“Mankading” තවදුරටත් කැත වැඩක් නෙමෙයි

1159

මෙම වසරේ ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් නීති සංශෝධනය කිරීමට එහි නීති සම්පාදකයන් වන Marylebone ක්‍රිකට් සමාජය කටයුතු කර තිබෙනවා.

මෙම නව නීති සඳහා ලොව පුරා බොහෝ දෙනෙකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබී තිබූ අතර මෙම නීති සංශෝධනය කිරීම සඳහා සිදු කළ ඉල්ලීම් සඳහා Marylebone ක්‍රිකට් සමාජයේ පසුගිය සතියේ පැවති රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණා.

එමෙන්ම පසුගිය කාලසීමාවේ දී ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳව කතාබහට ලක්වූ දවා ගැනීමක් වූ ‘Mankading’ ක්‍රමය ක්‍රිකට් ක්‍රීඩාවේ නිල දුවද්දී දවා ගැනීමක් බවට පත්කිරීමට මෙහි දී තීරණය කර තිබීම විශේෂත්වයක්.

එම සංශෝධනයට අමතරව එම කමිටු රැස්වීමේ දී තවත් වෙනස්කම් කිහිපයකටම අනුමැතිය හිමිව තිබුණා.

1 නීතිය ආදේශක ක්‍රීඩකයින්

තරගයක් තුළ ක්‍රීඩක ආදේශකයක් සිදු වූ විට එම ආදේශ කරන ක්‍රීඩකයා හට අනෙක් ක්‍රීඩකයා සිදු කර ඇති දවා ගැනීම් සහ වැරදි අයත් වනවා

18 නීතිය උඩපන්දුවකින් පසු අන්තය හිමි වීම

ක්‍රීඩකයෙකු උඩපන්දුවක් ලබා දී දැවී යාමෙන් පසුව පිතිකරණ අන්තය හිමි වන ක්‍රීඩකයා සඳහා වන 18.11 නීතිය සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව උඩපන්දුවක් මගින් ක්‍රීඩකයෙකු දැවී ගිය විට පිතිකරණ අන්තය මීළඟට පිටියට පිවිසෙන පිතිකරුවාට හිමිවනවා.

මෙම නීතිය මීට පෙර එංගලන්තයේ පැවති The Hundred තරගාවලියේ දී අත්හදා බලා තිබෙනවා.

20.4.2.12 නීතිය අජීවි පන්දු

වෙනත් පුද්ගලයෙකු, සතෙකු හෝ යම්කිසි දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි විට එවෙලෙහි යොමුකරන පන්දුව අජීවි පන්දුවක් බවට පත්කිරීමට නව නීති යටතේ තීරණය කර තිබෙනවා.

ඒ අනුව යම්කිසි තරග නරඹන්නෙකු හෝ පුද්ගලයෙක්, සුනඛයෙකු හෝ වෙනත් සතෙකු ක්‍රීඩා පිටියට පැමිණෙන විට හෝ යම්කිසි දෙයකින් තරගයට බාධාවක් වන විට එම අවස්ථාවේ යොමු කරන පන්දුව විනිසුරුවරයා විසින් අජීවී පන්දුවක් ලෙස නම් කරනු ඇත.

21.4 නීතිය පන්දුව යොමු කිරීමට පෙර පිතිකරුවා දවා ගැනීමට තැත් කිරීම

යම්කිසි පන්දු යවන්නෙකු තමන්ගේ ඉරියව්වට පැමිණ පන්දුව යොමු කිරීමට පෙර පන්දුව පිතිකරුවාගේ (එවෙලේ පන්දුවට පහර දෙන) කඩුල්ලට විසිකරමින් දුවද්දී දවා ගැනීමකට උත්සහ කරයි නම් එම පන්දුව අජීවී පන්දුවක්.

මෙම සිදුවීම ක්‍රිකට් පිටියේ ඉතා විරල සිදුවීමක් වන අතර මීට පෙර එම සිදුවීම සඳහා නිපන්දුවකින් දඬුවම් කිරීම සිදු කළා.

22.1 නීතිය පිටපන්දු පිළිබඳව තීරණය කිරීම

නූතන ක්‍රිකට් තරගවල පිතිකරුවන් පෙරට වඩා සිය සීමා ඉරේ ඇවිදීම සිදු කරනු ලබනවා. එම නිසාවෙන් පන්දු යවන්නා සිය පන්දු යැවීමේ ඉසව්වට පිවිසෙන විට පිතිකරු සිටින තැනින් පන්දුවක් යොමු කිරීමට ගොස් එය පිට පන්දුවක් ලෙස විනිසුරුවරයා සටහන් කිරීම අසාධාරණයක් වනවා.

එම නිසාවෙන් 22.1 වගන්තිය සංශෝධනය කර පිතිකරුවා සිටින ස්ථානයෙන් පිට පන්දු සටහන් කිරීමට තීරණය කර තිබෙනවා.

27.4 සහ 28.6 නීති පන්දුරකින කණ්ඩායමේ අනිසි චලනයන්

මේ දක්වා තරගයක දී පන්දු රකින කණ්ඩායමේ ක්‍රීඩකයින් අනිසි චලනයන් සිදු කළ විට එම පන්දුව අජීවී පන්දුවක් ලෙස විනිසුරුවරයා සටහන් කරන අතර එම නිසාවෙන් පිතිකරුවාගේ හොඳ පහරක් පවා අවලංගු වීමට බොහෝ ඉඩක් තිබෙනවා.

එම සිදුවීම් සිතාමතා කරන ක්‍රියාවක් ලෙස සලකා මෙම සිදුවීමේ දී පිතිකරණ කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

Law 38.3 නීතිය පිතිකරණ අන්තයේ නොමැති ක්‍රීඩකයා දවා ගැනීම (Mankading)

පිතිකරණ අන්තයේ නොමැති ක්‍රීඩකයා පන්දුව යැවීමට පෙර සීමා ඉරෙන් පිටත් සිටිය දී දුවද්දී දවා ගැනීමට හසුකර ගැනීම 41 නීතිය (අසාධාරණ ක්‍රියාවන්) සිට Law 38 නීතිය (දුවද්දී දවා ගැනීම්) වෙත ගෙන ගොස් තිබෙනවා. එම දවා ගැනීම හැඳින්වූ නාමය වන ‘Mankading’ එලෙසෙම පවතිනවා.

41.3 නීතිය ඛේටය භාවිතා කිරීම තහනම්

කොරෝනා වසංගතය නිසාවෙන් නතර වූ ක්‍රීඩාව නැවත ආරම්භ වූ පසු පන්දුව කෙළ යොදාගනිමින් ඔපදැමීම තහනම් වුනා. එය පන්දු යවන්නන්ගේ දෝලනයට කිසිදු බලපෑමක් නොවන බව MCC පරීක්ෂණවලින් තහවුරු වූ අතර පන්දුව ඔපදැමීමට දහඩිය යොදාගැනීම ඵලදායී බව ද තහවුරු වුනා.

නව නීති මගින් පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීම තහනම් වන අතර එමගින් Chewing gum වැනි දේ යොදා ගනිමින් පන්දුව පළුදු කිරීමට ඇති අවස්ථාව ද අහිමිව යනවා

මෙම ක්‍රිකට් නීති සංශෝධනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් MCC හී නීති පිළිබඳව ප්‍රධානී Fraser Stewart ප්‍රකාශ කර සිටියේ ,

“2017 ක්‍රිකට් නීති සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ක්‍රීඩාව විවිධ ආකාරයෙන් වෙනස් වෙලා තියෙන්නේ. 2019 දී එය සුළු වෙනසකට ලක් කළත්, 2022 සංශෝධනයෙන් අපි ඒක කතා කරන විදියේ ඉඳන් ක්‍රීඩා කරන ආකාරය දක්වාම විශාල වෙනසක් සිදු කරන්න තීරණය කළා.

මෙම නීති ඔක්තෝබර් මාසයේ ඉඳලා ක්‍රියාත්මක වුනත් ලොව පුරා සිටින නිලධාරීන්ට මෙම නීති අධ්‍යයනය කරමින් ඒවා ඉගෙන ගෙන ඊට අනුගත වීමට අපි එම නීති දැන්ම ප්‍රකාශයට පත්කිරීම ඉතා වැදගත්”.

Lords වෙබ් අඩවියෙ පළ වූ ලිපියක් ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<