74 වැනි රන් මහා සටනට සියල්ල සූදානම්!

The 74th Battle of Golds 

1
The 74th Battle of Golds 

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 74 වැනි වරට පැවැත්වීමට නියමිත රන් මහා සටන එළඹෙන මාර්තු 20 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇති.

මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මාර්තු 20, 21 සහ 22 තෙදින පුරා ක්‍රියාත්මක වීමට නියමිත මෙම තරගයෙන් අනතුරුව, දෙවිදුහල් අතර පැවැත්වීමට නියමිත 33 වැනි එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 29 වැනි දා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙරට ඉතිහාසෙ 11 වැනි පැරණිතම මහා ක්‍රිකට් තරඟය ලෙස සැලකෙන රන් මහා සටනේ ඉතිහාසයේ 1934 වසර තෙක් අතීතයට දිව යන අතර, එදා පටන් මේ දක්වා ක්‍රියාත්මක වූ ක්‍රිකට් තරග 73න් තරග 07ක් මොරටු මහා විද්‍යාලය ජය ගැනීමට සමත් වී ඇති අතර, ශ්‍රී සුමංගල විද්‍යාලය තරග 08ක් ජය ගැනීමට සමත් වී තිබෙනවා.

ශ්‍රී සුමංගල විද්‍යාලය සිය පළමු ජය 1962 දී ජය ගැනීමට සමත් වූ අතර, මොරටු මහා විද්‍යාලය 1956 දී සිය පළමු ජය ලැබීමට සමත් වුනා. එමෙන්ම 2010 වසරේ දී ඔවුන් සිය අවසන් ජය ලැබූ අතර, ශ්‍රී සුමංගල විදුහල 2007 වසරේ දී සිය අවසන් ජය ලැබීමට සමත් වුනා.

ඒ අනුව වසර 16 තිස්සේ තවමත් එකදු තරගයක් හෝ ජයග්‍රහණයකින් තොරව ක්‍රියාත්මක වී තිබීමත් විශේෂත්වයක්.

මේ අතර 1981 වසරේ පැවැත්වුණු මහා ක්‍රිකට් තරගයේ දී රවීන් වික්‍රමරත්න විසින් ශතකයක් (ලකුණු 104ක්) සහ කඩුලු ත්‍රිත්වයක් (සමස්ත කඩුලු 05ක්) ලබමින් විශිෂ්ට දස්කමක් දැක්වීමට සමත් වූ අතර, ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කරනවා.

එමෙන්ම මෙම මහා තරගය ක්‍රීඩා කළ තිස්ස ඉලේපෙරුම ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබීමට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර, ඊට අමතරව දොන් අරුනසිරි, ඉන්දික ගාල්ලගේ මෙන්ම දිල්රුවන් පෙරේරා ද පසු කාලීන ව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් වුනා. එමෙන්ම කෞශාල් සිල්වා, ඕෂධ ප්‍රනාන්දු මෙන්ම කිත්රුවන් විතානගේ ද මෙම මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ලෙස පසු කාලීනව ජාතික කණ්ඩායම නියෝජනය කළා.

මීට අමතරව ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නකු ලෙස සැලකුම් ලබන අජන්ත මෙන්ඩිස් මෙන්ම, වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ විශිෂ්ට ආරම්භක පිතිකරුවකු ලෙස කැපී පෙනෙන නිශාන් මදුශ්ක ද මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරට එක් වනවා.

දෙවිදුහල් අතර ක්‍රියාත්මක වන එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 17ක ජය මොරටු මහා විද්‍යාලය සතු වන අතර, තරග 12ක ජය ශ්‍රී සුමංගල විද්‍යාලය සතු වනවා.

මෙවර තරගවාරය වෙනුවෙන් ශ්‍රී සුමංගල විද්‍යාලය මෙහෙයවීමේ වගකීම මෙවිඳු කුමාරසිරි සතු වන අතර, විහඟ නෙත්සර මොරටු මහා විද්‍යාලය මෙහෙයවීමට සූදානමින් සිටිනවා.

මෙවර ‘රන් සටනේ’ (Battle of the Golds) ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ Dialog Axiata PLC  සමාගම වන අතර, Anunine Holdings Pvt Ltd ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස ද, Super Fashion රන් අනුග්‍රාහකයා ලෙස ද, රිදී අනුග්‍රාහකයා ලස Singer Sri Lanka PLC ආයතනය කටයුතු කරනවා.

මීට අමතරව Naturub Exports International (Pvt) Ltd, KND Holdings, AMD Freight Forwarders Pvt Ltd සහ Fitness Kingdom සම අනුග්‍රාහකයන් ලෙසත්, Sampath Bank PLC නිල බැංකු සහකරු ලෙසත්, ThePapare නිල විකාශන සහ නිෂ්පාදන සහකරු ලෙසත් කටයුතු කරනවා.

Grit Property Group නිල දේපළ වෙළඳාම් සහකරු ලෙසත්, DPL Lanka Holdings නිල ඩිජිටල්  මුද්‍රණ සහකරු ලෙසත් කටයුතු කරන අතර, Elephant House ආයතනය Keells Krest, Lemonade  සහ Wonder සමඟින් නිල ආහාර පාන සහ අයිස්ක්‍රීම් සහකරු ලෙසත් මෙවර තරගය වෙනුවෙන් එක් වී සිටිනවා.  එමෙන්ම ශ්‍රී සුමංගල ආදි ශිෂ්‍ය සංගමය ද මීට අභිමානවත් අනුග්‍රාහකයෙකු ලෙස මෙවර තරගය වෙනුවෙන් එක් වීම විශේෂත්වයක්.

ශ්‍රී සුමංගල විද්‍යාල සංචිතය:  මෙවිඳු කුමාරසිරි (නායක), නේක්ෂ ඉද්දමල්ගොඩ (උප නායක), බිහඟ සිල්වා, සංදීප් විජේරත්න, දිනූෂ දුලංජන, විදුර බාසර, උමන්ත ආකාශ්, මෙතුම් ප්‍රනාන්දු, පන්සිළු සිල්වා, ලෙළුම් වීරසිංහ, සිහස් නෙත්දින, සෙදව් හෙට්ටිආරච්චි, විසල් හංසිත, රිවිත් රන්ලක,  ශාන්ශන විහංගන, රාජ් මෙතිරත්න

 

මොරටු මහා විද්‍යාල සංචිතය:  විහඟ නෙත්සර (නායක), සංජන සෙනවිරත්න (උප නායක), දෙනත් සිතුමිණ, සිතුම් සිල්වා, විසල් සිරිවර්ධන, සඳුන් සවාරිස්, ඕෂද ජයවික්‍රම, මේනක කොතලාවල, සත්සර මිහිරංග, සවිඳු පෙර්රා, නිපුන් කරුණාරත්න, දිනරු ප්‍රනාන්දු, චෙනර අමරසිංහ, නිමේෂ් ප්‍රනාන්දු, රන්මිත්  අප්පුහාමි, සසිඳු පීරිස්, සවිඳු ප්‍රනාන්දු

දේශීය පාසල් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<