අඩි හයයි අඟල් දහයයි – මැට් ඇන්ඩර්සන්

206
Volleyball Legends 5

ලොව ප්‍රමුඛතම වොලිබෝල් ක්‍රීඩා සමාජවලින් වැඩිම ඉල්ලුමක් ලැබෙන ක්‍රීඩකයන් කිහිප දෙනා අතර ඉදිරින්ම සිටින ඔහු තමාගේ උසින් උපරිම ප්‍රයෝජනය ගන්නා ක්‍රීඩකයෙකි. ප්‍රතිවාදී පිටියේ පසුපස කලාපවල සීමා ඉරි ආසන්නයේ පතිත වන්නට පහර එල්ල කිරීමේ ශූරයෙකු වන ඔහු ලොව ප්‍රධානතම ක්‍රීඩා සමාජ කිහිපයක්ම නියෝජනය කිරීමට වරම් හිමි කරගත් අයෙකි. 

පසුගිය දා පැවති වොලිබෝල් ලෝක කුසලාන තරගයක් අතරතුර පෝලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පෝලන්ත පන්දු ආවරණ කරන්නන් තරගය නරඹන්නන්ගේ තත්ත්වයට පත්කළ ඔහු, පෝලන්ත ආවරණ ඉවතට විසිවී යන ලෙසින් ජවසම්පන්න ප්‍රහාර එල්ල කරමින් තරගය තුළ තනිව ලකුණු 23ක් රැස් කිරීමට සමත් විය. ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ පස්වැන්න වෙන් වන්නේ ඔහු වෙනුවෙන් ය.

මැතිව් ජෝන් ඇන්ඩර්සන් (Mathew John Anderson).. 

නැත්නම් ඔබ හොඳින්ම දන්නා පරිදි මැට් ඇන්ඩර්සන් (Matt Anderson)

මැට් ප්‍රතිවාදී පිටියේ පසුපස කලාපයට මරු පහරවල් (Kill Attacks) එල්ල කිරීමේ ශූරයෙකි. මරු පහරක් යනුවෙන් වොලිබෝල් ක්‍රීඩාවේ හැඳින්වෙන්නේ ප්‍රතිවාදීන්ට ගොඩගැනීමට නොහැකි වන සේ එල්ල කරන පහරකි. එසේම ඔහුගේ පහරවල් වල ඇති ජවය නිසාම බොහෝ අවස්ථාවල පන්දුව වැදීමෙන් පසු ප්‍රතිවාදී ආවරණ ඉවතට විසිවී යන අයුරු දක්නට ලැබේ. 

මැට් ඔහුට යොමුවන අභියෝග නොබියව භාරගන්නා අයෙකි. ඔහුගේ ක්‍රීඩා දිවියේ බොහෝ කාලයක් ඔහු ක්‍රීඩා කළේ පිටත ප්‍රහාරකයෙකු ලෙසයි. නමුත් මෑතක දී ඇමරිකානු ජාතික කණ්ඩායමේ පුහුණුකරු ජෝන් ස්පැරෝ ඔහුගෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක ස්ථානයට මාරු වන ලෙස කළ ඉල්ලීම ඔහු පිළිගත්තේ කිසිදු පැකිලීමකින් තොරවය. 

එහි දී කණ්ඩායමේ තම ස්ථානය වෙනත් යොවුන් ක්‍රීඩකයෙක් හට ලබා දී තමා වෙනත් ස්ථානයකට මාරු විමෙන් මැට් ලබා දුන් ආදර්ශය ඉතා විශිෂ්ට එකක් බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ස්පැරෝ එම ක්‍රිඩාවෙන්ම මැට් සතුව පවතින කණ්ඩායම් හැඟීම මනාව පෙන්නුම් කරන බව ද සඳහන් කළා. 

නම – මැතිව් ජෝන් ඇන්ඩර්සන් (Mathew John Anderson)
අන්වර්ථ නාමය – මැට් (Matt)
උපත – 198/04/18
උස – 2.10 m (අඩි 6 අඟල් 10)
බර – 100 kg
ක්‍රීඩා කරන ස්ථානය – ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක (Opposite Hitter) / පිටත ප්‍රහාරක (Outside Hitter)
කමිස අංකය – අංක 1
ප්‍රහාරක උස – 360 cm (142 in)
ආවරණ උස -332 cm (131 in)
නියෝජනය කළ රට – ඇමරිකා එක්සත් ජනපදය
වෙනත් කණ්ඩායම් – Penn State Nittany Lions (2006–2008), Hyundai Capital – South Korea (2008–2010), Tonno Callipo Vibo Valentia – Italy (2010–2011), Casa Modena – Italy (2011–2012), Zenit Kazan – Russia (2012–2019), Modena Volley – Italy (2019–To Date)

ඔහුගේ විශේෂත්වය

2011 වසරේ සිට පසුගිය වසර 8 පුරාවට සෑම වසරකම ඇමරිකා එක්සත් ජනපදය තුළ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය දිනා ගැනීමට මැට් සමත් වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත රටක එම දස්කම අඛණ්ඩව වසර 8ක් පුරාවට සිදු කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. 

යොවුන් අවධියේ පටන්ම මැට්ගේ විශේෂත්වය වූයේ මරු පහරවල් (Kills) එල්ල කිරීමට ඔහු තුළ වූ සුවිශේෂී හැකියාවයි. දැවැන්ත ශරීරයකට හිමිකම් කියන මැට් පිටියේ පසුපස කලාපයේ සිට පහර එල්ල කිරීමට වැඩි ප්‍රියතාවයක් දක්වයි. උසින් අඩි 6 අඟල් 10ක් වන නිසාම වඩාත් පහසුවෙන් පසුපස කලාපයේ ප්‍රහාර එල්ල කිරීමට ඔහුට හැකියාව ලැබී තිබේ. 

ඔහුගේ ක්‍රීඩාවේ අනෙක් සුවිශේෂී කරුණ වන්නේ ආවරණ බිඳී යන පරිදි පහර එල්ල කිරීමට හැකි වීමයි. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයන් ශක්තිමත් බවින් ඉහළ නිසා ඔවුන්ගේ ආවරණ බිඳ දැමීම පහසුවෙන් කළ හැක්කක් නොවේ. නමුත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ආවරණ බිඳී යන සේ පහර දීම මැට්ගේ ක්‍රීඩා රටාවේ දක්නට ලැබෙන විශේෂත්වයකි.

කුඩා කළ දිවිය

1987 වසරේ අප්‍රේල් මස 18 වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් හි බෆලෝ නගරයේ දී උපත ලද මැට් ඇන්ඩර්සන් දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා විය. ඔහුගේ වැඩිමහල් සොයුරියන් වූ ජොයෙල් සහ ඒමි දෙදෙනා වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වූ අතර ඔවුන්ගෙන් ලද ආභාෂය හේතුවෙන් කුඩා මැට් ද වොලිබෝල් ක්‍රීඩාවට යොමු වූ බව කියැවේ.

පුද්ගලික දිවිය

විලාසිතාවන්ට බර වූ කෙලිලොල් දිවියක් ගෙවන මැට් පච්චා කලාවට ඉතා ප්‍රිය කරන අයෙකි. ඔටිසම් රෝගයෙන් පෙළෙන ඔහුගේ බෑණනුවන් (සහෝදරියගේ දරුවා) වන ට්‍රිස්ටින්ට ගෞරව කිරීම සඳහා මැට් විසින් තමාගේ මැණික් කටුවෙහි පච්චයක් කොටාගෙන ඇත. 

තවද 2010 වසරේ දී අභාවප්‍රාප්ත වූ ඔහුගේ පියාට ගෞරව කිරීම සඳහා ද මැට් පච්චයක් කොටාගෙන ඇත. ක්‍රීඩා කටයුතු අතරේ ඉගෙනීම ද අතපසු නොකළ මැට් 2005 වසරේ දී බටහිර සෙනෙකා උසස් පාසලෙන් උපාධිය ලබා ගත්තේය. වසර ගණනාවක පෙම් සබඳතාවයකින් පසුව 2019 මැයි මාසයේ දී මැට් තම පෙම්වතිය වූ ජැකී ගිලම් සමඟ විවාහ ජීවිතයට එළඹෙන්නට සමත් විය.

>> ආවරණ මගහැරීමේ කලාකරුවා – මැක්සිම් මිහයිලොව්

වෘත්තීය දිවිය

මැට් ඔහුගේ විශ්ව විද්‍යාලයීය අවසන් වසර තුළ දී, ඔහු නියෝජනය කළ බටහිර සෙනෙකා පිරිමි වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය දරමින් අඛණ්ඩව තරග 17ක් ජයග්‍රණය කර වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එසේම ඔහුගේ කණ්ඩායම 2004 වසරේ දී ජාතික ශූරතාව වෙනුවෙන් මෙහෙය වීමට ද මැට් සමත් විය.

විශ්ව විද්‍යාල කණ්ඩායම් නියෝජනයෙන් පසුව ඔහු නිව්යෝර්ක් හි ඊඩන් වොලිබෝල් සමාජය හා එක් වූයේ තම වෘත්තීය වොලිබෝල් ක්‍රීඩා දිවියේ ආරම්භය සටහන් කරමිනි. එම වකවානුවේ දී අනෙකුත් ක්‍රීඩකයන් සියලු දෙනා අභිබවන උසකින් යුතු වීම නිසා රට පුරා ක්‍රීඩා සමාජ බොහොමයකින් ඔහුට ආරාධනා ගලා එන්නට පටන් ගත් අතර 2008 වසර දක්වා පෙන් ප්‍රාන්ත කණ්ඩායමේ පිටත හා දකුණු පස ප්‍රහාරකයෙකු ලෙසින් අත්දැකීම්වලින් පරිපූර්ණ වීමට මැට් සමත් විය. 2008 වසරේ දී ඔහු පෙන් ප්‍රාන්තය වෙනුවෙන් සිය වෘත්තිය දිවිය අවසන් කළේ මරු පහර (Kills) 1,212ක් සහ මරු පිරිනැමීම් (Aces) 82ක් වාර්තා කරමිනි.

2007 වසර අග භාගයේ දී ඇමරිකානු ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම හිමි කර ගත් මැට් 2008 වසරේ දී පෑන් ඇමරිකානු කුසලානය දිනා ගැනීමට සමත් විය.

2008 ජූලි 1 වන දින මැට් තමා පෙන් ප්‍රාන්ත කණ්ඩායම සමඟින් බැඳී සිටින ගිවිසුම අත්හරින බව ප්‍රකාශ කළ අතර ඉන්පසුව ඔහු කොරියානු වොලිබෝල් ලීගයේ ප්‍රබල කණ්ඩායමක් වන හයුන්ඩායි කැපිටල් ස්කයිවෝකර්ස් කණ්ඩායම සමඟ වෘත්තීය ගිවිසුමක් අත්සන් කළේය. 

හයුන්ඩායි කැපිටල් ස්කයිවෝකර්ස් කණ්ඩායම වෙනුවෙන් වසර දෙකක් ක්‍රීඩා කළ මැට් 2010–2011 තරග සමය වෙනුවෙන් ඉතාලි ලීගයේ ටොනෝ කැලිපෝ විබෝ වැලන්ටියා කණ්ඩායම සමඟ නව ගිවිසුමකට එළඹෙන්නට සමත් විය. එහි දී ඔහු පිටත ප්‍රහාරකයෙකු ලෙස එක් වසරක් ගත කළ අතර ඉන්පසු ඔහු ඉතාලි ලීගයේ ම කැසා මොඩෙනා කණ්ඩායම වෙත මාරු වුනේ ඔවුන් හා නව ගිවිසුමකට එළඹෙමිනි. නමුත් ඉතාලි ලීගය තුළ තමා බලාපොරොත්තු වූ අයුරින් දස්කම් දවන්නට මැට් සමත් වූයේ නැත.

මැට්ගේ ජීවිතයේ සුවිශේෂීතම මොහොත එළඹෙන්නේ 2012 වසරේ දී ය. එම වසරේ දී ඔහුට ප්‍රධානතම රුසියානු වොලිබෝල් ක්‍රීඩා සමාජ කණ්ඩායම වන සෙනිත් කසාන් කණ්ඩායමෙන් ඔවුන්ගේ පිටත ප්‍රහාරක ස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙස ඇරයුමක් ලැබුනේය. එය ඔහුගේ ක්‍රීඩා දිවියේ තීරණාත්මකම අවස්ථාව ලෙස බොහෝ විචාරකයන් හඳුන්වයි.

සෙනිත් කසාන් ක්‍රීඩා සමාජය සමඟ ඔහු 2012–2013 දී රුසියානු ශූරතාවලියේ සහ CEV චැම්පියන්ස් ලීගයේ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. 2013–2014 තරග සමයේ දී ඔහුගේ කණ්ඩායම රුසියානු ශූරතාවය ජයග්‍රහණය කළ අතර එම වසරේ දී මැට් ඇන්ඩර්සන් රුසියානු ලීගයේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් නම් විය.

>> උස පහරේ අකුණු සැරය – වොලස්

නමුත් 2014 වසර අග භාගය වන විට මැට්ගේ මානසික මට්ටම එතරම් යහපත් මට්ටමක පැවතුණේ නැත. මේ නිසා 2014 වසරේ ඔක්තෝබර් 29 වැනි දින තමාට ඇති මානසික අවපීඩන තත්ත්වය (Depression) හේතුවෙන් සෙනිට් කසාන් සමඟ ඇති කර ගත් ගිවිසුම අවලංගු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. 

ඉන්පසු තරග සමයන් කිහිපයකින් අනතුරුව 2017 පෙබරවාරි 13 වැනි දින ඇන්ඩර්සන් ප්‍රකාශ කළේ තමා නව තරග සමය සඳහා සෙනිත් කසාන් සමඟ රැඳී සිටීමට ගිවිසුමක් අත්සන් කළ බවයි. ඒ අනුව ඔහු 2017 වසරේ සිට 2019 වසර දක්වා නැවත සෙනිත් කසාන් කණ්ඩායම සමඟින් තරග බිමට එළඹුනේය.

ඒ අතරතුර දී මැට්ගේ සාමාජිකත්වයෙන් යුතු ඇමරිකානු ජාතික කණ්ඩායම 2014 හා 2015 යන වසර ද්විත්වයෙහි ලෝක වොලිබෝල් ලීග ශූරතාවයත්, 2015 වසරේ වොලිබෝල් ලෝක කුසලානයත් ජයග්‍රහණය කරන්නට සමත් විය. 

2016 රියෝ ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව වටයේ දී ඉතාලිය හමුවේ තරග වට 2:3ක් ලෙස පරාජය වන්නට සිදුවීමත් සමඟින් ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත් වන්නට ඔහුට සිදු විය. මෙය තම දිවියේ දුක්බරතම අවස්ථාවක් බව ඔහු සඳහන් කරන්නේ ඔලිම්පික් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීම තම සිහිනය බව සඳහන් කරමිනි.

ජාත්‍යන්තර ක්‍රීඩා සමාජ තරග බිමේ වසර 7ක් පුරාවට ඉතා සාර්ථක ලෙස සෙනිත් කසාන් කණ්ඩායම නියෝජනය කළ මැට් ඇන්ඩර්සන් 2019-20 වාරය සඳහා නැවත මොඩෙනා වොලී වෙත යාමට තීරණය කළේ තම ක්‍රීඩා දිවියට වෙනසක් අවශ්‍ය බව සඳහන් කරමින්ය.

ඔහු වර්තමානයේ ක්‍රීඩා කරන්නේ ඉතාලියේ මොඩෙනා වොලී කණ්ඩායම සමඟින් ය.

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණ
ඇමරිකානු ජාතික කණ්ඩායම
2008 පෑන් ඇමරිකානු කුසලානය – රන් පදක්කම
2011 නෝර්සෙකා ශූරතාවය – රිදී පදක්කම
2012 FIVB ලෝක ලීගය – රිදී පදක්කම
2013 නෝර්සෙකා ශූරතාවය – රන් පදක්කම
2014 FIVB ලෝක ලීගය – රන් පදක්කම
2015 FIVB ලෝක ලීගය – ලෝකඩ පදක්කම
2015 FIVB ලෝක කුසලානය – රන් පදක්කම
2016 ඔලිම්පික් ක්‍රීඩා – ලෝකඩ පදක්කම
2017 නෝර්සෙකා ශූරතාවය – රන් පදක්කම
2018 FIVB නේෂන්ස් ලීග් – ලෝකඩ පදක්කම
2018 FIVB ලෝක ශූරතාවය – ලෝකඩ පදක්කම
2019 FIVB නේෂන්ස් ලීග් – රිදී පදක්කම
2019 FIVB ලෝක කුසලානය – ලෝකඩ පදක්කම

ජාතික ශූරතා
2008/2009 දකුණු කොරියානු ශූරතාවලිය – හුන්ඩායි කැපිටල් ස්කයිවෝකර්ස් සමඟ රිදී පදක්කම
2012/2013 රුසියානු සුපර් කප් – සෙනිට් කසාන් සමඟ රන් පදක්කම
2012/2013 රුසියානු ශූරතාවය – සෙනිට් කසාන් සමඟ ලෝකඩ පදක්කම
2013/2014 රුසියානු ශූරතාවය – සෙනිට් කසාන් සමඟ රන් පදක්කම
2015/2016 රුසියානු සුපර් කප් – සෙනිට් කසාන් සමඟ රන් පදක්කම
2015/2016 රුසියානු කුසලානය – සෙනිට් කසාන් සමඟ රන් පදක්කම
2015/2016 රුසියානු ශූරතාවය – සෙනිට් කසාන් සමඟ රන් පදක්කම
2016/2017 රුසියානු සුපර් කප් – සෙනිට් කසාන් සමඟ රන් පදක්කම
2016/2017 රුසියානු කුසලානය – සෙනිට් කසාන් සමඟ රන් පදක්කම
2016/2017 රුසියානු ශූරතාවය – සෙනිට් කසාන් සමඟ රන් පදක්කම
2017/2018 රුසියානු සුපර් කප් – සෙනිට් කසාන් සමඟ රන් පදක්කම
2017/2018 රුසියානු කුසලානය – සෙනිට් කසාන් සමඟ රන් පදක්කම

FIVB Club ලෝක ශූරතාවය
Betim 2015 – රිදී පදක්කම – සෙනිට් කසාන් සමඟ
Betim 2016 – රිදී පදක්කම – සෙනිට් කසාන් සමඟ
Poland 2017 – රන් පදක්කම – සෙනිට් කසාන් සමඟ

තනි ජයග්‍රහණ
2008 MIVA සමස්ත ශූරතා කණ්ඩායම
2008 NCAA අංශය – වටිනාම ක්‍රීඩකයා
2012 වසරේ ක්‍රීඩකයා – ඇමරිකා එක්සත් ජනපදය
2013 වසරේ ක්‍රීඩකයා – ඇමරිකා එක්සත් ජනපදය
2013 නෝර්සෙකා ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා, හොඳම පිටත ප්‍රහාරකයා
2014 රුසියානු ලීගය – වටිනාම ක්‍රීඩකයා
2014 වසරේ ක්‍රීඩකයා – ඇමරිකා එක්සත් ජනපදය
2015 FIVB ලෝක කුසලානය – වටිනාම ක්‍රීඩකයා
2015 වසරේ ක්‍රීඩකයා – ඇමරිකා එක්සත් ජනපදය
2017 රුසියානු ලීගය – අවසන් හය දෙනාගේ හොඳම ඉදිරිපස ක්‍රීඩකයා
2017 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – හොඳම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
2018 FIVB නේෂන්ස් ලීගය – හොඳම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
2018 FIVB ලෝක ශූරතාවය – හොඳම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
2019 FIVB නේෂන්ස් ලීගය – හොඳම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
2019 FIVB නේෂන්ස් ලීගය – වටිනාම ක්‍රීඩකයා

Image Credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<