තත්සර ඒශාන්ගෙන් ශතකයක්

35th Battle of Kelaniya

109

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර 35 වැනි වරටත් පැවැත්වෙන කැළණි හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ (6) කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට  ගුරුකුල විද්‍යාලයේ තත්සර ඒකනායක සහ පූර්ණ කල්හාර ද ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ සතිඳු ප්‍රබෝධ ද සමත් වෙනවා.  

කොළඹ P Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ධර්මාලෝක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ගුරුකුල විද්‍යාලයට ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 288ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 18ක් ලබා සිටියා. 

ගුරුකුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

තත්සර ඒශාන් (නායක), හිරුණ නිම්සර, පූර්ණ කල්හාර, දහම් විමුක්ති, ජවිඳු මදුශාන්, ඉඳුවර ඕෂද, ජනිත් මිහිරංග, සහන් ජුමත්, දෙනුර දිමන්සිත් (කඩුලු රකින්නා) සහ ඔහස් සදෙව්. 

 

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

හශේන් ශ්‍යාමල් (නායක, කඩුලු රකින්නා), තිශාන් නිපුන්, කෝෂිත ආදිත්‍ය, ලක්වන් හශේල්, මෙවන් රන්දීපන, තෙමිර මිකාසන, ඔමල් විහඟ, සිතුම් රමෝද්, තරුෂ මිහිරංග, සතිදු ප්‍රබෝධ සහ කවීන් දෙනෙත්. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ගුරුකුල විද්‍යාලයේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 6ක් වෙද්දී අහිමි වෙනවා. නමුත් එතැන් සිට ඇරඹි 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාවක් එක් කිරීමට දෙනුර දිමන්සිත් සහ පූර්ණ කල්හාර සමත් වෙනවා.  

දෙනුර දිමන්සිත් පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටිය දී එම කඩුල්ලේ සබඳතාව බිඳී ගිය අතර පූර්ණ කල්හාර පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටිය දී සිව් වැනි කඩුල්ල ලෙසින් දැවී ගියා. 

එම දැවී යැම්වලින් අනතුරු ව ගුරුකුල ඉනිමට ලකුණු 62ක සබඳතාවක් එක් කිරීමට නායක තත්සර ඒශාන් සහ ජනිත් මිහිරංග සමත් වෙනවා. ජනිත් මිහිරංග පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.  

නැවත ගුරුකුල ඉනිමට ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට තත්සර ඒශාන් සහ තරූෂ කොඩිකාර සමත් වෙනවා. ඒ 8 වැනි කඩුල්ල වෙනුවෙනුයි.  

තත්සර ඒශාන් ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා. තරුෂ කොඩිකාර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26ක්. ඔහු ඊට පන්දු 51කට මුහුණ දුන් අතර හතරේ පහර 4ක් ඊට ඇතුලත් වුනා 

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යවන සතිඳු ප්‍රබෝධ ලකුණු 100කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව තිෂාන් නිපුන් සහ සිතුම් රමෝද් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ධර්මාලෝක ඉනිමේ පළමු කඩුලු ද්විත්වය පළමු පන්දුවාරයේ දී දවා ගැනීමට තරුෂ කොඩිකාර සමත් වීම කැපී පෙණුනා. එම ඉනිම වෙනුවෙන් මේ වන විට කවීන් දෙනෙත් ලකුණු 10ක් සහ සිතුම් රමෝද් ලකුණු 7ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටිනවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (75.2) පූර්ණ කල්හාර 57, දෙනුර දිමන්සිත් 28, තත්සර ඒශාන් 103, ජනිත් මිහිරංග 24, තරුෂ කොඩිකාර 26, තිශාන් නිපුන් 2/59, සිතුම් රමෝද් 2/64, සතිදු ප්‍රබෝද 5/100 

 

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 18 (12.0)  

මෙම තරගය අද (07) 2 වැනි දිනටත් ක්‍රියාත්මකයි.  

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television නාලිකා අංක 63 සුසර කර ගැනීමෙන් ThePapare 2 මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.  

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<