දින තුනට නව වාර්තා 18ක් – ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය

127

දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනය අවසන් වන විට පිහිටුවන ලද නව තරග වාර්තා සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ දමයන්නට ඊයේ තවත් වාර්තා 06ක් එකතු කර තිබිණි.

කෙසේ වෙතත් ඊයේ අලුත් කරන ලද වාර්තා අතර විශේෂිතම වාර්තාව බවට කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ රුමේෂා කුමාරි රත්නායක අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව වෙනුවෙන් සටහන් කළ තත්පර 24.12ක තරග නිමි කාලය පත්විය.

ඇය තරගයේ දෙවැනි දිනයේ එම ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 24.27කදී නිමකොට දමයන්ති දර්ශා විසින් මීට වසර 22කට පෙර තත්පර 24.4ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාව අලුත් කර තිබූ අතර, එහි අවසන් තරගයේදී රුමේෂා තමන්ගේ වාර්තාව නැවත අලුත් කිරීම කැපී පෙනුණි.

මේ අතර පසුගියදා කටාර් හී පැවැති පළමුවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 කඩුලු මතින් දිවීම බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනූ අඹගමුව මධ්‍ය මහ විදුහලේ යමානි දුලාංජලී ද ඊයේ එම ඉසව්ව වි.1.02.12කදී නිමකොට නව වාර්තාවක් පිහිටුවනු ලැබුවාය. කෙසේ වෙතත් ඇගේ එම දක්‍ෂතාව ඇයගේම කටාර් දක්‍ෂතාවට වඩා පහළ මට්ටමක පැවැතිණි. ඇය කටාර්හිදී රන් පදක්කම දිනාගෙන තිබුණේ වි.1.01.27ක කාලයක් වාර්තා කරමිනි.

 

ඊයේ පිහිටුවන ලද නව තරග වාර්තා

නිශාන්ති දිල්හානි _ ලුම්බිණි විදුහල මීටර් 800 අවු.20 බාලිකා වි.2.12.33, ඩී.එම්.එච්. සඳරුවන් _ වලල රත්නායක විදුහල _ මීටර් 800 අවු: 16 බාලක වි.2.00.59, රුමේෂා කුමාරි රත්නායක _ කෑගල්ල ශා. ජෝෂප් – මීටර් 200 අවු.20න් බාලිකා – ත.24.12, යමානි දුලාංජලී _ අඹගමුව ම.ම. විදුහල _ මීටර් 400 කඩුලු 18 බාලිකා – වි.1.02.12, යූ. චන්ද්‍රසේන _මාරිස්ටෙලා විදුහල _ මීටර් 400 කඩුලු අවු. 18 _ තත්.53.38, ඊ.එස්.එම්. ප්‍රනාන්දු _ නාවික හමුදාව – මීටර් 400 කඩුලු අවු. 23 _ තත්.52.70