ත්‍රිත්ව විද්‍යාලය අපරාජිතව ශූරතාව කරා!

Dialog Schools Rugby League 2025

300
2025 Dialog Schools Rugby League week 09

2025 Dialog පාසල් රග්බි ලීගයේ 09 වැනි සතියේ තරග කිහිපයක් අද (02) දිනයේ නිමාවට පත් වුනා.

ලීගයේ මූලික වටයේ තරග වලින් අනතුරුව මෙවර ලීගයට තරග වදින පාසල් 18 කාණ්ඩ තුනක් යටතේ කුසලාන ශූරතාව, පළඟ ශූරතාව සහ බඳුන ශූරතාව වෙනුවෙන් තරග වැදීම ආරම්භ කළා.

මෙහි දී ලීගය නිමා වීමට තවත් එක් සතියක් ඉතිරිව තිබිය දී ම මෙවර ශූරතාව තමන් සතු කර ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වීම විශේෂත්වයක්.

කුසලාන ශූරතාව

ත්‍රිත්ව විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් ඉතා හොඳ තරග රටාවකට අවතීර්ණ වෙමින් ලකුණු 07ක් රැස් කරනා අතරවාරයේ දී ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීම අවහිර කිරීමට ද සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධයේ දී ඉසිපතන ක්‍රීඩකයින් පළමු අර්ධයේ තමන් අතින් සිදු වූ වරද නිවැරදි කර ගනිමින් සාන්ත පීතර ක්‍රීඩකයින්ට කරට කර සටනක් ලබා දීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ දෙපිළම ලකුණු 07 බැගින් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් පළමු අර්ධයේ ලද වාසිය සමඟ තරගයේ ජය සාන්ත පීතර විද්‍යාලය සතු වුනා.

  • සාන්ත පීතර විද්‍යාලය 14 (2T, 2C) – ඉසිපතන විද්‍යාලය 07 (1T, 1C)

තරගයේ වීරයා ජනුත් රත්නායක (සාන්ත පීතර විද්‍යාලය)

සාන්ත තෝමස් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ තරගයේ වැඩි වාසි ලබා ගැනීමට රාජකීය විද්‍යාල විසින් සමත් වුනේ ලකුණු 18ක් ලබා ගනිමිනුයි. ඒ අතරවාරයේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 08ක් පමණයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී තෝමසුවන් විසින් නොසිතූ විරූ සටනක් ලබා දෙමින් තරගය ඉතා උණුසුම් තත්වයකට රැගෙන ඒමට සමත් වුනා.

මෙම අර්ධය තුළ සාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනේ සමස්ත තරගය තුළ උත්සාහක දිනුම් 04ක් වාර්තා කරමිනුයි. එම කාල සීමාව තුළ රාජකීය විද්‍යාලය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි.

නමුත් තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් ලද ප්‍රබල වාසිය හේතුවෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට රාජකීය ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

  • රාජකීය විද්‍යාලය 30 (4T, 2C, 2P) – සාන්ත තෝමස් විද්‍යාලය 29 (4T, 3C, 1P)

තරගයේ වීරයා දිසස් පතිරණ (රාජකීය විද්‍යාලය)

ත්‍රිත්ව විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

මෙම තරගය ජය ගැනීම දෙපිළට ම ඉතා අත්‍යාවශ්‍ය වී තිබූ අතර, ත්‍රිත්ව විද්‍යාලය සිය අපරාජිත ගමන රැක ගනිමින් මෙවර ලීග ශූරතාව කරා යන ගමනේ වැදගත් ම කඩඉම මෙය බව සිහි තබා ගනිමින් පිටියට පිවිසුණා.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව විද්‍යාලයේ අපරාජිත ගමනට යම් අභියෝගයක් එල්ල කිරීමට වෙස්ලි ක්‍රීඩකයින් සමත් වුනේ ලකුණු 07ක් රැස් කරනා අතරේ ත්‍රිත්ව ක්‍රීඩකයින්ට ලකුණු 05ක් පමණක් ලබා දෙමින් තරගයේ පෙරමුණ ගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් සිය සුපුරුදු තරග රටාව සොයා ගනිමින් තවත් ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් මේ අතරතුරේ දී වෙස්ලි විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි.

ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් මෙම වසරේ මෙන්ම, පසුගිය වසරේ ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ ශාන් අල්තාෆ් මෙම තරගයේ ද තීරණාත්මක මොහොතක Drop ගෝලයක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

  • ත්‍රිත්ව විද්‍යාලය 23 (3T, 1C, 1P, 1DG) – වෙස්ලි විද්‍යාලය 21 (3T, 3C)

තරගයේ වීරයා ශ්‍රයන් සතීශ්කුමාර් (ත්‍රිත්ව විද්‍යාලය)

පළඟ ශූරතාව

මෙවර ලීගයේ පළඟ ශූරතාව සඳහා තරග වදින කණ්ඩායම් මෙසේයි.

සාන්ත ජෝසප් විද්‍යාලය, ඩී.එස්.සේනානායක විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, සහිරා විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය

ආනන්ද විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

මෙම සතියේ ක්‍රියාත්මක වූ තවත් උණුසුම් තරගයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි. තරගයේ පළමු අර්ධය තුළ ආනන්ද විද්‍යාලය මෙන්ම සහිරා විද්‍යාලය ද ලකුණු 14 බැගින් ලබා ගනිමින් සම තත්වයෙන් තරගයේ රැඳී සිටීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ ද දෙපිළම පෙර සේ ම කරට කර ගැටෙමින් ක්‍රීඩාවේ යෙදුණු අතර, මෙම අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් ලකුණු 29ක් ලබා ගන්නා අතරේ, ආනන්ද ක්‍රීඩකයින් ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුනා.

සමස්ත තරගය තුළ සහිරා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 07ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ආනන්ද විද්‍යාලය වාර්තා කිරීමට සමත් වුනේ උත්සාහක දිනුම් 05ක් පමණයි. තරගයේ අවසන් ප්‍රතිඵලයට එහි බලපෑම හේතු වූ බව පෙනී ගියා.

  • සහිරා විද්‍යාලය 43 (7T, 4C) – ආනන්ද විද්‍යාලය 39 (5T, 4C, 2P)

තරගයේ වීරයා ෆර්හාන් ෆස්ලත් (සහිරා විද්‍යාලය)

ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

මෙම තරගය ඩී.එස්.සේනානායක විද්‍යාලයට ඓතිහාසික මතකයක් එක් කරමිනුයි නිමා වුනේ.

තරගයේ පළමු අර්ධයේ සිටම දෙපිළම ඉතා උණුසුම් තරග රටාවකට අවතීර්ණ වෙමින් ක්‍රීඩාවේ නියැලුණා. මෙහි දී පාසල් ද්විත්වයම ලකුණු 15 බැගින් ලබමින් පළමු වටය නිමා වුනා.

දෙවැනි අර්ධයේ මුල් භාගයේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ ලබමින් ඉදිරියට පැමිණීමට සමත් වුනත්, අවසන් මිනිත්තු කිහිපයේ දී ඩී. එස්. ක්‍රීඩකයින් සිය සියලු වෙර යොදමින් තරගයේ තීරණය වෙනස් කිරීමට සමත් වුනේ එක් ලකුණක තියුණු ජයක් තමන් සතු කර ගනිමිනුයි.

මේත් සමඟ ඩී. එස්. සේනානායක විද්‍යාලය විසින් වසර 32කට පසු සාන්ත ජෝසප් විද්‍යාලය රග්බි ලීග් තරගයකින් පරාජය කිරීමට සමත් වුනා.

  • ඩී.එස්.සේනානායක විද්‍යාලය 37 (6T, 2C, 1P) – සාන්ත ජෝසප් විද්‍යාලය 36 (5T, 4C, 1P)

තරගයේ වීරයා ප්‍රවීල් ලක්මාල් (ඩී.එස්.සේනානායක විද්‍යාලය)

කිංස්වුඩ් විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය

මෙම තරගයේ ද පළමු අර්ධයේ පටන් ම ඉතා හොඳ තරගකාරී සටනක් දැක බලා ගැනීමට හැකි වුනා. පළමු අර්ධය නිමා වන විට ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් ලකුණු 22ක් ලබා ගනිද්දී, කිංස්වුඩ් ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ කිංස්වුඩ් ක්‍රීඩකයින් විසින් ඉතා හොඳ ඉදිරි ගමනක් පෙන්නුම් කරමින් ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් ව ලකුණු ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන් ම වළක්වා ලීමට සමත් වූ අතර, ඒ අතරවාරයේ දීම ඔවුන් තවත් ලකුණු 17ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට ද සමත් වුනා.

  • කිංස්වුඩ් විද්‍යාලය 34 (5T, 3C, 1P) – ශ්‍රී සුමංගල විද්‍යාලය 22 (3T, 2C, 1P)

තරගයේ වීරයා රිවින් බව්ඩ්වීන් (කිංස්වුඩ් විද්‍යාලය)

බඳුන ශූරතාව

බඳුන ශූරතාව සඳහා තරග වදින පාසල් මෙසේයි;

සාන්ත අන්තෝනි විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, මහානාම විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලය සහ සාන්ත අන්තොනි විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ ම සිය ජය තහවුරු කර ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සමත් වුනේ ලකුණු 21ක් ලබා ගනිමිනුයි. මේ අතර තුරේ දී තර්ස්ටන් ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ තර්ස්ටන් ක්‍රීඩකයින්ට එකදු ලකුණක් වෙත හෝ පිය මැනීමට ඉඩ ලබා නොදුන් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් තවත් ලකුණු 19ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනේ සමස්ත උත්සාහක දිනුම් 06ක් වාර්තා කරමිනුයි.

  • සාන්ත අන්තෝනි විද්‍යාලය 40 (6T, 5C) – තර්ස්ටන් විද්‍යාලය 07 (1T, 1C)

තරගයේ වීරයා ඔමිත දිසානායක (සාන්ත අන්තෝනි විද්‍යාලය)

විද්‍යාර්ථ විද්‍යාලය සහ මහානාම විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධයේ දී විද්‍යාර්ථ විද්‍යාලයට ඉතා හොඳ අභියෝගයක් ලබා දෙමින් ලකුණු අතරට පිවිසෙමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් වුනා. මෙහි දී ඔවුන් ලකුණු 14ක් ලබා ගත් අතර, විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධයේ දී විද්‍යාර්ථ ක්‍රීඩකයින් නැවත තරගයට අවතීර්ණ වීමට ඉතා හොඳ සටනක් ලබා දෙමින් ලකුණු 07ක් ලබා ගත් අතර, මෙම කාලය තුළ මහානාම ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. නමුත් පළමු අර්ධයේ ලද වාසිය සමඟ තරගයේ ජය මහානාම විද්‍යාලය සතු වුනා.

  • මහානාම විද්‍යාලය 17 (2T, 2C, 1P) – විද්‍යාර්ථ විද්‍යාලය 12 (2T, 1C)

තරගයේ වීරයා නවිත් කන්නංගර (මහානාම විද්‍යාලය)

විද්‍යා විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

මෙම තරගයේ දී විද්‍යා විද්‍යාලය විසින් ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනේ ධර්මරාජ ක්‍රීඩකයින්ට පළමු අර්ධය තුළ එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොතබමින්ම ලකුණු 26ක් රැස් කර ගනිමිනුයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ ද විද්‍යා විද්‍යාලයේ ජය නතර කල හැකි අන්දමේ යමක් කිරීමට ධර්මරාජ ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ. එම අර්ධය තුළ ධර්මරාජ ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 12ක් ලබා ගනිද්දී, විද්‍යා ක්‍රීඩකයින් තවත් ලකුණු 17ක් සමඟ සිය සමස්ත ලකුණු සංඛ්‍යාව 43ක් දක්වා රැගෙන යාමට සමත් වුනා.

  • විද්‍යා විද්‍යාලය 43 (7T, 4C) – ධර්මරාජ විද්‍යාලය 12 (2T, 1C)

තරගයේ වීරයා දිල්රුවන් පෙරේරා (විද්‍යා විද්‍යාලය)

ලීගයේ 09 වැනි සතියේ අවසන් තරග ද්විත්වය හෙට (03) දිනයේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ වන විටත් මෙවර ලීගයේ ශූරයින් ලෙස ත්‍රිත්ව විද්‍යාලය කිරුළු දැරීමට සමත් වී අවසන්. ත්‍රිත්ව විද්‍යාලය මෙවැනි දස්කමක් දක්වමින් ශූරතාව දිනා ගැනීමට සමත් වුනේ වසර 38කට පසුව වීම තවත් විශේෂත්වයක්.

දේශීය පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<