අතීත වාර්තා ගැන හිතනවාට වඩා අපි හිතන්නෙ අද තරගය ගැනයි

112

පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී මුහුණ දුන් අවසන් ටෙස්ට් තරග තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වී ඇත්තේ පරාජයයි. ඊයේ සවස පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස ප්‍රශ්නයක් ලෙස නැඟූ විට ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් කියා සිටියේ එම වාර්තා අතීතයට භාරවනු ඇති බවත් තම කණ්ඩායමට මෙම දෙවැනි ටෙස්ට් තරගයේදී පෙර සිදුවූ වැරැදි සාදාගෙන නැවත නැඟිටීමට ශක්තියක් ඇති බවත්ය.

වසර 3 කට පසුව පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේදී ගාල්ල තරගයට සාපේක්‍ෂව වෙනස්වීම් ගැන ඊයේ කතා කළ ශ්‍රී ලංකා නායකයා කියා සිටියේ ආබාධයන්ට ලක්වී ඇති දෙදෙනා වන දිල්රුවන් පෙරේරා වෙනුවට තරිඳු කෞෂාල් ද, ධම්මික ප්‍රසාද් වෙනුවට සුරංග ලක්මාල් ද කණ්ඩායමට එක්වනු ඇති බවයි. ගාල්ල තරගයේදී අභියෝගයක් වූ දඟපන්දු යවන්නන් වන අසීර් ෂා හා සුල්ෆිකර් බාබර්ට මෙම තරගයේදී හොඳින් මුහුණදීම සඳහා පිළිතුරු තිබෙන බව පැවැසූ මැතිව්ස් පී. සරා ක්‍රීඩාංගණයේ තණතීරුව ගාල්ලට වඩා තණ කොළ සහිත එකක් වුවත් කණ්ඩායමට නිත්‍ය දඟපන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කරන බව පැවැසීය.

කුමාර් සංගක්කාරගේ සමුගැනීම ගැන ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායකයා තවම හරි තීරණයක් ගැන කියන්න බැහැ. ඔහු විසින්ම ඉදිරි දිනකදී ඒ බව දන්වාවි. එහෙත් ඔහු ඒ ගැන හරි තීරණයක් නොගැනීම ඔහුගේ ක්‍රීඩාවට අස්ථාවර බවක් ඇති වෙලා නැහැ යනුවෙන් පැවැසීය.