වෙළඳ සේවා T20 පළමු ශතකය අවිශ්කගෙන්

10th Singer - MCA Super Premier League T20 Tournament 2025

51
MCA Super Premier League T20

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 10 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භක ශතකය වාර්තා කිරීමට CDB A කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සමත් වෙනවා.

කොළඹ, වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී (1) ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු දිනයේ දී Maliban Biscuits A කණ්ඩායම සහ Fairfrst Insurance කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.

CDB A සහ Maliban Biscuits A අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් CDB A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 11ක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ෂෙවෝන් ඩැනියෙල් පන්දු 22ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ද සහ සොනාල් දිනූෂ පන්දු 19ක දී හයේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගන්නවා.

අවිශ්ක ප්‍රනාන්දු, සොනාල් දිනූෂ හා එක් ව සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු  79ක සබඳතාවක් ද සහ 5 වැනි කඩුල්ලට දුනිත් වෙල්ලාලගේ (14*) හා එක් ව ලකුණු 53ක ලකුණු සබඳතාවක් ද එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී දුශාන් විමුක්ති, සහන් ආරච්චිගේ, දුශාන් හේමන්ත සහ මිලාන් රත්නායක කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Maliban Biscuits A ක්‍රීඩකයෝ තම ඉනිම අවසන් වීමට තවත් පන්දු 5ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ විශේන් හැළඹගේ. ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 53ක් ලබා ගන්නවා. ඔහු නායක සංගීත් කුරේ සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 65ක සබඳතාවක් එක් කරනවා.

එම ඉනිමේ හොඳම කඩුලු සබඳතාව බවට පත් වෙන්නේ ධනංජය ලක්ෂාන් සහ සනෝජ් දර්ශික එක් ව පන්දු 43ක දී එක් කළ ලකුණු 69යි. එහි දී ධනංජය ලක්ෂාන් පන්දු 33ක දී හතරේ සහ හයේ පහර ද්විත්වය බැගින් එක් කරමින් ලකුණු 39ක් ද සහ සනෝජ් දර්ශික පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ද ලබා ගත්තා.

Maliban Biscuits A ඉනිම අවසන් වන විට දුශාන් හේමන්ත පන්දු 9ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද සහ සහන් ආරච්චිගේ පන්දු 7කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනිමේ දී නායක ලහිරු මදුශංක ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව නිපුන් ධනංජය සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • CDB A – කඩුලු 5ක් දැවී 206 (20.0) ෂෙවෝන් ඩැනියෙල් 34, අවිශ්ක ප්‍රනාන්දු 100, සොනාල් දිනූෂ 33, දුශාන් විමුක්ති 1/18
  • Maliban Biscuits A – කඩුලු 5ක් දැවී 209 (19.1) විශේන් හැළඹගේ 53, ධනංජය ලක්ෂාන් 39, සනෝජ් දර්ශික 39, දුශාන් හේමන්ත නොදැවී 26, ලහිරු මදුශංක 3/34

Maliban Biscuits A කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Hayleys Group A සහ Fairfrst Insurance අතර තරගය

කාසියේ වාසිය දිනාගත් Fairfrst Insurance ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 169ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Hayleys Group A කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 99ක් පමණයි.

Fairfrst Insurance කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ආරම්භක පිතිකරු තනුක දාබරේ. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හයේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.

එම ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 15 දී දැවී ගිය අතර ඉන් අනතුරු ව පිටියට පිවිසි ගවිරු සෙන්හස් සමඟ එක් වූ තනුක දාබරේ ලකුණු 57ක සබඳතාවක් එක් කරනවා. ගවිරු සෙන්හස් පන්දු 19කට මුහුණ දෙමින් හතතෙර් පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

ඊට අමතර ව නිමේෂ් විමුක්ති පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද සහ අනුක් ප්‍රනාන්දු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී රමේෂ් මෙන්ඩිස්, ට්‍රෙවීන් මැතිව්, ඉනුක කරන්නාගොඩ, රවිඳු ප්‍රනාන්දු, කලණ පෙරේරා සහ කවිශ්ක අංජුල එක් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Hayleys Group A කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 7ක් වෙද්දී දැවී යන අතර අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 18ක දී ලකුණු 24ක සබඳතාවක් එක් කිරීමට රොන් චන්ද්‍රගුප්ත (9) සහ සදීර සමරවික්‍රම (17) සමත් වෙනවා. එම ඉනිමේ හොඳම කඩුලු සබඳතාව බවට පත් වූයේ ද එයයි.

අසාර්ථක ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ කලණ පෙරේරා. ඔහු පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා. ඊට අමතර ව කවිශ්ක අංජුල පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නිමේෂ් විමුක්ති, දිලුම් සුදීර, තනුක දාබරේ සහ සෙනිත හැළඹගේ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව ගයන විරසිංහ සහ සහන් මිහිර කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Fairfrst Insurance – කඩුලු 6ක් දැවී 169 (20.0) තනුක දාබරේ 50, ගවිරු සෙන්හස් 22, අනුක් ප්‍රනාන්දු 22, නිමේෂ් විමුක්ති නොදැවී 34, රමේෂ් මෙන්ඩිස් 1/13
  • Hayleys Group A – සියලුම දෙනා දැවී 99 (15.4) කවිශ්ක අංජුල 19, කලණ පෙරේරා 20, සෙනිත හැළඹගේ 2/26, නිමේෂ් විමුක්ති 2/08, දිලුම් සුදීර 2/16, තනුක දාබරේ 2/22

Fairfrst Insurance කණ්ඩායමට ලකුණු 70ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<