ක්‍රිකට් නීති යළිත් වෙනස් කිරීමට යයි

155

පසුගියදා මුම්බායිහි දෙදිනක් තිස්සේ පැවැති ජගත් ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් අනුගමනය කිරීමට සුදුසු යැයි තීරණය කළ නව නිර්දේශ රැසක් හඳුන්වා දී ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩකයන්, විනිසුරුවන් හා මාධ්‍යවේදීන් ඇතුළත්වන මණ්ඩලයකින් අනුමත වීමෙන් පසුවය.

ක්‍රිකට් කමිටු රැස්වීමේදී විශේෂයෙන්ම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කර තිබූ අතර ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමේදී වැඩි වශයෙන් සවස් කාලය භාවිත කිරීමට ඇති හැකියාව සලකා බැලීමටද යෝජනා වී තිබිණි.

ඒ හැරුණු විට සිව් දින පළමු පෙළ ක්‍රිකට් තරග රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කොට පසුගිය වසරේ මාර්තු මාසයේ කරන ලද අත්හදා බැලීමේ ප්‍රතිඵලයද ටෙස්ට් ක්‍රිකට් තරගයන්හි දින ගණන අඩු කිරීම සඳහාද නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එක්දින ක්‍රිකට් තරගවලදී පන්දුව හා පිත්ත අතර පවතින තරගයේදී දැනට වැඩි වාසි පිත්ත සතුව ඇති බැවින් සමබර කිරීමට යෝජනා සකස් කළ යුතු බව පෙන්වාදී ඇති ක්‍රිකට් කමිටුව ජාත්‍යන්තර තරග පවත්වන සෑම ක්‍රීඩාංගණයකම හතරේ සීමාව උපරිමයෙන් හා එකම ප්‍රමාණයෙන් යුක්ත විය යුතු බවද සඳහන් කර තිබිණි. සෑම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක්ම නිමාවීමෙන් පසු ක්‍රිකට් කමිටුව විසින් නීති සමාලෝචනය කිරීමේ සිරිතට අනුව මෙවැනි සොයාගෙන ඇති ප්‍රධාන කරුණ බවට පත්ව ඇත්තේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවලදී පන්දු රකින පිලේ නායකයාට හා පන්දු යවන්නන්ට ඔවුන්ගේ පිලේ ආරක්‍ෂාව වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග අල්ප වීම හඳුනාගෙන ඇත.

ඒ අනුව ඉදිරියේදී සීමිත පන්දු වාර තරගයකදී පළමු පන්දු වාර 10 තුළ පන්දු රකින්නන් දෙදෙනකුද ඊළඟ පන්දු වාර 30 තුළ පන්දු රකින්නන් 4 දෙනකුද අවසන් පන්දු වාර 10දී පන්දු රකින්නන් පස්දෙනකුද යාර 30 සීමාවෙන් පිටත රැඳවීමේ හැකියාව ලැබෙයි.

තවද පන්දුවාර 50 හා පන්දු වාර 20 ක්‍රිකට් තරගවලදී සීමා ඉර ඉක්මවමින් යවන පන්දු නීති විරෝධී පන්දු වෙනුවෙන් ලබාදී තිබූ ජ්පඥඥඩඪබ අවස්ථාව සියලු නීති විරෝධී පන්දු සඳහා ලබාදිය යුතු බවට නිර්දේශවී ඇත. කෙසේ වෙතත් මෙම නවයෝජනා ලබන ජුනි මාසයේ පැවැත්වෙන ප්‍රධාන විධායක කමිටු රැස්වීමේදී අනුමත විය යුතු බවද කියැවේ.