Maliban Biscuits A අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී

32nd Singer - MCA Super Premier League 2025

675
32nd Singer - MCA Super Premier League 2025- 24th September Roundup

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 32 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ 1 වැනි අවසන් පූර්ව තරගයෙන් Fairfirst Insuarance කණ්ඩායමට එරෙහි ව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් Maliban Biscuits A ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අද (24) කොළඹ NCC පිටියේ දී පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Fairfirst Insuarance කණ්ඩායම ලකුණු 130කට සියලුම දෙනා දැවී ගිය අතර එම ඉලක්කය ප්‍රතිවාදී Maliban Biscuits A ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගන්නවා.

Fairfirst Insuarance කණ්ඩායම  

 

මෝදිත රණතුංග (නායක), තනුක දාබරේ, ගවිරු සෙන්හස්, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), අනුක් ප්‍රනාන්දු, ගයන වීරසිංහ, නිමේෂ් විමුක්ති, ඉම්තියාස් ස්ලාසා, දිලුම් සුදීර, සහන් මිහිර සහ කළණ ලියනගේ.

 

Maliban Biscuits A කණ්ඩායම

 

මිලින්ද සිරිවර්ධන (නායක), හිරාන් ජයසුන්දර, සංගීත් කුරේ, ධනංජය ලක්ෂාන්, දුශාන් විමුක්ති, සනෝජ් දර්ශික, සහන් ආරච්චිගේ, දුශාන් හේමන්ත, වනුජ සහන්, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා) සහ මිලාන් රත්නායක.

කාසියේ වාසිය දිනාගත් Maliban Biscuits A කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Fairfirst Insuarance කණ්ඩායමට අද දවස කිසිසේත් ම සාර්ථක වූවේ නැහැ.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ලකුණු 300 සීමාව ඉක්මවා ගිය ඔවුන්ට අද ලබා ගැනීමට හැකි වෙන්නේ ඉන් තුනෙන් එකක ලකුණු සංඛ්‍යාවක් පමණයි. එසේ වූවත් එම ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගීමට තනුක දාබරේ සහ ගවිරු සෙන්හස් සමත් වෙනවා.

ගවිරු සෙන්හස් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර අනතුරු ව පිටියට පිවිසෙන්නේ සොහාන් ද ලිවේරා. ඔහු තනුක දාබරේ සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් එක් කරමින් සිටිය දී තනුක දාබරේ ලකුණු 38කට දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 47කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුලත් ව තිබුණා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කඩුල්ලට සොහාන් ද ලිවේරා ද දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

එතැන් සිට Fairfirst Insuarance කණ්ඩායම් ඉනිමේ ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ දිලුම් සුදීර (13) පමණයි.

එම ඉනිම ඒ තරමින් අසරණ කිරීමේ දී දුශාන් හේමන්ත ලකුණු 29කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර සහන් ආරච්චිගේ සහ මිලාන් රත්නායක ඉතිරි කඩුලු ද්විත්වය එක බැගින් බෙදා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Maliban Biscuits A ක්‍රීඩකයෝ ඉතා පහසුවෙන් ම එම ලකුණු සංඛ්‍යාව කරා හඹා ගියා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළ හිරාන් ජයසුන්දර සහ සංගීත් කුරේ පළමු කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් එක් කරනවා. එහි දී සංගීත් කුරේ පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 57ක් ලබා ගනිමින් පළමු කඩුල්ලට දැවී යනවා.

ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් ධනංජය ලක්ෂාන් ලකුණු 7කට දැවී යන අතර තරගය ජයග්‍රහණය කරන විට හිරාන් ජයසුන්දර පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ද සහ දුශාන් විමුක්ති පන්දු 15කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 9ක් ද ලබා සිටියා.

Maliban Biscuits A කණ්ඩායමේ දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය ඉම්තියාස් ස්ලාසා සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Fairfirst Insuarance – සියලුම දෙනා දැවී 130 (32.4) තනුක දාබරේ 38, ගවිරු සෙන්හස් 22, සොහාන් ද ලිවේරා 30, දුශාන් හේමන්ත 8/29
  • Maliban Biscuits A – කඩුලු 2ක් දැවී 134 (24.3) හිරාන් ජයසුන්දර නොදැවී 57, සංගීත් කුරේ 57, ඉම්තියාස් ස්ලාසා 2/38

Maliban Biscuits A කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගාවලියේ Hayleys Group A සහ CDB A කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි අවසන් පූර්ව තරගය මේ මස 26 වැනි දින කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා අමතර දිනයන් ද ලබා දී තිබෙනවා.

මෙම තරගය ThePapare.com, ThePapare 1 (Dialog TV Chanal 62) සහ Dialog ViU app ඔස්සේ නැරඹිය හැකියි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<