගියවර ශූරයන් වූ ඉන්දියාව සමඟින් පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් ද B කාණ්ඩය නියෝජනය කරමින් ගිය වර තරගාවලියේ අනුශූරයන් වූ ශ්‍රී ලංකාව සමඟින් ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව යන කණ්ඩායම් ද සහභාගී වූවා.

මෙවර ද තරගාවලියේ පළමු වටයේ දී තම කාණ්ඩයෙන් පළමු ස්ථානයට පත් වෙමින් ඊළඟ අදියරට එක් වීමට ශ්‍රී ලංකාව සමත් වීම කැපී පෙණුනා. ඒ අනුව පැවැති 2 වැනි අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ ඉන්දීය කණ්ඩායමයි.

එම තීරණාත්මක තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයන් වෙතින් කඩුලු 3ක පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, 4 වැනි ආසියානු කුසලාන ගමන එතැකින් නිමා කරනවා.

කුසල් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් මෙම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රමේෂ් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, බිනුර ප්‍රනාන්දු, මිනෝද් භානුක සහ ප්‍රියමාල් පෙරේරා පසුකාලීන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක් වීමට ද වරම් ලබා ගන්නවා.

5 වැනි තරගාවලිය 2016 – ශ්‍රී ලංකාව

  • ශූරතාව – ඉන්දියාව
  • අනුශූරතාව – ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව අනුග්‍රාහකත්වය දැක් වූ මෙම තරගාවලිය සඳහා ද සුපුරුදු ලෙසින් ම කණ්ඩායම් 8ක් සහභාගී වෙන අතර පෙර තරගාවලිය නියෝජනය කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවට මෙවර තරගාවලියට එක් වීමට, සිංගප්පූරු කණ්ඩායම සමත් වෙනවා.

තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවැති 2 වැනි අවසන් පූර්ව තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 26ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක් අන්තයකින් අවසන් මහා තරගය සඳහා එක් වෙද්දී, ඇෆ්ගනිස්තානය එරෙහි ව ලකුණු 77ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දියාව අනෙක් අන්තයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

දෙරට කණ්ඩායම් තෙවැනි වරටත් අවසන් මහා තරගයක් සඳහා මෙවර තරගාවලියේ දී ද එක් වෙන අතර එහි දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වෙන්නේ ප්‍රතිවාදීන් හමුවේ පසු බැසීමටයි.

ඒ අනුව ඉන්දියාව නිමා වූ සෑම තරගාවලියක දී ම අවසන් මහා තරගයට එක් වෙමින් ඔවුන් ඉන් සිව් වතාවක් ශූරයන් ලෙසත් අනෙක් වතාවේ දී පාකිස්තානය සමඟින් සම ශූරයන් ලෙසිනුත් අභිශේක ලබනවා.

කමිඳු මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමේ ප්‍රවීන් ජයවික්‍රම, අශේන් බණ්ඩාරෙ සහ ලසිත් කෲස්පුල්ලේ ද රැඳී සිටියා.

6 වැනි තරගාවලිය 2017 – මැලේසියාව

  • ශූරතාව  – ඇෆ්ගනිස්තානය
  • අනුශූරතාව – පාකිස්තානය

මෙම තරගාවලියේ දී නැවත වතාවක් එක්සත් අරාබි එමිර් රාජ්‍ය ක්‍රීඩකයෝ තරගාවලියට එක් වෙන අතර ඒ වෙනුවෙන් පෙර තරගාවලිය හා එක් වූ සිංගප්පූරු කණ්ඩායමට තම ස්ථානය අහිමි වෙනවා.

ඉන්දියාව අවසන් මහා තරගයක් සඳහා එක් නොවූ පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාවට ද මෙවර තරගාවලියෙන් පළමු වටයෙන් ම ඉවත් වීමට සිදු වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙවර ද කමිඳු මෙන්ඩිස් සතු වූ අතර ප්‍රවීන් ජයවික්‍රම, ධනංජය ලක්ෂාන්, නිශාන් මදුශ්ක, අශේන් බණ්ඩාර සහ නුවනිඳු ප්‍රනාන්දු වැන්නෝ ද මෙම තරගාවලිය නියෝජනය කළා.

7 වැනි තරගාවලිය 2018 – බංග්ලදේශය

  • ශූරතාව – ඉන්දියාව
  • අනුශූරතාව – ශ්‍රී ලංකාව

බංග්ලාදේශයේ දී පැවැති මෙම තරගාවලිය සඳහා මැලේසියා කණ්ඩායම වෙනුවට හොංකොං කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නා ලද අතර අනෙක් කණ්ඩායම් සුපුරුදු ලෙසින් ම තරගාවලියට එක් වෙනවා.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙමින් පළමු වටයේ අපරාජිතව සිටිමින් අවසන් පූර්ව වටය දක්වා පිවිසියා.

එහි දී නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට ඉන්දීයාව පත් වෙන අතර එම තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 144ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නිපුන් ධනංජය දැරූ අතර දුනිත් වෙල්ලාලගේ, නිශාන් මදුශ්ක සහ නුවනිඳු ප්‍රනාන්දු වැන්නෝ ද මෙම තරගාවලිය නියෝජනය කළා.

8 වැනි තරගාවලිය 2019 – ශ්‍රී ලංකාව

  • ශූරතාව – ඉන්දියාව
  • අනුශූරතාව – බංග්ලාදේශය

මෙම තරගාවලියේ දී නැවත වතාවක් සත්කාරකත්වය දැක්වීමට ශ්‍රී ලංකාවට හැකි වෙනවා. තරගාලිය හා පෙර වසරේ දී එක් වූ හොංකොං කණ්ඩායම වෙනුවට මෙවර අවස්ථාව ලබා ගත්තේ කුවේට් කණ්ඩායමයි.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්ත ද ඉන් ඉදිරියට යෑමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. ඒ ඉන්දියාව සමඟින් පැවැති එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු වීම නිසයි.

මෙවර තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නැවත වතාවක් නිපුන් ධනංජයට හිමි ව තිබූ අතර මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වූ කමිල් මිෂාර ද එම කණ්ඩායම හා එක් ව සිටියා.

9 වැනි තරගාවලිය 2021 – එක්සත් අරාබි එමීර් රාජ්‍ය

  • ශූරතාව – ඉන්දියාව
  • අනුශූරතාව – ශ්‍රී ලංකාව

පෙර තරගාවලිය පවත්වා වසර 2කට පසුවයි මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ. මෙවර තරගාවලිය සඳහා ද සුපුරුදු ලෙසින් ම කණ්ඩායම් 8ක් එක් ව සිටි අතර පෙර තරගාවලිය හා එක් ව සිටි සෑම කණ්ඩායමක් මෙවර තරගාවලිය සඳහා ද එක් ව සිටියා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව 5 වැනි වතාවටත් සහ ඉන්දියාව 9 වැනි වතාවටත් අවසන් මහා තරගයකට එක් වූවා. ශ්‍රී ලංකාව සහභාගී වූ සෑම අවසන් මහා තරගයක ම ප්‍රතිවාදීන් වූයේ ඉන්දීය කණ්ඩායම වීම විශේෂත්වයක්.

එමෙන් ම ඒ පැවැතී සෑම තරගයක දී ම ඉන්දියාව ශ්‍රී ලංකාව පරාජය කරමින් ශූරයන් වීම ද විශේෂත්වයක් වූවා.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාලගේ සතු වූ අතර මතීෂ පතිරණ සහ 2024 වසරේ දී එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් චමිඳු වික්‍රමසිංහ ද මෙම කණ්ඩායම නියෝජනය කළා.

10 වැනි තරගාවලිය 2023 – එක්සත් අරාබි එමීර් රාජ්‍ය

  • ශූරතාව – බංග්ලාදේශය
  • අනුශූරතාව – එක්සත් අරාබි එමීර් රාජ්‍ය

මෙම තරගාවලියේ දී පෙර තරගාවලිය හා එක් වූ කුවේට් කණ්ඩායමට තම ස්ථානය අහිමි ව තිබූ අතර ඒ වෙනුවට ජපාන කණ්ඩායම තරගාවලියට එක් ව සිටියා.

එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ගමන පළමු වටයෙන් අවසන් වන අතර ඔවුන්ට එම වටයේ දී ජය ගැනීමට හැකි වෙන්නේ ජපන් කණ්ඩායම සමඟින් පැවැති තරගය පමණක් වන අතර බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙතින් ද ඔවුන්ට පරාජය වීමට සිදු වෙනවා.

මෙම කණ්ඩායමේ නායකත්වය සිනෙත් ජයවර්ධන සතු වුණා.

11 වැනි තරගාවලිය 2024 – එක්සත් අරාබි එමීර් රාජ්‍ය

  • ශූරතාව – බංග්ලාදේශය
  • අනුශූරතාව – ඉන්දියාව

නැවත වතාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ම පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ විහස් තෙව්මික ගේ නායකත්වය යටතේයි. මෙවර තරගාවලියට එක් වෙන විමත් දින්සර, කවිජ ගමගේ, විරාන් චමුදිත, දුල්නිත් සිගේරා සහ කූගතාස් මාතුලන් ද මෙම කණ්ඩායම නියෝජනය කළා.

ඔවුන් හා එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණි අතර එහි දී සුපුරුදු ලෙසින් ම ඉන්දියාව හමුවේ තම ගමන නිමා කර ගත්තා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<