ගාලු – කළුතර මංගල සිහින තරගය වැස්සට බිලි වෙයි

1st Battle of Dreams

17
1st Battle of Dreams

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කළුතර සිරි කුරුස විද්‍යාලය අතර පැවැති මංගල සිහින සංග්‍රාමය විසඳුමකින් තොරව අද (31) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වූවා. මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 28කට පමණක් සීමා වූවා.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගයේ පළමු දිනයේ පළමු කාර්තු ද්විත්වය ම අපතේ ගියා. අවස්ථා කිහිපයක දී ම පිටියේ විනිසුරුවන් ක්‍රීඩාංගණය සෝදිසි කිරීමෙන් අනතුරු ව  තරගය පස්වරු 3.10ට ආරම්භ කිරීමට තීරණය කළා.

ඒ අනුව උරගා බැලුණ කාසියේ වාසිය දිනා ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය නායකයා සමත් වුනා. තෙත බරිත ක්‍රීඩාංගණයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිරි කුරුස ක්‍රීඩකයෝ තම පළමු දිනය අවසන් කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 56ක් ලබා සිටියා. ඒ වෙද්දී තරගයේ පළමු දිනයට ක්‍රියාත්මක ව තිබුණේ පන්දුවාර 28ක් පමණයි.

තරගය දෙවැනි දිනයට නැවත ආරම්භ කිරීමට පිටියේ විනිසුරුවන් වූ ප්‍රදිප් උඩවත්ත සහ සුක්රි අහමඩ් යන මහත්වරුන් අවස්ථා කිහිපයක දී ම පිටිය පරීක්ෂා කළ ද පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඔවුන්ට ඒ සඳහා කිසිදු අවස්ථාවක් අද (31) දවසේ දී උදා වෙන්නේ නැහැ.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කවිඳු අමරසිංහ (නායක), ඩිහේන් සන්සිත් (කඩුලු රකින්නා), විනෝද් දනුශ්ක, දෙනෙත් දෙව්මින්ද, සේවිත වීරතුංග, නවිඳු ප්‍රමෝද්, සසිඳු රන්දීප, එමල්ශ පබසර, ප්‍රභාෂ් නිර්වාන්, ඔෂද දේවින්ද සහ දුල්සත් නිම්විරු.

සිරි කුරුස විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

සනුක චෙරාන් (නායක), ඉඳුවර අනුහස්, ආකාශ් දෙව්මිණ, ෆිර්නාස් ජෙමාන්, විහඟ ඔෂද, හිරුෂ ප්‍රනාන්දු, හිමරු දේශාන්, චමෝද් ප්‍රසංසන (කඩුලු රකින්නා), විහඟ සිල්වා, සිත්රු චමත්ක සහ යසිත් තරුෂ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිරි කුරුස විද්‍යාලයේ පළමු කඩුල්ල තෙවැනි පන්දුවේ දී දවා ගැනීමට සත්කාරක සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වෙනවා. අනතුරු ව 2 වැනි කඩුල්ලට ලකුණු 18ක් ද, 3 වැනි කඩුල්ලට ලකුණු 17ක් ද සහ 4 වැනි කඩුල්ලට ලකුණු 21ක් ද එකතු වෙද්දී ඔවුන් විසින් දවා ගන්නවා.

එතෙකින් ඉවර වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ෆිර්නාස් ජෙමාන්. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා. ඊට අමතර ව ආකාශ් දෙව්මිණ පන්දු 59කට මුහුණ දෙමින් ලකුණු 14ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් ආරම්භක වේග පන්දු යැවූ ප්‍රභාෂ් නිර්වාන් ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත් අතර නායක කවිඳු අමරසිංහ ද කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සිරි කුරුස විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 56 (28.0) ආකාශ් දෙව්මිණ 14, ෆිර්නාස් ජෙමාන් 15, ප්‍රභාෂ් නිර්වාන් 2/20

තරගයේ විසඳුමක් නෑ.

  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ප්‍රභාෂ් නිර්වාන් (සාන්ත ඇලෝසියස් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – ආකාශ් දෙව්මිණ (සිරි කුරුස විද්‍යාලය)
  • තරගයේ වීරයා – (ප්‍රදානය කෙරුණේ නැත.)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<