නිල් මහා සටනේ දෙවැනි දිනය දිනෙත් නමට ලියැවෙයි

146th Battle Of The Blues 2025

107
146th Battle

පාසල් ක්‍රිකට් වසන්තයේ තවත් ප්‍රමුඛ පෙළේ තරගයක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර නිල් මහා සටන ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ (07) නිමාවට පත් වුනා.

තරගයේ පළමු ඉනිම දියත් කළ රාජකීය විද්‍යාලය ලකුණු 319ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඊට පිළිතුරු වශයෙන් තරගයේ පළමු දිනය නිමා වන විට සාන්ත තෝමස් කණ්ඩායම කිසිවකු හෝ නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

ඊයේ දිනය තුළ ඔවුන් මෙම ලකුණු සංඛ්‍යාව 302ක් දක්වා ඉදිරියට රැගෙන යාමට සමත් වූ අතර, මෙහි දී ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ ජේඩන් සමරවීර ලකුණු 31ක් ලබාගන්නා අතරේ, අවිනාශ් ප්‍රනාන්දු ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් ලබා දුන් ආරම්භයෙන් පසුව ඉනිම ඉදිරියට රැගෙන යාමේ වගකීම බාරගත්, දිනෙත් ගුණවර්ධන විශිෂ්ට ඉනිමක් දියත් කළා.

පන්දු 165ක් තුළ හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 119ක් වාර්තා කිරීමට දිනෙත් සමත් වූ අතර, 2016 වසරින් පසුව මෙම තරග ඉතිහාසයේ තෝමසුවන් වෙනුවෙන් වාර්තා වූ එකම                 ශතක ලෙස ද මෙය ඉතිහාසගත වුනා.

දිනෙත්ගේ ඉනිමට නායක කවිඳු ඩයස්ගෙන් ද සහය හිමි වූ අතර, ඔහුගේ පිත්තෙන් ඉවසිලිවන්ත ලකුණු 37ක් වාර්තා වුනා.

මේත් සමඟින් සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 302ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ අනුව රාජකීයයන් විසින් පළමු ඉනිමේ දී ලකුණු 17ක් ඉදිරියෙන් රැඳීමට සමත් වුනා.

සාන්ත තෝමස් ඉනිම බිඳ හෙළීමේ වැඩි බරක් කරට ගත් රාජකීය ක්‍රීඩක රමිරු පෙරේරා ලකුණු 58කට කඩුලු 05ක් බිඳ හෙළීමට සමත් වූ අතර, මෙම තරග ඉතිහාසයේ රාජකීය විද්‍යාලය වෙනුවෙන් පන්දු යවන්නකු විසින් ඉනිමක කඩුලු 05 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනේ 2018 වසරෙන් පසුව වීමත් විශේෂත්වයක්.

ඊට අමතරව රනුක මලවිආරච්චි කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

තරගයේ දෙවැනි දිනය ඒ අයුරින් නිමාවට පත් වූ අතර, තරගයේ තෙවැනි සහ අවසන් දිනය අද (08) ක්‍රියාත්මක වීමට නියමිතයි.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<