රන් කුසලානයට ගැටෙන පානදුර – මොරටුව

73rd Battle of the Golds

125
73rd Battle of the Golds

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු විද්‍යාලය අතර 73 වැනි වරටත් පැවැත්වෙන “රන් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 28, 29 සහ 30 යන දිනවල මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිතයි. මෙම තරගය තුන් දින තරගයක් ලෙසින් පැවැත්වෙන පළමු අවස්ථාවයි මේ.

1934 වසරේ දී ඇරඹි මෙම තරගමාලාවේ මේ දක්වා පැවැති තරගවල දී ශ්‍රී සුමංගල විද්‍යාලය තරග 8ක් ජයග්‍රහණය කරමින් ඉදිරියෙන් පසුවෙන අතර මොරටු විද්‍යාලය ජයග්‍රහණ කර ඇත්තේ තරග 7ක් පමණයි. ඉතිරි තරග 57 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි.

මෙම තරගමාලාවේ මංගල ජයග්‍රහණය වාර්තා වන්නේ 1956 වසරේ දී ටී. හපුගොඩ ගේ නායකත්වය යටතේ මොරටු විද්‍යාලය ලත් ජයග්‍රහණයෙනුයි. සුමංගල විද්‍යාලය මංගල ජයග්‍රහණයක් වාර්තා කරන්නේ ඊට වසර 6කට පසුව එස්. සිගේරා ගේ නායකත්වය යටතේ 1962 වසරේදීයි.

එතැන් සිට ගෙවී ගිය මොරටු රන් සටන් ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රාහකයන් ලෙසින් කිරුළ දිනා ගන්නේ 2010 වසරේ දී අනුරුද්ධික කල්හාර ගේ නායකත්වය යටතේ මොරටු විද්‍යාලය විසිනුයි. ශ්‍රී සුංමගල විද්‍යාලය අවසන් වරට 2007 වසරේ දී ජයග්‍රහණය කරනු ලැබූ අතර එම කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ඉරේෂ් පුෂ්පකුමාර විසිනුයි.

රන් සටන් ඉතිහාසය හා එක් වූ සටන්කාමීන් අතුරින් ශ්‍රී සුමංගල විද්‍යාලය නියෝජනය කළ දොන් අනුරසිරි, ඉන්දික ගාල්ලගේ, ඩිල්රුවන් පෙරේරා, කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ සහ ඕෂද ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක්වෙමින් විද්‍යාලයීය ක්‍රිකට් නාමයට ගෞරවනීය ඉතිහාසයක් එක් කරද්දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ විශ්ව ලහිරු ද මෙම ලැයිස්තුව හා එක් වෙනවා.

එමෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙක් ලෙසින් කටයුතු කරන රවීන් වික්‍රමරත්න ද ආඩම්බර ශ්‍රී සුමංගල ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 1981 වසරේ පැවැති රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී පිතිකරුවෙක් ලෙසින් ශතකයක් ලබා ගනිමින් ද සහ පන්දු යැවීමේ දී කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් කඩුලු 5ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට සමත් වූ ක්‍රීඩකයෙක්. ඔහු එදා පෑ දක්ෂතා ව අදටත් රන් සටන් ඉතිහාසයේ තුන් ඉරියව්වෙන් පෑ ඉහළ ම දක්ෂතා ලෙසින් සටහන් වෙනවා.

මොරටු විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩයන් අතුරින් අජන්ත මෙන්ඩිස්, හසන්ත ප්‍රනාන්දු, සහ නිශාන් මධුශ්ක සුවිශේෂී චරිත ලෙසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක් වූ අතර ඊට පෙර ලංකා කණ්ඩායම ලෙසින් නම් ලද කාලයේ දී සරත් ප්‍රනාන්දු සහ බර්නාඩ් පෙරේරා ද ජාතික කණ්ඩායම හා එක් ව සිටියා. ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ පෙරළිකාර ක්‍රීඩකයෙක් ව සිටි ලකී රොජර්ස් ද මොරටු විද්‍යාලයෙන් බිහි වූ දක්ෂ ක්‍රීඩකයෙක්.

එමෙන් ම ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා එක් වූ ඉනෝෂි ප්‍රනාන්දු සහ උපේක්ෂා තාබ්‍රේව් ද මොරටු විද්‍යාලයීය ඉතිහාසය වර්ණවත් කරනවා.

එමෙන් ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඉනෝෂී ප්‍රනාන්දු සහ උපේක්ෂා තාබ්‍රේව් ද මොරටු විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩිකාවන් ව විද්‍යාලයට ගෞරවයක් ලබා දී තිබෙනවා.

මෙවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ නායකයා ලෙසින් දුරංක ද සිල්වා කටයුතු කරන අතර මොරටු විද්‍යාලයේ නායකයා ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන නිශාන් මදුශ්කගේ සොයුරු ඉසුරු ප්‍රනාන්දු.

ශ්‍රී සුමංගල විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ Tier B කොටසෙන් තරග පිටියට පිවිසි ඔවුන් එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත් වූවා.

එහි දී ඔවුන් තරග 13කට සහභාගී වෙමින් ඉන් තරග 4ක ජයග්‍රහණ ද සහ තරග 3ක පළමු ඉනිමේ ජයග්‍රහණ ද වාර්තා කරනවා.

කණ්ඩායමේ දක්ෂතා දක්වන පිතිකරුවන් අතර නේක්ෂ ඉද්දමල්ගොඩ සහ නායක දුරංක සිල්වා වෙත හිමි වෙන්නේ ප්‍රමුඛ පිළිගැනීමක්. ඔවුන් දෙදෙනා මෙම තරගය සඳහා එක් වෙන්නේ ලකුණු 500 සීමාව පසුකරමින් මෙන් ම ශතකලාභීන් ද ලෙසයි.  කණ්ඩායමේ අනෙක් ශතකලාභියා වෙන්නේ අනුහස් ද සිල්වා. ඔහු මෙන් ම අකිල වෙදමුල්ල ද ලකුණු 400 සීමාව පසු කර ඇති අතර සෙනිර විජේගුණසිංහ සහ සංදීප් විජේරත්න ලකුණු 300 සීමාව පසු කරමින් ද කණ්ඩායම හා එක් ව සිටිනවා.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය පන්දු යැවීමේ බලඇණියේ ප්‍රධානියා වෙන්නේ මෙවන් කුමාරසිංහ. ඔහු මේ දක්වා කඩුලු 60කට වඩා දවාගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඊට අමතර ව සදෙව් හෙට්ටිආරච්චි කඩුලු 40ක් ඉක්මවා දවා ගනිමින් කණ්ඩායමේ විශ්වාසය දිනා තිබෙනවා.

කණ්ඩායමේ සිටින අනෙකුත් ක්‍රීඩකයන් අතුරින් රුසිත් ජයවර්ධන කඩුලු 40ක් ඉක්මවා දවා ගනිමින් ද සහ ලකුණු 200 සීමාව පසු කරමින් ද, බිහඟ සිල්වා ලකුණු 200 සීමාව පසු කරමින් සහ කඩුලු 25ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

Sri sumangala college

ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම:

දුරංක සිල්වා (නායක), සෙනිර විජේගුණසිංහ (උප නායක), අකිල වෙදමුල්ල, මෙවිඳු කුමාරසිරි, නේක්ෂ ඉද්දමල්ගොඩ, රුසිත් ජයවර්ධන, බිහඟ සිල්වා, සන්දීප් විජේරත්න, සදෙව් හෙට්ටිආරච්චි, සදික හේවගේ, අනුහස් ද සිල්වා, ලෙලුම් වීරසිංහ, විසල් හංසිත, මෙතුම් ප්‍රනාන්දු, චනිරු ප්‍රනාන්දු සහ දිනූෂ ප්‍රනාන්දු.

 

රවීන්ද්‍ර පුෂ්පකුමාර (විදුහල්පති), ප්‍රියංකර නන්දසේන (ක්‍රිකට් භාර ආචාර්ය), අසේල  පෙරේරා (ප්‍රධාන පුහුණුකරු)

මොරටු විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ මොරටු විද්‍යාලය එම තරගාවලිය අවසන් කරන්නේ තරග 12කට සහභාගී වෙමින් ඉන් තරග 2ක පූර්ණ ජයග්‍රහණ ද සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 4ක් ද ලබා ගනිමිනුයි. අනෙක් තරග අවසන් වෙන්නේ පරාජිත තරගයක් සහ පළමු ඉනිමේ පරාජිත තරග 5ක් ලෙසයි.

මොරටු විද්‍යාලයීය පිතිකරුවන් අතුරින් වඩාත් ඉදිරියෙන් පසු වෙන්නේ නායක ඉසුරු ප්‍රනාන්දු. ඔහු මෙවර තරග සමයේ දී ලකුණු 1000ක් වාර්තා කරන ලද අතර කඩුලු 30කට වැඩියෙන් දවා ගෙන තිබෙනවා. ඔහු මෙවර තරගාවලියේ දී කොළඹ සහිරා විද්‍යාලයට එරෙහි ව ත්‍රිත්ව ශතකයක් වාර්තා කරන ලද අතර එය මෙම තරගවාරයේ පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු ලෙසින් ද සටහන් වෙනවා.

ඔහුට අමතර ව සංජන සෙනෙවිරත්න ලකුණු 900ක් ඉක්මවා ලබා ගනිමින් ද දෙනෙත් සිතුමිණ ලකුණු 500ක් ඉක්මවා ලබා ගනිමින් පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටිනවා.

පන්දු යැවීමේ දී නිශාන්ත ප්‍රනාන්දු කඩුලු 50ක් ඉක්මවා දවා ගනිමින් ද දක්ෂතා දක්වමින් කණ්ඩායම හා එක් ව සිටිනවා.

Moratu maha vidyalaya

මොරටු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම:

ඉසුරු ප්‍රනාන්දු (නායක) ශෙහාර ප්‍රනාන්දු (උප නායක), සංජන සෙනෙවිරත්න, සිතුම් සිල්වා, හසිඳු ගිම්සරු, ඕෂද  දිනියුරු, සවිඳු ශෙහාර, සත්සර මිහිරංග, විහඟ නෙත්සර, සඳුන් සුදර්ශන, මලිත් පෙරේරා, සඳනෙත් යහම්පත්, නිශිත දුලංජන, සචිත්‍ර පතිරණ, සසිඳු පීරිස් සහ විසල් ශ්‍රී සත්සර.

 

රුවන් අරඹේපොල (විදුහල්පති), දිනේෂ් කංකානම්ගේ (ක්‍රිකට් භාර ආචාර්ය), සංජය දිසානායක (ප්‍රධාන පුහුණුකරු), රුචිර සිල්වා (සහාය පුහුණුකරු).

දෙවිදුහල් අතර 32 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අප්‍රේල් 06 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට යෝජිතයි.

නිමා වී ඇති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවලින් තරග 16ක ජයග්‍රහණ ශ්‍රී සුමංගල විද්‍යාලය සතු වන අතර තරග 12ක ජයග්‍රහණ මොරටු විද්‍යාලය සතු වෙනවා. නිමා වූ තරග අතුරින් තරග 2ක් විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසින් ද සහ අනෙක් තරගය ක්‍රීඩා කිරීමෙන් තොරව ද අවසන් ව තිබෙනවා. එක්දින තරග ඉතිහාසයේ පසුගිය වසරේ ජයග්‍රාහකයන් වූයේ ශ්‍රී සුමංගල විද්‍යාලයයි.

73 වැනි රන් සටන සඳහා එක් වෙන පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට සහ මොරටු විද්‍යාලයට ThePapare.com හී සුබ පැතුම්!

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<