පසුගියදා Manchester හි දී නිමා වූ එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැති සිව් වැනි ටෙස්ට් තරගයේ දී එංගලන්ත ටෙස්ට් නායක Ben Stokes පෑ තුන් ඉරියව් දක්ෂතා කාගේත් කතා බහට ලක් වුණා.
එහි විශේෂත්වයක් වූයේ ඔහු මෙම තරගයේ දී ශතකයක් සහ කඩුලු 5ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙන් සහ එම දක්ෂතාත් සමඟින් ඔහු ටෙස්ට් ලකුණු 7000 කඩඉම පසු කිරීමට සමත් වෙන අතර ඒ සමඟින් ම ටෙස්ට් ලකුණු 7000ක් සහ කඩුලු 200ක් දවා ලූ ක්‍රීඩකයන් අතර 3 වැන්නා බවට ද පත් වීමත් නිසායි.
මෙම කඩඉම පසු කළ පළමු වැන්නා බවට පත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Garfield Sobers වන අතර දෙවැන්නා බවට පත් වෙන්නේ දකුණු අප්‍රිකාවේ Jacques Kallis.
Garfield Sobers 1974 වසරේ දී ටෙස්ට් පිටියෙන් සමු ගන්නා විට තරග 93කට සහභාගී වෙමින් ලකුණු 8032ක් සහ කඩුලු 235ක් ලබා සිටි අතර Jacques Kallis 2013 වසරේ දී ටෙස්ට් තරග දිවිය අවසන් කරන විට තරග 166කට මුහුණ දෙමින් ලකුණු 13289ක් සහ කඩුලු 292ක් ලබා සිටියා.
Ben Stokes මෙම තරගයේ ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 72කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඊට පසුව පිළිතුරු ඉනිමේ දී පන්දු 198කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 141ක් ලබා ගැනීමට සමත් වෙනවා. Ben Stokes පෑ මෙම දක්ෂතාව ලෝක ටෙස්ට් ඉතිහාසයේ එක් තරගයක දී ශතකයක් සහ කඩුලු 5ක් දවා ගැනීම් අතර වාර්තා වූ 41 වැන්න ලෙසයි සටහන් වෙන්නේ.
එහි ආරම්භය සිදු වෙන්නේ මීට වසර 136කට පෙරයි.
1899 – Jimmy Sinclair (දකුණු අප්‍රිකාව)
එක් තරගයක දී ශතකයක් සහ කඩුලු 5ක් දවා ගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ආරම්භකයා වෙන්නේ දකුණු අප්‍රිකාවේ Jimmy Sinclair. දකුණතින් පන්දුවට පහර දෙමින්, ලසිත් මාලිංග ගේ ඉරියව්වට සමානව දකුණතින් මඳ වේග පන්දු යැවූ ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තමන් සහභාගී වූ 5 වැනි ටෙස්ට් තරගයේදීයි.
එය ලෝක ටෙස්ට් තරග පුරාවෘත්තයේ 59 වැනි තරගයයි. 1899 අප්‍රේල් 01 වැනිදා Cape Town හී ආරම්භ වූ මෙම තරගයේ ආරම්භක දිනයේ ම එංගලන්තයේ කඩුලු 6ක් ලකුණු 26කට දවා ගැනීමට Jimmy Sinclair සමත් වෙනවා.
එය එංගලන්ත ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ 2 වැනි තරගයයි. එංගලන්තය ඒ වන විට පළමු තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ 1-0ක් ලෙසින් ඉදිරියෙන් සිටියා පමණක් නොවේ ඔවුන් එතෙක් දකුණු අප්‍රිකානුවන් සමඟ සහභාගී සහභාගී වූ ටෙස්ට් තරග 7 ම ජයග්‍රහණය කර තිබුණා. එය දෙරට අතර පැවැති 8 වැනි ටෙස්ට් තරගයයි.
දකුණු අප්‍රිකානු බිමේ දී ම ලත් මේ සියලු පරාජයන්ට තිත තැබීමට සත්කාරකයන්ට අවැසිව තිබුණා. කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් එංගලන්ත ක්‍රීඩකයෝ පිටියට පිවිසි අතර එහි දී Jimmy Sinclair පන්දුවාර 12ක් යවමින් නිලකුණු පන්දුවාර 4ක් ද සමඟින් ලකුණු 26කට කඩුලු 6ක් දවා ගන්නවා.
එය ඔහුගේ ටෙස්ට් පන්දු යැවූ ඉනිම්වල කඩුලු 5ක් දවා ගත් පළමු අවස්ථාවයි. ඔහුගේ මෙම දක්ෂතාවත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයෝ ලකුණු 92කට සීමා කිරීමට ඔවුන්ට හැකි වෙනවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුලු ද්විත්වය බිඳ වැටීමෙන් අනතුරු ව Jimmy Sinclair පිටියට පිවිසියා. පෙර තරගයේ දී ලකුණු 85ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව වෙනුවෙන් මංගල අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය දිනා සිටි Jimmy Sinclair මෙම තරගයේ දී තම මංගල ශතකය මෙන් ම දකුණු අප්‍රිකා ටෙස්ට් තරග ඉතිහාසයේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ ගෞරවය ද දිනා ගන්නවා.
ඒ සමඟින් ටෙස්ට් තරගයක දී කඩුලු 5ක් සහ ශතකයක් ලබා ගත්, එම අද්විතීය වාර්තාවේ පළමු හිමිකාරයා බවට Jimmy Sinclair පත් වෙනවා.
හතරේ පහර 9ක් සමඟින් ලකුණු 106ක් ලබා ගන්නා ඔහුගේ එම ඉනිම තම ටෙස්ට් තරග 25ක ඉහළ ම දක්ෂතාව බවට ද පත් වෙනවා. ඔහුගේ මෙම දක්ෂතාවත් සමඟින් දකුණු අප්‍රිකානුවෝ පළමු ඉනිමේ ලකුණු 85ක වාසියක් ලබා ගනිමින් ලකුණු 177කට දැවී යනවා.
එංගලන්ත ක්‍රීඩකයෝ තම 2 වැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 330ක් ලබා ගන්නේ එවර Jimmy Sinclair ට කඩුලු 3ක් පමණක් ලබා දෙමිනුයි. ඒ අනුව ඔහු තරගය අවසානයේ දී ලකුණු 89කට කඩුලු 9ක් දවා ගන්නා ලද අතර එය ඔහු ටෙස්ට් තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව බවට පත් වෙනවා.
පිළිතුරු ඉනිමේ දී ඔවුන්ගේ ඉනිම ලකුණු 35කට වෙනවා. Jimmy Sinclair ට එම ඉනිමේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 4ක් පමණයි.
මෙම තරගයේ දී Jimmy Sinclair තම ටෙස්ට් තරග දිවියේ සුවිශේෂී කඩඉම් එලෙසින් වාර්තා කළ ද 2 වැනි තරගයෙන් ද ලකුණු 210ක පරාජයකට පත් වෙන ඔවුන්ට සිදු වෙන්නේ තරගාවලියේ තරග 2-0ක පරාජයක් සහිතව තම රටේ දී ම ලත් සිව් වැනි තරගාවලි පරාජයටත් මුහුණ දීමටයි.
ලෝක ටෙස්ට් ඉතිහාසයට සුවිශේෂී කඩඉමක් වාර්තා කළ මේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයා වයස අවුරුදු 36 දී මෙලොව හැර යන්නේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග ඉතිහාසයේ, ශතක ලැයිස්තු ගත කිරීමේ දී පළමු ශතක 3 ම තමන් නමින් ලියා ගනිමිනුයි.
- Joe Root පෙරළිකාරයන්ගේ ලැයිස්තුවේ ඉහළට
- කොදෙව්වන්ට එරෙහි 14.3 මෙහෙයුම
- ටෙස්ට් පිටියේ අලුත් ම විනිසුරු “රඹුක්වැල්ල”
1912 – Charles Kelleway (ඔස්ට්‍රේලියාව)
මෙම ලැයිස්තුවේ තමන් ගේ නොවන රටක දී මෙම දක්ෂතාව සිදු කළ පළමු වැන්නා බවට පත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ Charles Kelleway. ඔහු එංගලන්තයේ Manchester හී Old Trafford ක්‍රීඩාංගණයේ දී මෙම දක්ෂතාව සිදු කරන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි.
1912 වසරේ මැයි මස 27 වැනිදා එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැති තුන් කොන් ටෙස්ට් තරගාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් බවට පත් වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවයි. මෙම තරගාවලියේ දී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් සමඟ තරග ත්‍රිත්වය බැගින් ක්‍රීඩා කරනවා. ඒ අනුව තරගාවලියේ එක් කණ්ඩායමකට හිමි වූ තරග සංඛ්‍යාව 6ක්.
කෙසේ වෙතත් මෙම කඩඉම් තරගය වාර්තා වෙන්නේ තරගාවලියේ පළමු තරගයේ දී වීමත් විශේෂත්වයක්. එම තරගයේ ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ දී මේ දකුණත් පිතිකරු ලකුණු 114ක් රැස් කරන ලද අතර එය ඔහුගේ තරග 26ක මංගල ශතකය ද වූවා.
දකුණතින් මඳ වේග පන්දු යැවූ Charles Kelleway ට එම තරගයේ ප්‍රතිවාදී පළමු ඉනිමේ දී කිසිදු කඩුල්ලක් හිමි වෙන්නේ නැහැ. ඔහුගේ පන්දු යැවීම සටහන් වෙන්නේ 11-3-27-0ක් ලෙසයි. නමුත් 2 වැනි ඉනිමේ දී ක්‍රියාත්මක වෙන ඔහු ප්‍රතිවාදී පළමු කඩුලු ද්විත්වය ම තමන් නමින් ලියා ගනිමින් ඉනිම අවසන් වන විට ලකුණු 33කට කඩුලු 5ක් දවා ගන්නවා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ කඩුලු 5ක් දවා ගත් එක ම අවස්ථාව ද වූවා.
පළමු වැනි ලෝක යුද්ධයේ ඔස්ට්‍රේලියා යුද හමුදාව ද නියෝජනය කළ Charles Kelleway වයස අවුරුදු 58 දී මෙලොව හැර යනවා.
1955 – Denis Atkinson (බටහිර ඉන්දීය කොදෙව්)
නායකයන් අතුරින් එක් තරගයක දී ශතකයක් සහ කඩුලු 5ක් දවා ලූ අය අතුරින් පළමු වැන්නා බවට පත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Denis Atkinson. දකුණත් පිතිකරුවෙක් වන ඔහු දකුණතින් මඳ වේග පන්දු යවන්නත් සහ දකුණතින් පිට දඟ පන්දු යවන්නත් දක්ෂතා දක්වා තිබෙනවා.
ඔහු මේ දක්ෂතාව සිදු කරන්නේ 1955 මැයි මස 14 වැනිදා Barbados හී Kensington Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ඔස්ට්‍රේලියාව හා සමඟ තරගයේදීයි.
එම තරගයේ තම පළමු ඉනිමේ දී හතරේ පහර 29ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 219ක් ලබා ගන්නා ඔහු පන්දු යැවීමේ දී ප්‍රතිවාදී 2 වැනි ඉනිමේ දී ලකුණු 56කට කඩුලු 5ක් දවා ගන්නවා.
Denis Atkinson ගේ මෙම පිතිකරු ඉනිම ඔහුගේ තරග 22ක් වන ටෙස්ට් තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා. එමෙන් ම ද්විත්ව ශතකලාභියෙක් විසින් මෙම දක්ෂතාව සිදු කළ පළමු වැන්නා බවට ද ඔහු පත් වෙනවා.
ඔහුගෙන් පසුව මෙම දක්ෂතා සිදු කළ නායකයන් බවට පත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ Garry Sobers 1966 එංගලන්තයට එරෙහි ව Leeds හි දී පළමු ඉනිමේ දී ලකුණු 174ක් සහ ප්‍රතිවාදී 2 වැනි ඉනිමේ දී කඩුලු 6ක් දවා ගැනීම, පාකිස්තානයේ Mushtaq Mohammad 1977 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව Port of Spain හි දී තම පළමු ඉනිමේ දී ලකුණු 121ක් සහ ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 28කට කඩුලු 5ක් දවා ගැනීම, පාකිස්තානයේ Imran Khan 1983 දී ඉන්දියාවට එරෙහි ව Faisalabad හි දී ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 98කට කඩුලු 6ක් සහ තම පළමු ඉනිමේ දී ලකුණු 117ක් ලබා ගැනීම සහ නිමා වූ එංගලන්ත – ඉන්දියා තරගයේ දී Ben Stokes පෑ දක්ෂතාවයි.
1978 – Ian Botham (එංගලන්තය)
මෙම ලැයිස්තුවේ මෙම දක්ෂතාව වැඩිපුර ම දක්වා ඇත්තේ එංගලන්තයේ Ian Botham. ඔහු අවස්ථා 5ක දී මෙම දක්ෂතාව දක්වා තිබෙනවා.
ඒ අතුරින් පළමු වැන්න වන්නේ 1978 නවසීලන්තය සමඟින් Christchurch හී Lancaster ක්‍රීඩාංගණයේ දී පෑ දක්ෂතාවයි. එම තරගයේ දී ඔහු පළමු ඉනිමේ දී පන්දු 288කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 103ක් ලබා ගන්නා ලද අතර ඊට පසුව ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 73කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනවා.
අනතුරු ව ඔහු එම වසරේ දී ම එංගලන්තයේ Lord’s ක්‍රීඩාංගණයේ දී එම දක්ෂතාව සිදු කරන්නේ පාකිස්තානයට එරෙහිවයි. එම තරගයේ එංගලන්ත පළමු ඉනිමේ දී පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 108ක් ලබා ගන්නා ඔහු ප්‍රතිවාදී දෙවැනි ඉනිමේ දී ලකුණු 34කට කඩුලු 8ක් දවා ගන්නවා. එය ඔහුගේ ටෙස්ට් තරග 102ක ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් ද දැක් වෙනවා.
ඔහුගේ මෙම දක්ෂතා අතර තෙවැන්න බවට පත් වෙන්නෙ 1980 ඉන්දියාව සමඟින් Wankhede ක්‍රීඩාංගණයේ දී පෑ දක්ෂතාවයි. එම තරගයේ දී Ian Botham ඉන්දීය පළමු ඉනිමේ දී ලකුණු 58කට කඩුලු 6ක් දවා ගන්නවා.
අනතුරු ව එංගලන්ත ඉනිමේ කඩුලු 5ක් ලකුණු 58කට දැවී ගොස් සිටිය දී පිටියට පිවිසි ඔහු පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 114ක් ලබා ගන්නවා. එම සටන්කාමී ඉනිමෙන් අනතුරු ව ඉන්දීය 2 වැනි ඉනිමේ දී කඩුලු 7ක් ලකුණු 48කට දවා ගැනීමට ද Ian Botham සමත් වෙනවා.
ඒ අනුව ඔහු එම තරගයේ දී ලකුණු 106කට කඩුලු 13ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ තරගය පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුණා.
එමෙන් ම මෙම දක්ෂතාවත් සමඟින් Ian Botham මෙම ලැයිස්තුවේ ඉනිමක ශතකයක් සහ තරගයක දී කඩුලු 10ක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට ද පත් වෙනවා.
අනතුරු ව ඔහු නැවත 1981 වසරේ දී Leeds හි දී ඔස්ට්‍රේලියාවට එරෙහි ව ද මෙම දක්ෂතා දක්වනවා. එහි දී ඔහු ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 95කට කඩුලු 6ක් දවා ගන්නා ලද අතර තම 2 වැනි ඉනිමේ දී පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 27ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 149ක් ලබා ගන්නවා.
මෙම අවස්ථාවන් 4 ම Ian Botham විසින් සිදු කරන්නේ මෙම ලැයිස්තුවේ පිට පිට වන අතර අනතුරු ව නැවත වතාවක් ඔහු 1984 වසරේ දී Wellington හි දී නවසීලන්තයට එරෙහි ව ද මෙම දක්ෂතාව දක්වනවා.
එහි දී ඔහු ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 59කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එංගලන්ත පළමු ඉනිමේ දී පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 138ක් ලබා ගන්නවා.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් අනතුරු ව කීර්තිමත් ක්‍රිකට් විචාරකයෙක් ලෙසින් ද Ian Botham කටයුතු කළ අතර ඔහු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ශ්‍රීමත් නාමයෙන් ද පුදනු ලැබුවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<

























