ශ්‍රී ලංකා යෞවනියෝ එංගලන්තය පරාජය කරයි

3
Women's Under-19 Tri-Series in Australia

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියක් වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහභාගී වු පළමු තරගයෙන් එංගලන්තයට එරෙහි ව පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

>>ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි<<

Brisbane හී Ian Healy Oval ක්‍රීඩාංගණයේ දී (7) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 170ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 118ක් පමණයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම

චමෝදි ප්‍රබෝධා (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, උමයංගනා පීරිස්, ලිමංසා තිලකරත්න, ශෂිනි ගිම්හානි, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), දනෝද්‍යා සෙව්මිණි, ප්‍රමුදි මෙත්සරා, අසේනි තලගුණේ සහ දාරියා දිසානායක.

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Bryony Gillgrass(නායිකාව), Amelia Oliver, Mollie Adams(කඩුලු රකින්නිය), Shristi Patil, Prarthana Reddy, Sophie Beech, Diya Badge, Trudy Johnson, Maria Andrews, Bea Willis, Venus Weerappuli.

සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය එක් ව  ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ට ශ්‍රී ලංකා ඉනිමට එක් කරන්නට හැකි වෙන්නේ ලකුණක් පමණයි. එහි දී විමෝක්ෂා බාලසූරිය ලකුණු නොලබා ම දැවී ගියා.

අනතුරු ව උමයංගා පිරීස් ලකුණු 9කට දැවී ගිය අතර සංජනා කාවින්දි පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටිය දී 3 වැනි කඩුල්ලට දැවී ගියා.

අනතුරු ව දනෝද්‍යා සෙව්මිණි හා සමඟ සිව් වැනි කඩුල්ලට පන්දු 62ක දී ලකුණු 42ක සබඳතාවක් ද සහ ශෂිනි ගිම්හානි හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 56ක සබඳතාවක් ද එක් කිරිමට ලිමංසා තිලකරත්න සමත් වෙනවා.

ඇය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙමින් දැවී යන විට පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.

එහි දී දනෝද්‍යා සෙව්මිණි පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද සහ ශෂිනි ගිම්හානි පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 39ක් ද ලබා ගන්නවා.

ආරම්භක පිතිකාරිනි සංජනා කාවින්දි පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් ද්විත්වයේ ලකුණු ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Trudy Johnson ලකුණු 9කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Maria Andrews සහ Bea Willis කඩුල් ද්විත්වය බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 41ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඒ අතුරින් ද ලකුණු 21ක් ම ලබා ගන්නේ පළමු කඩුල්ල සඳහායි.

අනතුරු ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් Trudy Johnson (9) සහ Bryony Gillgrass එක් ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 76ක දී ලකුණු 34ක සබඳතාවක් එක් කරනවා. Bryony Gillgrass ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

එංගලන්ත ඉනිම තවත් පන්දු 47ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී අවසන් වෙද්දී Bea Willis පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී අසේනි තලගුණේ සහ නායිකා චමෝදි ප්‍රබෝධා එක් ව කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රමුද් මෙත්සරා, දනෝද්‍යා සෙව්මිණි සහ ශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 170 (42.4) ලිමංසා තිලකරත්න 51, ශෂිනි ගිම්හානි 39, Trudy Johnson 4/09, Bea Willis 2/40, Maria Andrews 2/23

 

එංගලන්ත කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 118 (42.1) Bryony Gillgrass 35, Bea Willis නොදැවී 20, චමෝදි ප්‍රබෝධා 3/13, අසේනි තලගුණේ 3/11

ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 52ක ජයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සහභාගී වන 2 වැනි තරගය අද (8) ඕස්ට්‍රේලියාව සමඟින් Brisbane හී Ian Healy Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<