හිරුෂ මැංගුස් සටනේ පළමු දිනය වර්ණවත් කරයි

65th Battle of the Mangosteen

3

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර විද්‍යාලය අතර 65 වැනි වරටත් පැවැත්වෙන මැංගුස් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (23) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.  

වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් තත්ත්වය මත මෙම තරගයේ ආරම්භය පැයකට වැඩි කාලයක් ප්‍රමාද වූ අතර ඉන් අනතුරු ව උරගා බැලුණ කාසියේ වාසිය තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය නායකයා සතු වූනා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත් ඔවුන්  තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 181ක් ලබා සිටියා.  

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

අජිත බුද්දිල (නායක), සදෙව් ඩිල්ශාන්, මල්ශ කවිශාන්, නෙත්සර යශ්මිත, නඳුන් අසේල, මලිඳු ඩිල්ශාන්, අශේන් ඉෂාර, උමන්ත ආකාශ් (කඩුලු රකින්නා), සිතුම් මිහිරංග, තාරුක සමන්ජිත් සහ හෂේන් ඉම්සර. 

කළුතර මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කෞෂිල අමෝද්‍ය (නායක සහ කඩලු රකින්නා), විහඟ සපුමල්, අදීශ පබසර, සවිනු ලියනගේ, නිතික නාධව, ශීර්ෂ තාරක, ලිවිරු සෙන්මිත, හිරුෂ ගගනක, අකේශ් ශමින්ද, රදීශ තීක්ෂණ සහ දේශාන් අලෝක. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සදෙව් ඩිල්ශාන් සහ මල්ෂ කවිශාන් සමත් වුනා. ඔවුන් දෙදෙනා එක් ව දහවල් විවේකය දක්වා වූ පළමු කාර්තුවේ දී තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු 49ක් තම කණ්ඩායමට එක් කරනවා. ඒ සඳහා ඔවුන් දෙදෙනා පන්දුවාර 29ක් වැය කළා 

නමුත් දහවල් විවේකයෙන් පසුව යැවුණ 3 වැනි පන්දුවේ දී ඔවුන්ගේ සබඳතාවට තවත් එක් ලකුණක් පමණක් එකතු වෙද්දී ඉනිමේ පළමු කඩුල්ල අහිමි වෙනවා. ඒ සදෙව් ඩිල්ශාන් පන්දු 89කට මුහුණ දෙමින් ලකුණු 9ක් පමණක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟයි.  

අනතුරු ව මල්ෂ කවිශාන් 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා. ඉන් පසුව නඳුන් අසේල ලකුණු 13කට ද, නෙත්සර යස්මිත ලකුණු 10කට ද සහ අශේන් ඉෂාර ලකුණු නොලබා ද දැවී යනවා.  

එම කාර්තුවේ දී ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගැනීමට කළුතර විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වූවා. ඒ අනුව තේ විවේකය සඳහා තරගය නතර කරන විට තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිම දැක් වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් ලෙසයි.  

තේ විවේකය වෙද්දී මලිඳු ඩිල්ශාන් සහ උමන්ත ආකාශ් පිටියේ නොදැවී රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 38ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව බිඳී යන්නේ මලිඳු ඩිල්ශාන් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 6 වැනි පන්දුවේ දී උමන්ත ආකාශ් ගේ ඉනිම ද නිමා කිරීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.  

එතැන් සිට තරගයේ පාලනය තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය නායක අජිත බුද්දිල සතු වූ අතර ඔහු දිනයේ අවසන් පිතිකරු ලෙසින් දැවී යද්දී පන්දු 50කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.  

එම කාලය තුළ ඔහු සිතුම් මිහිරංග හා එක් වෙමින් 8 වැනි කඩුල්ලට ලකුණු 37ක සබඳතාවක් ද එක් කරනවා.  

තරගය පළමු දිනයට අවසන් වෙද්දී සිතුම් මිහිරංග පන්දු 75කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 11ක් ද සහ තාරුක සමන්ජිත් පන්දු 14කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 5ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන හිරුෂ ගගනක වැඩි දක්ෂතා දැක් වූවා. ඔහු පළමු දිනයේ ම ලකුණු 66කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වෙනවා.  

ඊට අමතර ව අදීශ පබසර කඩුලු 2ක් ද සහ රදීශ තීක්ෂණ කඩුල්ලක් ද දවා ගන්නවා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 181 (81.5) මල්ෂ කවිශාන් 47, මලිඳු ඩිල්ශාන් 23, උමන්ත ආකාශ් 22, අජිත බුද්ධිල 27, හිරුෂ ගගනක 5/66, අදීශ පබසර 2/61

මෙම තරගය හෙට (24) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

මෙම තරගාවලියේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 2 නාලිකා අංක 63 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා. 

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟින්.   

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<