රයිගම් – සල්පිටි ගැටුම විසඳුමකින් තොරව අවසන් වේ

24th Battle of Raigam – Salpiti Korala

3
24th Battle of Raigam – Salpiti Korala

හොරණ තක්ෂිලා විද්‍යාලය සහ පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති 24 වැනි රයිගම් – සල්පිටි කෝරළ වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 280ක් ලබා ගන්නවා.

ඊට පිළිතුරු ඉනිමට පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 103ක් පමණයි. ලකුණු 177ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීමට පිට පිට 2 වැනි වරටත් පිටියට පිවිසි පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය විසඳුමකින් තොරව අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 203ක් ලබා සිටියා.

තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

රශාන් නවාංජන (නායක), තිළිණ කුමාර, සන්දිත් රණවීර, ජනිරු ඇතුලත්මුදලි, චමෝද් මිහිරාන්, කුශාන් තීක්ෂණ (කඩුලු රකින්නා), ටෙනුශ තත්සර, යසිරු කල්හාර, යසිත් වෙත්තසිංහ සහ මෙසඳු සංදිල්.

පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලයිය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

අදීප සස්මිත (නායක), මතීශ අනුරුද්ධ, විහඳු සිත්නුල, මිහින් ලක්දිනු, ඉඳුවර හේෂාන්, ශමාල් විබාශන, තෙනුල් සත්සඳ, රනිතු ලක්විරු (කඩුලු රකින්නා), සශික හිරුශාන්. සනුත කුලනිත් සහ ජෙවිඳු රන්තුල.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ජනිරු ඇතුලත්මුදලි. ඔහු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 64ක් ලබා ගන්නවා.

පළමු කඩුල්ල ලකුණු 16 දී දැවී යද්දී ඔහු සන්දිත් රණවීර හා එක් වෙමින් 2 වැනි කඩුල්ලට ලකුණු 85ක් එක් කිරීමට සමත් වෙනවා. එහි දී සන්දිල් රණවීර පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා. ඊට අමතර ව රශාන් නවාංජන පන්දු 86ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද සහ ටෙනුශ තත්සර පන්දු 33ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ජෙවිඳු රන්තරු කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව මතීශ අනුරුද්ද සහ සශික හිරුශාන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ තෙනුල් සත්සඳ. ඔහු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ටෙනුශ තත්සර ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව තවත් පන්දු යවන්නන් සිව් දෙනෙක් අතරේ කඩුලු 4ක් බෙදී ගියා.

පිට පිට නැවතත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල එක් ලකුණකට දැවී ගිය අතර ඉන් අනතුරු ව 2 වැනි කඩුල්ලට ලකුණු 119ක සබඳතාවක් එක් කිරීමට මතීෂ අනුරුද්ධ සහ මිහින් ලක්දිනු සමත් වෙනවා.

ඒ අතුරින් මිහින් ලක්දිනු පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ඉනිමේ 3 වැනි කඩුල්ලට මතීෂ අනුරුද්ධ දැවී යන විට පන්දු 209කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 88ක් ලබා සිටියා.

එම ඉනිමේ දැවී ගිය කඩුලු 4 පන්දු යවන්නන් සිව් දෙනෙක් අතරේ බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– පළමු ඉනිම සියලුම දෙනා දැවී 280 (70.4) සන්දිත් රණවීර 38, ජනිරු ඇතුලත්මුදලි 64, රශාන් නවාංජන 37, ටෙනුශ තත්සර 34, යසිරු කල්හාර නොදැවී 27, මෙසඳු සඳිලු 22, මතීෂ අනුරුද්ධ 2/37, ජෙවිඳු රන්තුල 3/86, සශික හිරුශාන් 2/61
  • පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 103 (39.1) තෙනුල් සත්සඳ නොදැවී 25, ටෙනුශ තත්සර 4/44
  • පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම –දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 203 (80.0)මතීශ අනුරුද්ධ 88, මිහින් ලක්දිනු 50, ඉඳුවර හේශාන් නොදැවී 27

තරගයේ විසඳුමක් නෑ.

රයිගම් – සල්පිටි කෝරළ එක්දින සීමිත පන්දුවාර තරගය

ශතකලාභී හොරණ තක්ෂිලා විද්‍යාලයේ චමෝද් මිහිරාන්

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ම පැවැති රයිගම් – සල්පිටි කෝරළ 12 වැනි එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 103ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සමත් වෙනවා.

කාසියේ වාසිය දිනා ගත් තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 283ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් චමෝද් මිහිරාන් පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු තිළිණ කුමාර පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ද, ඔමලික අමරසිංහ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ද සහ කුශාන් තීක්ෂණ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ජෙවිඳු රන්තුල ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 180ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ තෙනුල් සත්සඳ. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණ 61ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු මතීශ අනුරුද්ධ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ද සහ මිහින් ලක්දිනු පන්දු 42කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ යසිත් වෙත්තසිංහ ලකුණු 44කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 283 (50.0)තිළිණ කුමාර 48, ඔමලික අමරසිංහ 34, චමෝද් මිහිරාන් නොදැවී 100, කුශාන් තීක්ෂණ 32, රශාන් නවාංජන නොදැවී 28, ජෙවිඳු රන්තුල 2/31
  • පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 180 (47.2)මතීෂ අනුරුද්ධ 34, මිහින් ලක්දිනු 33, තෙනුල් සත්සඳ 61, රනිතු ලක්විරු 21, යසිත් වෙත්තසිංහ 7/44

තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 103ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<