නවසීලන්තයට කඩුලු 10ක ජයක්

ICC Men's T20 World Cup 2026

3
ICC Men's T20 World Cup 2026

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් ඊයේ (10) අවසන් වූ අතර එහි දී නෙදර්ලන්තය, නවසීලන්තය සහ පාකිස්තානය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.

>>වනිඳුට ලෝක කුසලානය අහිමි වෙයි!<<

10 වැනි තරගය, Group A, නැමීබියාව සහ නෙදර්ලන්තය අතර තරගය

Delhi හි Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නෙදර්ලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නැමීබියා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා.  ඊට පිළිතුර ඉනිමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් තවත් පන්දු 12ක් ද ඉතිරි කර ගනිමින් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි  නැමීබියා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Jan Nicol Loftie-Eaton. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගන්නවා. ඊට අමතර ව Jan Frylinck පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද සහ JJ Smit පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Logan van Beek සහ Bas de Leede කඩුලු 2ක් බැගින් ද, Aryan Dutt සහ Fred Klaassen කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Bas de Leede පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

ඊට අමතර ව Colin Ackermann පන්දු 28කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ද සහ Michael Levitt පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.

දැවී ගිය කඩුලු ත්‍රිත්වය පන්දු යවන්නන් තිදෙනෙක් අතරේ බෙදී ගිය.

තරගයේ කෙටි ලකුණු පුවරුව

නැමීබියාව – කඩුලු 8ක් දැවී 156 (20.0) Jan Frylinck 30, Jan Nicol Loftie-Eaton 42, JJ Smit 22, Logan van Beek 2/13, Bas de Leede 2/20

 

නෙදර්ලන්තය – කඩුලු 3ක් දැවී 159 (18.0) Michael Levitt 28, Bas de Leede නොදැවී 72, Colin Ackermann 32, Scott Edwards නොදැවී 18

නෙදර්ලන්ත කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරගයේ වීරයා – Bas de Leede (නෙදර්ලන්තය)

11 වැනි තරගය (දිවා/රාත්‍රී), Group D, නවසීලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය

Chennai හි දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 175ක් ලබා ගනිමින් තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 12ක් වෙද්දී අහිමි වූව ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සබඳතාවක් ගොඩ නැගීමට Muhammad Waseem සහ Alishan  Sharafu සමත් වෙනවා.

ඒ අතුරින් Alishan Sharafu පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉනිම අවසන් වෙද්දී Muhammad Waseem පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Matt Henry ලකුණු 37කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ Tim Seifert සහ Finn Allen එක් ව පන්දු 92ක දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගැනීමට සමත් වෙනවා. තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Tim Seifert පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 89ක් ද සහ Finn Allen පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 84ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කඩුලු 6ක් දැවී 173 (20.0) Muhammad Waseem නොදැවී 66, Alishan Sharafu 55, Mayank Kumar 21, Matt Henry 2/37

 

නවසීලන්තය – කිසිවෙක් නොදැවී 175 (15.2) Tim Seifert නොදැවී 89, Finn Allen නොදැවී 84

නවසීලන්ත කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

තරගයේ වීරයා – Tim Seifert (නවසීලන්තය)

12 වැනි තරගය (දිවා/රාත්‍රී), Group A, පාකිස්තානය සහ ඇමරිකාව අතර තරගය                                                                          

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 190ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Sahibzada Farhan. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 73ක් ලබා ගන්නවා. ඔහු Saim Ayub හා එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් ද සහ Babar Azam හා එක් ව 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 81ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා.

එහි දී Saim Ayub පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද සහ Babar Azam පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ද ලබා ගන්නවා.

ඊට අමතර ව Shadab Khan පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Shadley van Schalkwyk ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ඉහළ ම දක්ෂතාවයි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇමරිකානුවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 158ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Shubham Ranjane. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

ඊට අමතර ව Shayan Jahangir පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ද සහ Milind Kumar පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Usman Tariq ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර Shadab Khan ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පාකිස්තානය – කඩුලු 9ක් දැවී 190 (20.0) Sahibzada Farhan 73, Babar Azam 46, Shadab Khan 30, Shadley van Schalkwyk 4/25

 

ඇමරිකාව – කඩුලු 8ක් දැවී 158 (20.0) Shayan Jahangir 49, Milind Kumar 29, Shubham Ranjane 51, Shadab Khan 2/26, Usman Tariq 3/27

පාකිස්තාන කණ්ඩායමට ලකුණු 32ක ජයක්.

තරගයේ වීරයා – Sahibzada Farhan (පාකිස්තානය)

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<