සංගා ටෙස්ට් පිටියෙන් සමුගනී

124

අගෝස්තු මස දෙවැනි සතියේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට කුමාර් සංගක්කාර තීරණය කර තිබේ. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තරග 3ක් ඇතුළත් වන නමුත් එහි පළමු තරගයේදීම සමුගැනීමට සංගක්කාර තීරණය කර ඇත.

කුමාර් සංගක්කාර ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවකි. පසුගිය ‍ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඔහු එක්දින ක‍්‍රිකට් පිටියෙන් ද සමුගත්තේය.

මෙම තරගය අගෝස්තු මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

2000 වසරේ ජූලි මස 20 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයෙන් සිය ටෙස්ට් දිවිය ඇරඹූ සංගක්කාර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සිය ටෙස්ට් දිවියට අවසානය ලබාදෙනු ඇත.

ගාල්ල කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග 21කට සහභාගි වී ඇති සංගක්කාර එහිදී ලකුණු 1808 ක් රැස්කරගෙන ඇත්තේ ඉනිමකදී ලකුණු 54.78 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ගාල්ලේදී සංගක්කාර ලබාගත් ටෙස්ට් ශතක සංඛ්‍යාව 7කි. සංගක්කාර මේ වන විට ටෙස්ට් ලකුණු 12,203 ක් ලබාගනිමින් ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පස් වැනි ස්ථානයේ සිටියි. ලකුණු ලබාගැනීම අතින් පස්වැනි ස්ථානයේ සිටියද ටෙස්ට් ද්විත්ව ශතක ලබාගැනීම අතින් සංගක්කාර දෙවැනි වන්නේ අසහාය පිතිකරු ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඩ්මන්ට පමණි.

ශී‍්‍රමත් ඩොනල්ඩ් බ‍්‍රැඩ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් ලබාසිටින අතර සංගක්කාර ලබා සිටින ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 11කි.