මතභේද දුරු කරන්නට හේතු එළිදකී

294

මේ මස 22 වැනිදා සිය 26 වැනිදා දක්වා බහරේන් හිදී පැවැත්වීමට නියමිත වයස අවු.23න් පහළ ආසියානු කුසලාන පාපන්දු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තේරීම් තරගාවලියට සහභාගී වන 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය පසුගිය දා නම් කෙරුණේ තරමක් මතභේදාත්මක කරුණු කාරනා රැසක් ඉස්මතු කරමිනි.

මතභේද රැසක් සමඟින් 23න් පහළ පාපන්දු සංචිතයක් නම් කරයි

ආසියානු පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය යටතේ පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය…

ඒ අනුව අන්තර් සමාජ මට්ටමින් පසුගිය තරගවාරයන්හී දස්කම් පෑ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඉවත්කොට ඔවුන් වෙනුවට අන්තර් සමාජ මට්ටමේ තරග අත්දැකීම් සාපේක්ෂව මද උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පැමිණ සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නම්කොට තිබීම වඩාත් කැපී පෙණුනි.

කෙසේ නමුත් මෙම ක්‍රීඩකයින් තෝරාපත් කරගැනීමේ ක්‍රියාපටිපාටියේ විනිවිදභාවය පිළිබඳ දිගින් දිගටම එල්ල වූ විවේචනයන් හට පිළිතුරු ලබා දෙමින් බලධාරීන් සඳහන් කර සිටියේ ඉහත ක්‍රීඩකයින් පස්දෙනා හට ද මෙම තරගාවලිය අරමුණකොට ගෙන පැවති තෝරාගැනීමේ තරග සහ වැඩසටහන් වෙත සහභාගී වන ලෙසින් දැනුවත් කිරීම් සිදු කළ බවත් ඔවුන්ගෙන් බහුතරය ඩයලොග් ශූරයින්ගේ කුසලාන තරගාවලිය සමඟ කාර්යබහුලව සිටි නිසාවෙන් අවසන් සංචිතය වෙත ඔවුන් ඒ වන විට පෙන්වා ඇති දක්ෂතා සලකා බලමින් තෝරාපත් කරගැනීමට නියමිත බවය. ඉන් අනතුරුව මෙම ක්‍රීඩකයින් පස්දෙනා වෙත දන්වා තිබුණේ තරගාවලිය නිම වූ වහාම සංචිතයේ පුහුණු වීම් සඳහා වාර්තා කරන ලෙසයි.

නම් කළ ඇති ක්‍රීඩකයින් පස්දෙනා සංචිතයෙන් ඉවත් කිරීමට හේතු පාදක වූ කරුණු කාරණා

නවීන් ජූඩ් – මොහු ජාවා ලේන් කණ්ඩායම නියෝජනය කරමින් නිමාව දුටු ඩයලොග් ශූරයින්ගේ කුසලාන තරගවාරයෙහි අවසාන භාගයේ  දී කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණීමට සමත් වූවත් ජාතික කණ්ඩායම වෙනුවෙන් සේවයට වාර්තා කිරීමේ භාරධූර වගකීම නොසලකා හරිමින් සිය ක්‍රීඩා සමාජ කණ්ඩායම සමඟ ඉන්දියාවේ පැවති 2019 CEM රන් කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම.

දිලීප් පීරිස් – සිය කුළුදුල් තරගවාරයේ දී ම සියල්ලන්ගේ අවධානය තමා වෙත යොමුකර ගැනීමට සමත් වූ මොහු කණ්ඩායමට අවශ්‍යම මොහොතේ දී ගෝල රැස් කරමින් සිය දායකත්වය උපරිමයෙන් කණ්ඩායමට ලබා දුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් අයෙක් විය. කෙසේ ඔහු නමුත් තම උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගැනීමේ අභිලාශයෙන් විදෙස්ගත වීමට ගත් තීරණය නිසාවෙන් සංචිතයෙන් ඔහුගේ නම සංචිතයෙන් අකුළා ගැනීමට බලධාරීන් හට සිදු වී ඇත.

ඉෂාන් ධනූෂ (පැංචා) සහ මහේන්ද්රන් දිනේෂ් – 2018/19 තරගවාරයේ දී FA කුසලාන තරගාවලියේ ද අවසන් පූර්ව වටය දක්වාත් එම වසරේ දී ම ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ අපරාජිත ශූරයින් ලෙසත් අභිසෙස් ලැබූ ජයග්‍රාහී පොලිස් ක්රීඩා සමාජ කණ්ඩායමේ කොටස්කරුවන් වන මෙම දෙදෙනා හට පොලිස් නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වීමට සිදුව ඇති බැවින් දිගින් දිගටම ජාතික සංචිතයේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් කාලය වෙන්කොට ගැනීම දැඩි අභියෝගයක් වී ඇත.

මොහොමඩ් ආකීබ් – තවමත් 18 වැනි වියේ පසුවන ක්‍රීඩා කෞශල්‍යයෙන් පිරිපුන් මෙම යොවුන් ක්‍රීඩකයා නිමා වූ තරගාවරයේ දී කොළඹ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එම කාලසීමාව පුරාවටම සිය දායකත්වය නොමදව තම කණ්ඩායම වෙත ලබා දීමට සමත් වූ අතර දීර්ඝ සහ වෙහෙසකර දේශීය තරගවාරය නිමා කරමින්  සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා දින 6ක වැනි කෙටි කාලයක් තුල බහරේන් බලා පිටත්ව යෑමට ආකීබ් හට සිදු විය.

ඒ අනුව තවමත් සිය ක්‍රීඩා දිවියේ ආරම්භක අවධියේ පසුවන මොහු හට අවශ්‍ය විවේක කාලය ලබා දී ආබාධ තත්වයන් ඇතිවීමේ අවදානමක් වෙතොත් ඒවා මඟහැර ගනිමින් කළමනාකරණය කරගැනීම ඔහුව සංචිතය වෙත නම් නොකිරීමට ප්‍රධානතම හේතුව වශයෙන් බලධාරීන් විසින් සඳහන් කර තිබේ.

තවද ආකීබ් හට සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමඟ එකට ගැටෙමින් පුහුණුවීම් කටයුතු සඳහා ලැබුණු ඉඩප්‍රස්තාවන් සාපේක්ෂව සීමා සහිත වූ බැවින් කණ්ඩායමේ උපක්‍රම සහ ක්‍රීඩා රටාවන් වලට නිසියාකාර අනුගත වීමේ වරම අහිමි වීම ඔහුව සංචිතයෙන් ඈත්කොට තැබීමට හේතුපාදක වූ තවත් කරුණක් ලෙස හැඳින්විය හැක.

ඉහත සඳහන් ක්‍රීඩකයින්ගේ සේවය සිය මවුරට වෙනුවෙන් ලබා ගැනීමට අවකාශයක් ලැබුනහොත් එය කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ නැංවීමටත් සංචිතයේ සමබරතාව රැකගැනීමටත් ඉමහත් බලපෑමක් එල්ල කරනු ඇත. මන්දයත් මොවුන් සියලු දෙනාම නිමාව දුටු වයස අවු.19න් පහළ සහ අන්තර් සමාජ තරගාවලීන් හීදී ඉතාමත් හොඳ දක්ෂතා අතර සිටි සහජ හැකියාවන්ගෙන් පිරිපුන් ක්‍රීඩකයින් වන බැවිනි.

නමුත් උද්ගත වී ඇති තත්වය හමුවේ ප්‍රධාන පුහුණුකරු ධූරය හොඹවන පකීර් අලී මහතා වටා දැඩි පීඩනයක් ගොඩනැගෙමින් තිබූ මොහොතක ඉතා අසීරුවෙන් වූවද අවස්ථාවට උචිත වඩාත් සුදුසුම සංචිතය තේරීමේ කාර්යභාරය ඔහු විසින් හැකි උපරිමයෙන් ඉටුකර ඇති බව මෙහි දී සඳහන් කළ යුතුය.

නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් දීර්ඝ ගමනක් යාමේ මහත් බලාපොරොත්තු රැසක් මෙම ක්‍රීඩකයින් කෙරෙහි අප සියලු දෙනාම තබා තිබෙන බව නොරහසකි. නමුත් මේ අවස්ථාවේ දී වඩාත් උචිත වන්නේ අඩුපාඩු වැරදි සෙවීමටත් වඩා නම් කළ ඇති සංචිතය වෙත අපගේ උපරිම සහයෝගය ලබා දෙමින් ඔවුන් දිරිමත් කිරීම නොවේද?

ඉහත සඳහන් ක්‍රීඩකයින් පස්දෙනා සංචිතය වෙත එක්කොට නොගැනීම පිළිබඳ ඔබ දරන පහතින් අප වෙත සඳහන් කරන්න තවද කිසියම් ක්‍රීඩකයෙකුට අසාධාරණයක් වී තිබේ නම් ඒ පිළිබඳත් අප දැනුවත් කරන්න.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<