65 වැනි මැංගුස් සටන මොරටුවේ දී

65th Battle Of the Mangosteen

23
65th Battle Of the Mangosteen

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර විද්‍යාලය අතර 65 වැනි වරටත් පැවැත්වෙන මැංගුස් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 23, 24 සහ 25 යන දිනවල දී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තරගය තුන් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක පළමු අවස්ථාව මෙය වන අතර එම තරගයේ දී කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම අජිත බුද්ධික විසින් ද සහ කළුතර විද්‍යාලයීය කණ්ඩායම  කෞෂිල අමෝද්‍ය විසින් ද මෙහෙයවනු ලබයි.

1949 වසරේ දී පළමු වරට ආරම්භ වූ මෙම තරග ඉතිහාසයේ මෙතෙක් අවස්ථා 22ක ජයග්‍රහණ හිමිකර ගැනීමට කළුතර විද්‍යාලය සමත් ව ඇති අතර තිස්ස විද්‍යාලයට ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකි ව ඇත්තේ අවස්ථා 7ක දී පමණයි.

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙවර තරගාවලියේ දී තරග 13කට සහභාගී වෙමින් ලත් අත් දැකීම් සමඟින් මෙම තරගයට එක් වෙනවා. ඔවුන් එම තරග නිමා කරන්නේ පළමු ඉනිමේ ජයග්‍රහණ 3ක් සහ විසඳුමකින් තොරව අවසන් වූ තරග ද්විත්වයක් ද සමඟිනුයි. ඉතිරි තරගවල දී පුර්ණ පරාජිත තරග 4ක් සහ පළමු ඉනිමේ පරාජිත තරග 4කට ද ඔවුන්ට මුහුණ දීමට සිදු වෙනවා.

කෙසේ වෙතත් එම තරගවල දී වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට නෙත්සර රාජපක්ෂ සමත් වෙනවා. ඔහු අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 510ක් ලබා ගන්නවා. ඊට අමතර ව උප නායක මල්ශ කවිශාන් අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 405ක් ද සහ නඳුන් අසේල අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 336ක් ද ලබා ගනිමින් පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වනවා.

පන්දු යැවීමේ දී මලිඳු ඩිල්ශාන් කඩුලු 42ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතර කැපී පෙණෙන දක්ෂතා දක්වන ලද අතර ඔහුගේ මෙම කඩුලු ප්‍රමාණයට ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 4ක් මෙන් ම තරගයක කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථාවක් ද වාර්තා කරනවා. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන මලිඳු ඩිල්ශාන් කණ්ඩායමේ ප්‍රමුඛ පෙළ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ද සැලකෙනවා. ඔහු පිතිකරුවෙක් ලෙසින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 297ක්.

ඔහුට අමතර ව පන්දු යැවීමේ දී හශේන් ඉම්සර කඩුලු 26ක් දවා ගනිමින් ද සහ තාරුක සමින්ජිත් කඩුලු 24ක් ද දවා ගනිමින් කළුතර තිස්ස විද්‍යාලයීය කණ්ඩායමේ පන්දු යවන්නන් අතර කැපී පෙණෙන මෙහෙවරක් කළ අය ලෙසින් ඉදිරියෙන් සිටිනවා.

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

අජිත බුද්දිල (නායක), මල්ශ කවිශාන් (උප නායක), නඳුන් අසේල, මලිදු ඩිල්ශාන්, උමන්ත ආකාශ්, තාරුක සමන්ජිත්, හශේන් ඉම්සර, අශේන් ඉෂාර, සිතුම් මිහරංග, සදෙව් ඩිල්ශාන්, නෙත්සර රාජපක්ෂ, මින්දෙව් හංසන, අකිල ඉඳුවර, විශ්ව ඔශාන්, චමිඳු ලක්ශාන්, සදෙව් අනුහස්, රිනුෂ් රශ්මික, සිතුප සස්මිත, දනිතු අල්විස්, ලිසෝන් ශීනාත් සහ දිනුග කෞශාල්.

 

ජේ. ඒ. ඩී. මාලින්ද (විදුහල්පති), චන්දන යසන්ත (ක්‍රීඩා භාර ආචාර්ය), සුමිඳු ජයමාල් (ක්‍රිකට් භාර ආචාර්ය), ලක්ශිත රණසිංහ (ප්‍රධාන පුහුණුකරු), හේෂාන් ලක්ෂිත (සහාය පුහුණුකරු), දිනේෂ් පෙරේරා (සහාය පුහුණුකරු), භාෂිත පෙරේරා (සහාය පුහුණුකරු).

කළුතර විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් කළුතර විද්‍යාලය මෙම තරගවාරය නිමා කරන්නේ තරග 12ක් ක්‍රීඩා කරමිනුයි. එම තරගවල දී පූර්ණ තරග 4ක් ජයග්‍රහණ ලෙසිනුත් තවත් තරග 4ක් පළමු ඉනිමේ ජයග්‍රහණ ලෙසිනුත් අවසන් කරන ඔවුන් ඉතිරි තරග 4 නිමා කරන්නේ පරාජිත තරග ලෙසයි.

ඒ අනුව නිමා වූ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ ලිවිරු සෙන්මිත. කළුතර දිස්ත්‍රික් කණ්ඩායම ද නියෝජනය කරන ඔහු ශතකයක් සහ අර්ධ ශතක 3ක් ද සමඟින් ලකුණු 628ක් ලබා ගන්නවා.

ඊට පසුව වැඩිම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ උප නායක නිතික ෆොන්සේකා. ඔහු ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 485ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. කළුතර විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යැවීමෙන් ද දායකත්වය දක්වන නිතික ෆොන්සේකා මෙවර තරගාවලියේ දී කඩුලු 19ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර කළුතර විද්‍යාලයීය එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද හිමි ව ඇත්තේ ඔහුටයි.

මැංගුස් සටනේ කළුතර විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලත් කෞෂිල අමෝද්‍ය මෙවර තරගාවලියේ දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 370ක්. ඊට අර්ධ ශතක ද්විත්වයක් එක් කරන ලද අතර ඔහු නිමා වූ 64 වැනි මැංගුස් සටනේ දක්ෂතම පිතිකරු මෙන් ම තරගයේ වීරයා ලෙසින් ද දිනූ සම්මාන සමඟයි මෙවර තරගයට එක් වෙන්නේ.

ඔවුන්ට අමතර ව අර්ධ ශතකයක් සමඟින් ලකුණු 268ක් ලබා සිටින ආකේශ් ශාමින්ද,  අර්ධ ශතයක් සමඟින් ලකුණු 326ක් ලබා ගත් විහඟ සපුමල් සහ ලකුණු 188ක් ලබා ගත් සවිනු ලියනගේ ද කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූ පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් වෙනවා.

ඊට අමතර ව ශ්‍රීර්ෂ තාරුක ද කණ්ඩායම හා එක් ව සිටින්නේ තුන් ඉරියව්වේන දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි. ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 187ක් ලබා ඇති අතර වේග පන්දු යවමින් කඩුලු 12ක් දවා ගනිමින් කණ්ඩායම හා එක් ව සිටිනවා.

කණ්ඩායමේ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසු වෙන්නේ දඟ පන්දු යවන අදීෂ පබසර. ඔහු මෙවර පාසල් තරගාවලිය නිමා කරන්නේ කඩුලු 72ක් දවා ගනිමින්. ඊට අමතර ව රදීශ තීක්ෂණ කඩුලු 26ක් ද, හිරුෂ ගගනක කඩුලු 23ක් ද සහ සවිනු ලියනගේ කඩුලු 12ක ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

කළුතර මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කෞෂිල අමෝද්‍ය (නායක), නිතික ෆොන්සේකා (උප නායක), ලිවිරු සෙන්මිත, විහඟ සපුමල්, ආකේශ් ශාමින්ද, සවිනු ලියනගේ, ශ්‍රීර්ෂ තාරක, හිරුෂ ද සිල්වා, නෙතුල් නිම්සර, දේශාන් ආලෝක, අදීශ පබසර, රදීශ් තීක්ෂණ, උතුම් වියංග, අචිර පෙරේරා, දිනුග කෞශාල්, යදීශ හසරංග සෙනෙහස් දහම්සර, චෙනුත් සත්සිඳු, කවිඳු දිනූල්, මල්තික දුල්නෙත් සහ තුමාශ සදෙව්.

 

චතුරංග ප්‍රදීප් ලීලාරත්න (විදුහල්පති), යූ. ඒ. පිලීශියා (නියෝජ්‍ය විදුහල්පති -ක්‍රීඩා), ඉශාන් රත්නායක (ක්‍රිකට් භාර ආචාර්ය), බුද්ධික මධුශාන්ත ((ප්‍රධාන පුහුණුකරු), ඉන්ශක සිරිවර්ධන (සහාය පුහුණුකරු).

65 වැනි මැංගුස් සටනට එක් වෙන කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සහ කළුතර විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

දෙවිදුහල් අතර 15 වැනි වරටත් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය ජුනි මස 1 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 2 නාලිකා අංක 63 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<