ත්‍රිත්ව විද්‍යාලය අපරාජිත ගමනේ!

Dialog Schools Rugby League 2025

205
Schools Rugby

2025 Dialog පාසල් රග්බි ලීගයේ අට වැනි සතියේ තරග ඊයේ (27) දිනයෙන් නිමාවට පත් වුනා.

ලීගයේ මූලික වටයේ තරග වලින් අනතුරුව මෙවර ලීගයට තරග වදින පාසල් 18 කාණ්ඩ තුනක් යටතේ කුසලාන ශූරතාව, පළඟ ශූරතාව සහ බඳුන ශූරතාව වෙනුවෙන් තරග වැදීම ආරම්භ කළා.

කුසලාන ශූරතාව

ත්‍රිත්ව විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

ත්‍රිත්ව විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

මෙවර ලීග් ශූරතාව වෙනුවෙන් ඉහළ බලාපොරොත්තු තබා ඇති ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් මෙම තරගයේ දී ඉසිපතන විද්‍යාලයට ජයග්‍රහණය සඳහා කිසිදු ඉඩක් නොතබමින් විශිෂ්ට ජයක් කරා යාමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 2ක් සමඟ ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉසිපතන විද්‍යාලය විසින් මේ අතරවාරයේ දී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ ඉසිපතන ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ කාලය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් සිය ලකුණු සංඛ්‍යාව 32ක් කරා රැගෙන යාමට සමත් වුනා.

  • ත්‍රිත්ව විද්‍යාලය 32 (4T, 3C, 2P) – ඉසිපතන විද්‍යාලය 10 (2T)

තරගයේ වීරයා උස්මාන් සෆ්‍රාස් (ත්‍රිත්ව විද්‍යාලය)

සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

ගෙවුණු සති අන්තයේ ක්‍රියාත්මක වුන වඩාත් උණුසුම් තරගයක් ලෙස හැඳින්විය හැකි මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම සම මට්ටමේ රැඳෙමින් උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 14 බැගින් සිය ලකුණු පුවරුවලට එක් කරගනිමිනුයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ ද දෙපිළම තවත් උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කිරීමට සමත් වුනා. මෙහි දී සාන්ත තෝමස් ක්‍රීඩකයින් එම උත්සාහක දිනුම් දෙකටම අදාළ ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට සමත් වූ නමුත්, සාන්ත පීතර විද්‍යාලය විසින් සාර්ථක කර ගැනීමට සමත් වුනේ එක් ප්‍රවර්තනයක් පමණයි.

මේ අනුව සාන්ත තෝමසුවන්ට මෙම තරගයෙන් ලකුණු 02ක තියුණු ජයක් උරුම වුනා.

  • සාන්ත තෝමස් විද්‍යාලය 28 (4T, 4C) – සාන්ත පීතර විද්‍යාලය 26 (4T, 3C)

වෙස්ලි විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

මෙම තරගයත් ඉතා හොඳ තරගකාරී එකක් ලෙසින් ක්‍රියාත්මක වුනා. තරගයේ පළමු අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් විසින් ලකුණු 05ක් ලබා ගන්නා අතරේ, වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ ද දෙපිළම කරට කර සටනකට අවතීර්ණ වූ නමුත්, මෙවර තරමක් ඉදිරියට පැමිණීමට වෙස්ලි ක්‍රීඩකයින් සමත් වුනා. මෙම අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, වෙස්ලි ක්‍රීඩකයින් විසින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.

  • වෙස්ලි විද්‍යාලය 24 (4T, 2C) – රාජකීය විද්‍යාලය 17 (3T, 1C)

තරගයේ වීරයා නහම් හේමචන්ද්‍ර (වෙස්ලි විද්‍යාලය)

පළඟ ශූරතාව

මෙවර ලීගයේ පළඟ ශූරතාව සඳහා තරග වදින කණ්ඩායම් මෙසේයි.

සාන්ත ජෝසප් විද්‍යාලය, ඩී.එස්.සේනානායක විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, සහිරා විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය

කිංස්වුඩ් විද්‍යාලය සහ ආනාන්ද විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම සම මට්ටමින් දස්කම් දක්වමින් ලකුණු රැස් කිරීමට සමත් වුනා. මෙහි දී කිංස්වුඩ් ක්‍රීඩකයින් ලකුණු 05ක් ලබා ගන්නා අතරේ, ආනන්ද ක්‍රීඩකයින් විසින් ලකුණු 06ක් ලබා ගනිමින් පෙරමුණ ලබා ගත්තා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තරගයේ තීරණය සම්පූර්ණයෙන්ම තමන්ගේ පාර්ශ්වය වෙත හරවා ගැනීමට සමත් වූ කිංස්වුඩ් ක්‍රීඩකයින් තවත් ලකුණු 17ක් ලබා ගන්නා අතරේ, ආනන්ද ක්‍රීඩකයින්ට ලබා ගැනීමට හැකියාව ළැබුණේ ලකුණු 10ක් පමණයි.

  • කිංස්වුඩ් විද්‍යාලය 22 (4T, 1C) – ආනන්ද විද්‍යාලය 10 (1T, 3P, 1C)

තරගයේ වීරයා රිවින් බව්ඩ්වීන් (කිංස්වුඩ් විද්‍යාලය)

සහිරා විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

මෙම තරගයත් මෙම සතියේ අනෙක් බොහෝමයක් තරග මෙන්ම ඉතා හොඳ තරගකාරී ආරම්භයක් ලබා ගත්තා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම දෙකම ලකුණු 10 බැගින් ලබා ගැනීමට සමත් වී සිටියා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ප්‍රථම අර්ධයට වඩා තරගකාරී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම කාලය තුළ සහිරා ක්‍රීඩකයින් වාර්තා කිරීට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.

  • සාන්ත ජෝසප් විද්‍යාලය 29 (5T, 2C) – සහිරා විද්‍යාලය 15 (3T)

තරගයේ වීරයා හෙමිශ් ගමගේ (සාන්ත ජෝසප් විද්‍යාලය)

ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ ම තරගයේ වාසි තමන් සතු කර ගත් ඩී.එස්. ක්‍රීඩකයින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ අතර තුර ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගනිමින් නැවත තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළා. මේ කාලය තුළ ඩී.එස්. ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි. කෙසේ වෙතත් පළමු අර්ධය තුළ ඩී.එස්. ක්‍රීඩකයින් ලද වැඩි ලකුණු සංඛ්‍යාව නිසා ඔවුන්ට තරගයේ ජය හිමි වුනා.

  • ඩී.එස්.සේනානායක විද්‍යාලය 26 (4T, 3C) – ශ්‍රී සුමංගල විද්‍යාලය 19 (3T, 2C)

තරගයේ වීරයා ශශික බණ්ඩාර (ශ්‍රී සුමංගල විද්‍යාලය)

බඳුන ශූරතාව

බඳුන ශූරතාව සඳහා තරග වදින පාසල් මෙසේයි;

සාන්ත අන්තෝනි විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, මහානාම විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

මෙම තරගයේ දී නම් පළමු අර්ධයේ පටන් ම වැඩි වාසි ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලය විසින් සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ තර්ස්ටන් විද්‍යාලය විසින් උත්සාහක දිනුම් 3ක් සමඟ ලකුණු 20ක් ලබා ගනිද්දී, ධර්මරාජ විද්‍යාලය ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනේ උත්සාහක දිනුම් 2ක් ද සමඟිනුයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ පෙරටත් වඩා ක්‍රියාකාරී වෙමින් තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් තවත් උත්සහාක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 17ක් ලබා ගත්තේ ධර්මරාජ ක්‍රීඩකයින්ට ලකුණු 07ක් පමණක් ලබා ගැනීමට ඉඩ ලබා දෙන අතරේයි.

  • තර්ස්ටන් විද්‍යාලය 37 (6T, 2C, 1P) – ධර්මරාජ විද්‍යාලය 22 (4T, 1C)

තරගයේ වීරයා සිතිජ සත්සර (තර්ස්ටන් විද්‍යාලය)

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය

ඉහළ ලකුණු රැස් වූ තරගයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි. මෙහි පළමු අර්ධය තුළ උත්සාහක දිනුම් පහක් සමඟ ලකුණු 31ක් වාර්තා කිරීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර, විද්‍යාර්ථ ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 48 සීමාවට ළඟා වීමට සමත් වුනා. මෙම කාලය තුළ විද්‍යාර්ථ ක්‍රීඩකයින් ද තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කරමින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා.

  • සාන්ත අන්තෝනි විද්‍යාලය 48 (8T, 4C) – විද්‍යාර්ථ විද්‍යාලය 31 (5T, 3C)

තරගයේ වීරයා රන්දීර් පෙරේරා (සාන්ත අන්තෝනි විද්‍යාලය)

මහානාම විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය

මෙම තරගයත් ආරම්භයේ පටන් ම හොඳ උණුසුම් මුහුණුවරක් ලබමින් ක්‍රියාත්මක වුනා. පළමු අර්ධය නිමා වන විට මහානාම ක්‍රීඩකයින් විසින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, විද්‍යා විද්‍යාලය ලකුණු 14ක් ලබා ගනිමින් හොඳ තරගයක් ලබා දීමට සමත් වී සිටියා.

මහානාම විද්‍යාලය විසින් පළමු අර්ධයේ දී ලකුණු 03ක් ඉදිරියෙන් පසු වූ නමුත්, දෙවැනි අර්ධය තුළ විද්‍යා ක්‍රීඩකයින් විසි එම ලකුණු තුනේ පරතරය බිඳ දැමීමට සමත් වුනා.

මේ අනුව තරගය අවසන් වන විට කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම් 4 බැගින් වාර්තා කරමින් ලකුණු 31ක් බැගින් ලබමින් සම තත්වයේ පසු වුනා.

  • මහානාම විද්‍යාලය 31 (4T, 4C, 1P) – විද්‍යා විද්‍යාලය 31 (4T, 4C, 1P)

තරගයේ වීරයා දිල්රුවන් පෙරේරා

දේශීය පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<