නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවෙන් තුන් වැදැරුම් ප්‍රතිපත්තියක්‌

135

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමට ක්‍රීඩකයන් තේරීමේදී තුන් වැදැරුම් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට බලපාරොත්තුවෙන් සිටින බව නව ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති කපිල විඡේගුණවර්ධන මහතා ‘දිවයින’ කළ විමසීමකදී පැවැසීය.

1980 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නකු වන කපිල විඡේගුණවර්ධන මහතා වත්මන් ක්‍රිකට්‌ අතුරු කමිටුවේ උප සභාපතිවරයකු ද වන අතර ඔහු ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් විශාල වැඩ කොටසක්‌ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පැවැසීය.

අපිට ක්‍රීඩකයන් තේරීම අමාරු දෙයක්‌ නෙමෙයි. මොකද ශ්‍රී ලංකාවේ දක්‍ෂ ක්‍රීඩකයන් ඕන තරම් ඉන්නවා. ඒ ක්‍රීඩකයන්ව හරියට කළමනාකරණය කර ගැනීම තමයි වැදගත්. ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම ක්‍රම තුනකට මූලිකත්වය දෙමින් තෝරා ගැනීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. එහිදී කෙටි කාලීන, මධ්‍යම කාලීන හා දිගු කාලීන වශයෙන් ක්‍රීඩකයන් තේරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ යනුවෙන් විඡේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

සිදත් වෙත්තමුණි මහතා විසින් පත් කරන ලද සිව් පුද්ගල ක්‍රිකට්‌ තේරීම් කමිටුවට හිටපු ක්‍රීඩකයන් වන අමල්a සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත වේ. කෙසේ වෙතත් නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ පළමු හමුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ දී පසුගියදා පැවැති අතර එහිදී අදාළ තුන් වැදැරුම් ප්‍රතිපත්තිය පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගි වන පළමු තරගාවලිය ලබන මස පකිස්‌තාන කණ්‌ඩායම සමඟ පැවැත්වේ. එහිදී ටෙස්‌ට්‌ හා එක්‌දින තරගාවලියකට ශ්‍රී ලංකා පිල තම මවුබිමේදී සහභාගි වන අතර එය නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ පළමු අභියෝගය වේ.

“ළඟ ළඟ තියෙන තරගාවලි සඳහා ක්‍රීඩකයන්ව තෝරා ගැනීම අපහසු නැහැ. තේරීම් කමිටුවකට ක්‍රීඩකයන් තෝරනවාට වඩා විශාල වැඩ කොටසක්‌ තියෙනවා. ඒ සියලු දේ එකින් එක කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩ කරනකොට අඩුපාඩු තියෙයි. කොහොම වුණත් උපරිමය හොඳින් කරන්න අපි උත්සාහ කරනවා යනුවෙන් කපිල විඡේගුණවර්ධන මහතා පවසයි.

තවත් වසරකින් ඉන්දියාවේ පැවැත්වෙන 20 – 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසු ක්‍රීඩකයන්ව තෝරා ගැනීම ද, නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ ප්‍රධාන අභියෝගයක්‌ වේ. කෙසේ වෙතත් සියලු තේරීම් ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාව සඳහා මුල්තැන දෙමින් තෝරන බව ද නව ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.