රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාල අවසන් සටනට සුදුසුකම් ලබයි

Dialog Schools Rugby Knockout 2026

5
rugby

Dialog  2026 පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නිමා වූ සති අන්තයේ දී ක්‍රියාත්මක වුනේ තරගාවලියේ අවසන් මහා තරගයට තරගකරුවන් තෝරා ගනිමිනුයි.

රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම රාජකීය ක්‍රීඩකයින් තරගය තමන්ගේ එකක් බවට පත් කර ගනිමින් ක්‍රීඩාවේ නියැලුණා.

මෙහි දී ඔවුන් විසින් පළමු අර්ධය තුළ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 19ක් ලබාගන්නා අතරේ, ඉසිපතන ක්‍රීඩකයින් විසින් එක් උත්සාහක දිනුමක් පමණක් සාර්ථක කර ගනිමින් ලකුණු 08ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධයත් පෙර සේම ක්‍රියාත්මක වූ අතර, මෙහි දී රාජකීය ක්‍රීඩකයින් විසින් තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් තවත් ලකුණු 20ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා.

සමස්ත තරගයේ දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් ඛයාන් ද සිල්වා උත්සාක දිනුම් ද්විත්වයක් වාර්තා කළා.

කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ ඉසිපතන විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.

ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන් මෙසේ අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබාගන්නේ 2016 වසරට පසුව වීමත් විශේෂත්වයක්.

  • රාජකීය විද්‍යාලය 39 (5T, 4C, 2P) – ඉසිපතන විද්‍යාලය 13 (2T, 1P)

තරගයේ වීරයා ඛ්‍යාන් ද සිල්වා (රාජකීය විද්‍යාලය)

ත්‍රිත්ව විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

මෙම තරගයෙන් ත්‍රිත්ව විද්‍යාලය ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ ම ත්‍රිත්ව ක්‍රීඩකයින් සිය ආධිපත්‍යය මුදා හැරීමට සමත් වුනේ උත්සාහක දිනුම් 04ක් සමඟ ලකුණු 28ක් වාර්තා කරමිනුයි. මෙම කාලසීමාව තුළ වෙස්ලි ක්‍රීඩකයින් විසින් තරගය තමන් දෙසට නතු කර ගැනීමට උපරිම උත්සාහය යෙදූ අතර, එහි දී ඔවුන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. මෙම අර්ධයේ දී වෙස්ලි ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් සමඟ ලකුණු 12ක් ලබාගන්නා අතරේ, ත්‍රිත්ව ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 21ක් ලබාගැනීමට සමත් වුනා.

මෙහි දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් නිසිත් කුමාරසිංහ උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරන අතරේ, ත්‍රිත්ව විද්‍යාලය නොකඩවා දෙවැනි වරටත් අවසන් මහා තරගය වෙත කැඳවා ඒමට හවුල් වූ ශාන් අල්තාෆ් විසින් එක් උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තන 06ක් සාර්ථක කර ගැනීමට සමත් වුනා.

  • ත්‍රිත්ව විද්‍යාලය 49 (7T, 7C) – වෙස්ලි විද්‍යාලය 29 (5T, 2C)

තරගයේ වීරයා අබ්දුල් මලික් (ත්‍රිත්ව විද්‍යාලය)

මේ අනුව 2026 පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය සමත් වනවා. තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන අප්‍රේල් මස 04 වැනි දා පැවැත්වීමට නියමිතයි.

එම තරග විස්තරය ද ඇතුළුව දේශීය රග්බි පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<