93 වැනි ජෝන් ටාබට් මලල ක්‍රීඩා උලෙළ සාර්ථකව අවසන් වෙයි  

93rd Sir John Tarbat Senior Athletics Championship 2025

7
93rd Sir John Tarbat Athletics Championship 2025 day 04 results roundup sinhala 

93 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (11) සාර්ථකව නිමාවට පත් වුනා.

ශූරතාවලියේ අවසන් දිනය වූ ඊයේ දිනයේ ද නව තරග වාර්තා කිහිපයක් බිහි වූ අතර, මේත් සමඟින් සමස්ත තරගාවලිය පුරාවට නව තරග වාර්තා 32ක් බිහි වීම විශේෂත්වයක්.

ඊයේ දිනය තුළ බිහි වූ නව තරග වාර්තා මෙසේයි;

පිරිමි 18න් පහළ උස පැනීම ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ T. මෙන්ඩිස් විසින් මීටර් 2.15ක උසක් සමඟ නව තරග වාර්තාවක් සටහන් කළා.

මේ අතර 16න් පහළ පිරිමි රිටි පැනීම ඉසව්ව නියෝජනය කළ බෝපිටිය ලොයෝලා විද්‍යාලයේ M.සනුග සිල්වා මීටර් 3.61ක උසක් සමඟ නව තරග වාර්තාවක් කරා යද්දී, 16න් පහළ මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්ව නියෝජනය කළ H.A.L.සඳලි ක්‍රීඩිකාව ද නව තරග වාර්තාවක් කරා යෑමට සමත් වුනා. එමෙන්ම 16න් පහළ පිරිමි මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ තරග වාර්තාව ද ඊයේ අලුත් වූ අතර, එහි නව හිමි කරු ලෙස හලාවත සාන්ත මේරි විද්‍යාලයේ W.D.N.D.ප්‍රනාන්දු ක්‍රීඩකයාගේ නම සටහන් වුනා.

මේ අතර 18න් පහළ මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ G.D.L.අචින්ත විසින් මිනිත්තු 3.53.05ක කාලයක් සමඟ නව තරග වාර්තාවක් කරා යෑමට සමත් වුනා.

16න් පහළ පිරිමි යගුලිය විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ M.රාජසිංහ නව තරග වාර්තාවක් කරා යන අතරේ, 18න් පහළ කාන්තා මීටර් 100 ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ D.ප්‍රනාන්දු විසින් තත්පර 11.88ක කාලයක් සමඟ නව තරග වාර්තාවක් සටහන් කිරීමට සමත් වුනා. එමෙන්ම කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ C.ඉමේෂ් විසින් 18න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 10.68ක කාලයකින් නිම කරමින් නව තරග වාර්තාවක් වෙත යාමට සමත් වුනා. එමෙන්ම 20න් පහළ පිරිමි මීටර් 100 ඉසව්වේ වාර්තාව ද තත්පර 10.57ක් දක්වා රැගෙන ඒමට මහනුවර ගේට්වේ විද්‍යාලයේ S.ෆලීල් විසින් සමත් වුනා.

මේ අතර 16න් පහළ පිරිමි 400×4 ඉසව්වේ, 18න් පහළ කාන්තා සහ පිරිමි 400×4 ඉසව්වල මෙන්ම 20න් පහළ පිරිමි 400×4 ඉසව්වේ තරග වාර්තා ද ඊයේ දිනයේ දී අලුත් වුනා.

93 වැනි ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය මෙසේ නිමාවට පත් වු අතර, එහි දී විවිධ වයස් කාණ්ඩ වල ශූරතා සහ සමස්ත ශූරතා මෙසේ බෙදී ගියා.

  • 16න් පහළ කාන්තා – වත්තල ලයිසියම් විද්‍යාලය
  • 16න් පහළ පිරිමි – තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය
  • 18න් පහළ කාන්තා – වත්තල ලයිසියම් විද්‍යාලය
  • 18න් පහළ පිරිමි – වලල ඒ රත්නායක විද්‍යාලය
  • 20න් පහළ කාන්තා – වත්තල ලයිසියම් විද්‍යාලය
  • 20න් පහළ පිරිමි – කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • කාන්තා සමස්ත ශූරතාව – වත්තල ලයිසියම් විද්‍යාලය (ලකුණු 239)
  • පිරිමි සමස්ත ශූරතාව – තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය (ලකුණු 115)
  • දක්ෂතම ක්‍රීඩිකාව – ජිත්මා විජේතුංග (කාන්තා මීටර් 400 – තත්පර 53.87)
  • දක්ෂතම ක්‍රීඩකයා – අයෝමාල් අකලංක (පිරිමි මීටර් 400 – තත්පර 46.59)

දෙස්, විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>