වැලලී ගිය ජය මතු කල ඒ.බී ඩිවිලියස්

457
GL vs RCB
Pic caption - රෝයල් චැලෙන්ජර්ස් ක්‍රීඩකයෝ තම ජය සමරමින් ©AFP

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 – 20 තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ ඊයේ (24) ආරම්භ විය.

එහි පළමු තරඟය ගුජරාටි ලයන්ස් කණ්ඩායම හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර බැංගලෝර් හිදී පැවැත්විණි. එම තරඟය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 4 කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් බැංගලෝර් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

අනතුරුව පිටියට පිවිසි ගුජරාටි ලයන්ස් කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 9 කට දැවී යන ලදි. පිටියේ 4 වන කඩුල්ල සඳහා එක්වූ දිනේෂ් කාර්තික් හා ඩුවේන් ස්මිත් ලකුණු 85 ක සබඳතාවයක් 4 වන කඩුල්ලට ගොඩනැංවීමට සමත් විය. දිනේෂ් කාර්තික් ලකුණු 26ක් හා ඩුවේන් ස්මිත් 4 පහරවල් 5 ක් හා 6 පහරවල් 6ක් සමඟ ලකුණු 73ක් ගන්නා ලදි. අනතුරුව පිටියට පැමිණි රවින්ද්‍ර ජඩේජා ලකුණු 3කට ද, ඩුවේන් බ්‍රාවෝ ලකුණු 8කට ද දැවී යන ලදි. රාකේෂ් ඩිව්වෙඩ් ලකුණු 19ක් ගුජරාටි ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු පුවරුව මත සටහන් කරන ලදි. ගුජරාටි ලයන්ස් කණ්ඩායම  තම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 158ක් ලබා ගැනීමට සමත් විය. ශේන් වොට්සන් ලකුණු 29 කට කඩුලු 4 ක් හා ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 26 කඩුලු  2 දවාලීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි බැංගලෝර් කණ්ඩායමේ මුල් පෙල කඩුලු 5 ක් ලකුණු 29 කට දවාලීමට ගුජරාටි ලයන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. විරාට් කෝලි, ලොකේෂ් රාහුල්, සචින් බේබි ලකුණු නොලබා ම දැවී ගිය අතර ක්‍රිස් ගේල් ලකුණු 9, ශේන් වොට්සන් එක ලකුණකට දැවී යන ලදි. අනතුරුව පිටියට පැමිණි ස්ටුවර්ට් බිනී සමඟ එක් වූ ඒ. බී. ඩිවිලියස් ලකුණු 39ක සබඳතාවයක් 6වන කඩුල්ලට ගොඩනැංවීමට සමත් විය. ස්ටුවර්ට් බිනී ලකුණු 21ක් ලබා සිටියදී දැවී යාම නිසා පිටියට පැමිණි ඉක්බාල් අබ්දුල්ලා සමඟ 7වන කඩුල්ල සඳහා නොබිදුනු ලකුණු 91ක දැවැන්ත  සබඳතාවයක් ගොඩනැංවීමට ඔවුන් දෙදෙනා සමත් විය. අනතුරුව බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2කදී කඩුලු 7ක් දැවී ලකුණු 159ක් ලබා ගෙන තරඟය ජයග්‍රහණය කරන ලදි. ඒත් සමඟම ඔවුන් තම අවසන් තරගයේ ස්ථානය වෙන් කරගන්නා ලදි. ඒ. බී. ඩිවිලියස් පන්දු 47කදී නොදැවී  ලකුණු 79ක් ගැනීමට 4 හා 6 පහරවල් 5 බැගින් එල්ල කල අතර ඉක්බාල් අබ්දුල්ලා නොදැවී ලකුණු 33ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී ඩවාල් කුලකරනි ලකුණු 14කට කඩුලු 2ක් හා රවින්ද්‍ර ජඩේජා ලකුණු 21කට කඩුලු 2ක් දවාලීමට සමත් විය.

තරගයේ වීරයා ලෙස ඒ.බී ඩිවිලියස් සම්මාන දිනාගන්නා ලදි.

එම තරගාවලියේ එලිමිනේටර් වටයේ තරඟය අද (25) කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර දිල්ලි හිදී පැවැත්වීමට නියමිතව ඇත.

එම තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟ ගුජරාටි ලයන්ස් කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරඟය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ඒ ගුජරාටි ලයන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන දෙක අතර සිටි නිසාවෙනි.

 තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න