එංගලන්ත ප්‍රාන්ත තරගවාරයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් දෙවැනි කොටසේ තරගාවලියට එක්වී සිටින සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට පසුගියදා ලන්ඩන් නුවර දේශීය ගුවන්තොටුපලක දී එරට ආගමන හා විගමන දෙපාර්තුමේන්තු නිලධාරියකුගේ ඉතා අප්‍රසන්න ප්‍රශ්න කිරීමකට මුහුණදීමේ සිදුවී තිබේ.

එම සිදුවීමට පසුදින සංගක්කාර විසින් ‘ට්විටර්’ සමාජ වෙබ් අඩවියේ සිය පිටුවෙහි එක පෙළට මේ පිළිබඳ අවස්ථා තුනකදීම සඳහන් කොට තිබීමෙන් මේ සිදුවීම හේතුවෙන් ඔහු කෙතරම් අපහසුතාවට පත්වූවාදැයි යන්න මනාව පැහැදිලි වේ.
‘ඊයේ රාත්‍රී නැවත ලන්ඩන් නුවරට පැමිණියා. ගුවන්තොටුපලේ දී තමන්ගේ ලොකුකම් පෙන්වන අතිශයින්ම අවිනීත ආගමන හා විගමන නිලධාරියකු නිසා බිහිසුණු එමෙන්ම අශෝභන අත්දැකීමකට මුහුණදීමට සිදුවුණා.’ සිය පළමු සටහනේ එසේ ලියා තැබූ සංගක්කාර අනතුරුව මෙසේ ද සටහන් කොට තිබිණි.
‘ආගමන හා විගමන නිලධාරින්ගේ පරීක්ෂා කිරීම් සම්බන්ධව මා එකඟවෙමි. එහෙත් එය සාමාන්‍ය ක්‍රියාපාටියෙන් ඔබ්බට ගිය එකකි.’
ඒ මොහොතේ සෙසු නිලධාරීන් පැමිණ ඉතා විනීතව හා සංයමයකින් යුතුව තමා හා කතාබහ කළ ආකාරය ප්‍රශංසාවට ලක් කිරීමට ද සංගක්කාර අමතක නොකළේය. ‘වාසනාවකට සෙසු නිලධාරීන් මා වෙත පැමිණ ඉතා ප්‍රසන්නශීලීව හැසිරෙමින් සිය රාජකාරිය ඉටු කළා. පසුගිය වසර 15ක් පුරා එක්සත් රාජධානියේ සංචාරය කොට තිබූ මා හට මෙවැනි අවස්ථාවකට මුහුණපෑමට සිදුවූ පළමු අවස්ථාව මෙයයි.’ ට්වීටර් වෙබ් අඩවියේ ඔහු එසේ ලියා තිබිණි.
‘කෙනකුගේ ප්‍රසිද්ධිය, ජාතිය හෝ ආගම කුමක් වූවද, ආචාරශීලී පිළිගැනීමක් සෑම සංචාරයකුම ලැබිය යුතුය.’ ඔහු එසේ සඳහන් කොට තිබීමෙන් අදාළ ප්‍රශ්න කිරීම වර්ගවාදය මුල් කරගනිමින් සිදුකළ එකක් බැව් පැහැදිලිය.




















