5 වැනි ලෝක කුසලානය සඳහා තරග වදින ශ්‍රී ලංකා කැරම් සංචිතය

431

ජාත්‍යන්තර කැරම් සම්මේලනය සංවිධානය කරන “5 වැනි කැරම් ලෝක කුසලාන තරගාවලිය” අගෝස්තු මස 23 වැනිදා සිට 28 වැනිදා දක්වා දකුණු කොරියාවේ චුංචියෝන්ග් නුවර සොංගම් ක්‍රීඩා නගරයේ දී පැවැත්වීමට කොරියානු කැරම් සම්මේලනය මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මඟින් නම් කර ඇති අතර ඔවුන් අගෝස්තු මස 21 වැනිදා (අද) දිවයිනෙන් පිටත් වීමට නියමිතයි.

මෙවර ද තරගාවලියට සහභාගී වන පිරිමි කණ්ඩායමේ නායකත්වය ප්‍රවීණ කැරම් ක්‍රීඩකයෙකු වන චමිල් කුරේ විසින් දරන අතර කාන්තා කණ්ඩායමේ නායකත්වය දරන්නේ යසිකා රාහුබද්ද විසිනි.

ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම

හිඳගෙන වමේ සිට දකුණට: පරාක්‍රම බස්නායක (සභාපති), යසිකා රාහුබද්ද (නායිකා), චමිල් කුරේ (නායක), බ්රිංඩ්ලි වික්‍රමසිංහ (උප සභාපති)

සිටගෙන වමේ සිට දකුණට: චලනි ලියනගේ, ජෝශප් රොෂිටා, මධුකා රණවීර, උදේශ් චන්දිම, ෂහීඩ් හිල්මි, නිශාන්ත ප්‍රනාන්දු

පිරිමි

චමිල් කුරේ

වර්තමාන ජාතික කැරම් ශූරයා වන්නේ මොහුයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ රැඳී සිටින ඔහු මේ වන විට ජාතික ශූරතා 14ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. 2014 වසරේ පැවති 4 වැනි ලෝක කුසලාන තරගාවලියේ හා 2016 වසරේ පැවති 7 වැනි ලෝක ශූරතාවයේ “ස්විස් ලීගය” ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. 2005 වසරේ පැවති ආසියානු ශූරතා තරගාවලියේ දී අනුශූරතාවයත්, 2013 වසරේ පැවති Champion Of Champions තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගැනීමටත් ඔහු සමත්වී ඇත. දේශීය තරගාවලි සඳහා ඔහු සෙලාන් ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.

නිශාන්ත ප්‍රනාන්දු

නිශාන්ත වර්තමාන ජාතික ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවෙයි. 2012 වසරේ පැවති 6 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ කේවල අංශයේ ශූරතාවය දිනා ගැනීමට ඔහු සමත් විය. 2015 වසරේ පැවති ICF කුසලාන කැරම් තරගාවලියේ කේවල අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට ද ඔහු සමත් විය. 2001 හා 2012 වසරවල ජාතික ශූරතාවය දිනා ගත්තේ ද ඔහු විසිනි. දේශීය තරගාවලි සඳහා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔහු තරග කරයි.

ෂහීඩ් හිල්මි

මේ වන විට ජාතික ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයේ පසුවන ක්‍රීඩකයෙකි. මේ වසරේ පැවති ග්‍රෑන්ඩ් ස්ලෑම් කැරම් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඔහු සමත් විය. 2014 වසරේ දී ජාතික කැරම් ශූරතා තරගාවලියේ අනුශූරතාවය ද, 2015 හා 2018 වසරවල තෙවැනි ස්ථානය ද දිනා ගැනීමට ඔහුට හැකි විය. 2013 වසරේ සිට 2016 වසර දක්වා ජාතික කනිෂ්ඨ කැරම් ශූරතා තරගාවලියේ කේවල අංශයේ ශූරයා වූයේ ද ඔහුයි.

උදේශ් චන්දිම

උදේශ් වර්තමානයේ ජාතික ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ පසුවෙයි. 2015 වසරේ ජාතික කැරම් ශූරතා තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. 2014 වසරේ ජාතික කැරම් ශූරතා තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් විය. උදේශ් 2010 වසරේ පැවති ජාතික කනිෂ්ඨ කැරම් ශූරතා තරගාවලියේ වයස අවුරුදු 17න් පහළ ශූරතාවය ද දිනා ගැනීමට සමත් විය. දේශීය තරගාවලි සඳහා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.

කාන්තා

යසිකා රාහුබද්ද

වර්තමානයේ ජාතික ශ්‍රේණිගත කිරීම්වල කාන්තා අංශයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින්නේ ඇයයි. 2008, 2009 හා 2017 යන වසරවල කාන්තා අංශයේ ජාතික කැරම් ශූරතාවය දිනා ගැනීමට ඇය සමත් වූ අතර මේ වසරේ දී එහි අනුශූරතාවය දිනා ගැනීමට ඇය සමත් විය. මේ වසරේ පැවති 44 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ කාන්තා අංශයේ ශූරතාවය මෙන්ම එහි හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනා ගන්නට යසිකා සමත් විය.

2017 හා 2018 වසරවල කාන්තා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය ජයග්‍රහණය කරන්නට ඇය සමත් වූ අතර 2016 වසරේ පැවති 17 වැනි ජනාධිපති කුසලාන කැරම් තරගාවලියේ ශූරතාවය ද දිනා ගැනීමට ඇයට හැකි විය. 2008, 2012 හා 2016 වසරේ පැවති ලෝක ශූරතා කැරම් තරගාවලියේ කණ්ඩායම් අනුශූරතාවය හිමිකරගත් කණ්ඩායමේ ද යසිකා සාමාජිකාවකි. දේශීය තරගාවලි සඳහා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග කරයි.

ජෝශප් රොෂිටා

2010, 2012, 2014, 2015, 2016 හා 2018 යන වසරවල කාන්තා අංශයේ ජාතික කැරම් ශූරතාවය දිනා ගැනීමට ඇය සමත් වූ අතර 2013 වසරේ පමණක් අනුශූරතාවය දිනා ගන්නා ලදි. 2016 වසරේ පැවති ලෝක ශූරතා කැරම් තරගාවලියේ කණ්ඩායම් අනුශූරතාවය හිමිකරගත් කණ්ඩායමේ සාමාජිකාවකි. 2013 වසරේ පැවති ආසියානු කැරම් ශූරතා තරගාවලියේ යුගල ශූරතාවය හිමිකරගත් ක්‍රීඩිකාවකි. 2010 වසරේ SAARC තරගාවලියේ කේවල අංශයේ 3 වැනි ස්ථානය හිමි කර ගැනීමට ඇය සමත් විය. නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දේශීය තරගාවලි සඳහා ක්‍රීඩ කරයි.

චලනි ලියනගේ  

කාන්තා අංශයේ ජාතික ශ්‍රේණිගත කිරීම්වල චලනි පසුවන්නේ තෙවැනි ස්ථානයේයි. 2011 හා 2013 වසරවල කාන්තා අංශයේ ජාතික කැරම් ශූරතාවය දිනා ගැනීමට ඇය සමත් වූ අතර 2010, 2014, 2015 හා 2017 යන වසරවල අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. 2016 වසරේ පැවති ලෝක ශූරතා කැරම් තරගාවලියේ අනුශූරතාවය හිමිකරගත් කණ්ඩායමේ සාමාජිකාවකි. 2014 වසරේ පැවති ලෝක කුසලාන කැරම් තරගාවලියේ හා 2012 වසරේ පැවති ලෝක ශූරතා කැරම් තරගාවලියේ කාන්තා යුගල අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට ද ඇයට හැකි විය. චලනි නියෝජනය කරන්නේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයයි.

මධුකා රණවීර

මේ වන විට කාන්තා අංශයේ ජාතික ශ්‍රේණිගත කිරීම්වල මධුකා පසුවන්නේ සිව්වැනි ස්ථානයේයි. මේ වසරේ පැවති ජාතික කැරම් ශූරතා තරගාවලිය නියෝජනය කළ ඇය එහි දී සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. 2016 හා 2017 වසරවල ජාතික ක්‍රීඩා උළෙලේ කැරම් ශූරතාවය දිනා ගැනීමට ද ඇය සමත් විය. 2010 හා 2011 වසරවල ජාතික කනිෂ්ඨ කැරම් ශූරතා තරගාවලියේ කේවල අංශයේ ශූරිය වීමට ද ඇයට හැකි විය. 2011 හා 2012 වසරවල සමස්ත ලංකා කැරම් ශූරතාවය මෙන්ම 2011 වසරේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ද ඇයට හැකියාව ලැබුණි. දේශීය තරගාවලි සඳහා ඇය තරග කරන්නේ යුධ හමුදා ක්‍රීඩා සමාජයෙනි.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක මහතා ThePapare.com සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

” ඇත්තටම හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා. අපිට තවමත් ජාතික පුහුණුකරුවෙක් නොමැති එක තමයි ගැටලුව. නමුත් අපේ කණ්ඩායම ලොකු කැපවීමකින් යුතුව පුහුණු වෙනවා. මෙවර කැරම් ලෝක කුසලානය අපට ජයග්‍රහණය කළ හැකි වේවි යැයි ලොකු විශ්වාසයක් තියෙනවා.”

ලොව දක්ෂතම ක්‍රීඩකයන් සහභාගී වන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳම දක්ෂතාවන් අතරට පැමිණ මෙවර කැරම් ලෝක කුසලානය ලක්මාතාව වෙත ගෙන ඒමට හැකි වේවායි ThePapare.com අප  ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<