කාසියේ වාසිය අවාසියට හැරුණු හැටි

ලෝක කුසලානයේ නෑසූ කතා (21)

337

දිනය 2003 මාර්තු 23 වෙනිදාය. ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරගා බලන්නට ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින්, ඉන්දීය නායක සව්රව් ගංගුලි සමඟින් තරග තීරක රංජන් මඩුගල්ලේ ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් පිටිය මැදය. 

තරගය නැරඹීමට ජොහැන්ස්බර්ග් වෙත පැමිණ සිටි ඉන්දීය ප්‍රේක්ෂකයින් අමන්දා නන්දයට පත් කරමින් ඉන්දීය නායකයා කාසියේ වාසිය දිනා ගත්තේය. පිටියේ තිබූ තත්වය අනුව මුලින්ම පන්දුවට පහර දීම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබුණි.

ලෝක කුසලාන ඉතිහාසයේ අමතක කළ නොහැකි ප්‍රින්ගල්වරු

1975 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලියේ දී නැගෙනහිර …..

“සව්රව් ඔබ කුමක්ද කරන්නේ?” කොදෙව් දේශයෙන් පැමිණි මයිකල් හෝල්ඩිං මයික්‍රෆෝනය ඉන්දීය නායකයා වෙත දිගු කළේය.

“අපි මුලින්ම පන්දු යවන්න තීරණය කළා” ඉන්දීය ප්‍රේක්ෂකයින් ඇතුළු ඉන්දියාවට සහයෝගය දෙන්නන් ඔළුවේ අතගසා ගනිද්දී ගංගුලි පිළිතුරු දුන්නේය. 

“ඒ කුමන කාරණයක් නිසා ද?” නැවතත් හෝල්ඩිං ප්‍රශ්න කළේය. 

තණතීරුව තරමක් තෙතබරිතයි. උදේ යම් වර්ෂාවකුත් ඇති වුනා. මම හිතනවා මුලින් පන්දුවට පහර දීම ඕස්ට්‍රේලියානුවන්ට බාර කළොත් හොඳයි කියා” ගංගුලි පිළිතුරු දුන්නේය.

කණ්ඩායම් දෙක අතර මූලික වටයේ තරගයෙන් ඉතාම පහසු කඩුලු නමයක ජයක් ලබන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. එම තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දියානුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 125ක් පමණි. එම පරාජය ඉන්දියානු නායකයාගේ හිතේ හොල්මන් නොකළාම නොවේ.

“ඔබ හිතනවා ද මේ තණතීරුවෙන් මේ තිබෙන කාලගුණ තත්වයෙන් ඔබේ වේගපන්දු යවන්නන්ට සහයෝගයක් ලැබෙයි කියා. එමගින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු කිහිපයක් ඉක්මනින් දවා ගැනීමට ලැබෙයි කියා?” හෝල්ඩිංගෙන් ප්‍රශ්න වැලකි.

“අනිවාර්යයෙන්ම. අපිට පන්දුව හරි තැන පතිත කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කඩුලු ලැබෙනවා” ඉන්දීය නායකයා මහත් උජාරුවෙන් පැවසිවේය.

බොහෝ විචාරකයින්ට අනුව ඉන්දියානු කණ්ඩායමට තිබුණේ මුලින් පන්දුවට පහර දීමටය. නමුත් ඉන්දීය නායකයාට අතට ගත් දෙය කටට හලාගන්නට පිනක් තිබුණේ නැත.

“රිකී ඔබ මොකද කරන්නේ කාසියේ වාසිය දිනුව නම්. මීට වඩා වෙනසක් කරන්න හිතනව ද?” නැවත හෝල්ඩිංය.

“නෑ. අපි අනිවාර්යයෙන්ම මුලින් පන්දුවට පහර දෙනවා. හොඳ තණතීරුවක්. මේ වගේ අවසන් මහා තරගවල මුලින් පන්දුවට පහර දෙන එක කොහොමත් හොඳයි” 

තම සිත තුළ නළියන සතුටු හැඟීම් සියල්ල පිටට නොපෙන්වා රිකී පොන්ටින් පිළිතුරු දුන්නේය.

නමුත් එදා ජොහැන්ස්බර්ග් නුවර දී ඉන්දීය නායකයා බලාපොරොත්තු වූ දෙය ඉටු වූයේ නැත. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඉන්දියානු වේගපන්දු යවන්නන්ට මදි නොකියන්නට බැට දුන්නේය.

අනතුරුව පිටියේ එක්වූ ඩේමියන් මාටින් සහ නායක රිකී පොන්ටින් ලකුණු 359ක් දක්වා ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහල දමන්නට සමත් විය. පන්දුවාර පනහ තුළ දී ඉන්දියානුවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු දෙකක් පමණි. ඉන්දීය වේගපන්දු යවන්නන් තිදෙනා වන සහීර් ඛාන්, ජවගල් ශ්‍රීනාත් සහ අශීශ් නෙහ්රා ක්‍රියාත්මක කළ පන්දුවාර 27ට ඕස්ට්‍රේලියානුවන් ලකුණු 211ක් උදුරාගෙන තිබුණි.

ඕස්ට්‍රේලියානුවන් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹාගිය ඉන්දියානු පිතිකරුවන් කිසිම ආකාරයකින් සාර්ථක වන ආකාරයක් පෙනුණේ නැත. විරේන්ද්‍ර ශෙවාග් හැරුණු කොට සෙසු පිතිකරුවන් ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේ අසරණ වීම නිසා පන්දුවාර 39.2ක දී  සියල්ලන්ම දැවී ඉන්දියාවට ලබාගත හැකි වූයේ ලකුණු 234ක් පමණි.

පිට පිට දෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියානුවන් ලෝක කුසලානය සියතට ගනිද්දී සව්රව් ගංගුලි ගත් වැරදි තීරණය ගැන ඔහුට එල්ල වූ විවේචන නිමාවක් නොවීය.


ගාන්ධිතුමා සොයා ගිය ඉන්දියානුවෝ.

2003 වසරේ අප්‍රිකානු මහද්වීපයේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඉන්දීය කණ්ඩායම එක්තරා සුවිශේෂී ස්ථානයකට ගියේය.

1893 වසරේ මහත්මා ගාන්ධිතුමා දුම්රියකින් ගමන් කරමින් සිටිය දී දුම්රියෙන් ඉවත දමන ලද්දේ මේ ස්ථානයේ දී ය. 

එවර ලෝක කුසලානයේ නැමීබියාව සමඟ B කාණ්ඩයේ තරඟයක් පැවැත්වුණේ පීටර්මරිට්ස්බර්ග්හීදීය. මහත්මා ගාන්ධිතුමා සුදු ජාතිකයින්ට පමණක් සීමා කොට තිබූ දුම්රිය මැදිරියක ගමන් කරමින් සිටිය දී ඉන් පිටතට ඇද දමන්නේ පීටර්මරිට්ස්බර්ග් දුම්රිය ස්ථානයේ දී ය. ගාන්ධිතුමා ඒ වන විට තරුණ නීතිවේදියෙකු ලෙස දකුණු අප්‍රිකාවේ සේවය කරමින් සිටියේය. මෙම සිදුවීම ඉන්දීය නිදහස් සටනේ එක් සුවිශේෂීම සංධිස්ථානයකි.

එලෙස ගිය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අසල තිබූ පෙන්ට්‍රිච් නම් දුම්රිය ස්ථානයේ සිට පීටර්මරිට්ස්බර්ග් දක්වා විනාඩි දහයක දුම්රිය ගමනක යෙදුණේය. එදා ගාන්ධිතුමා ගමන් කරමින් සිටි දුම්රිය මැදිරිය ඒ වන විට ගාන්ධිතුමා අනුස්මරණය කරමින් ධාවනයේ යෙදේ.

“අපි සෑහෙන කියවල තියෙනවා පතපොතින් ගාන්ධිතුමාගේ සිදුවීම සහ පීටර්මරිට්ස්බර්ග් ගැන. ඒත් දැන් ඉතිහාසය අපි ඉදිරියේ පෙනෙන්නට තිබෙනවා. අපි සෑහෙන උද්දාමයට පත්වෙලා ඉන්නේ” ඉන්දීය කණ්ඩායමේ නායක සව්රව් ගංගුලි පැවසුවේය.

“මෙය ඉතිහාසය හරහා අතීතයට ගමන් කිරීමක්. අපි සියලුම දෙනා උද්දාමයට පත්වෙලා ඉන්නේ.” ඉන්දීය කණ්ඩායමේ උපනායක රාහුල් ඩ්‍රාවිඩ් ද ගමනට එක්වූයේ බොහෝ කැමැත්තකින්ය.

කවදත් කැමරාවට පෙම් කරන අනිල් කුම්බ්ලේ හාත්පස ඡායාරූපයට නගමින් සිටියේය. ඉන්දියානු ඉතිහාසයේ සුවිශේෂී තැනකට පැමිණි අවස්ථාවේ ඔහු සෑහෙන ප්‍රීතියකට පත්ව සිටියේය.

ඉන්දීය කණ්ඩායමේ බොහෝමයක් මේ ගමනට සහභාගී වූ නම් සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට මේ ගමනට එක්වන්න්ට ලැබුණේ නැත. සචින් තෙන්ඩුල්කාර්ට මෙම ගමනට එක්වීමට නොහැකි වූයේ ඔහු තමාගේ අතට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙකු වෙන් කර තිබූ බැවිනි.

“වෛද්‍යවරයාට ලබා දිය හැකිව තිබුණේ මේ වෙලාව පමණයි. ඒ නිසා සචින්ට එන්න ලැබුණේ නැහැ. ඔහුගේ ආබාධය කිසිම ආකාරයකින් දරුණු එකක් නොවෙයි. හෙට දිනයේ ඔහු යළිත් පුහුණුවීම් අරඹනවා.” ඉන්දීය කණ්ඩායමේ මාධ්‍ය කළමනාකාරවරයා අම්රිත් මතූර් මහතා කීවේය.

මෙම ඉතිහාසගත අවස්ථාවට දකුණු අප්‍රිකානු තානාපති කාර්‍ය්ලයේ කමල් කුමාර්, පීටර්මරිට්ස්බර්ග් නගරයේ නගරාධිපති ලොනී සොන්ඩි යන පුද්ගලයින් මෙන්ම සිය ගණනක් ඡායාරූප ශිල්පීන් ද එක්වී සිටියහ. 

මේ අවස්ථාවට ඉහත කී පුද්ගලයින්ට අමතරව තවත් එක්තරා සුවිශේෂී කාන්තාවක් ද එක්ව සිටියාය. ඒ මහත්මා ගාන්ධිතුමාගේ පුත්‍රයා මනිලාල් ගාන්ධිගේ දියණිය ඉලා ගාන්ධිය.

“මෙහි ගාන්ධි ආශ්‍රමයක් තිබෙනවා. ගොඩක් පිරිස් මෙය නරඹන්නටත් එනවා. නමුත් ආර්ථික වශයෙන් ඔවුන් තරමක අපහසුතාවයකට පත්ව සිටින්නේ. එන සංචාරයින්ගෙන් එතරම් ආධාර ලැබෙන්නේ නැහැ” ගාන්ධිතුමාගේ මිණිබිරිය පැවසුවාය.

තම ඓතිහාසික සංචාරය නිමා කරමින් ඉන්දීය කණ්ඩායම ගාන්ධිතුමාගේ පිළිරුව අසලට පැමිණ ඡායාරූප ගැනීමටත් අමතක කළේ නැත. 

ඉන්පසුව ඉන්දියානුවන් ප්‍රදේශයේ අඩු පහසුකම් ලාභී දරුවන් කිහිප දෙනෙකුට පුහුණු සැසියකට ද සහභාගි විය.

“මේ ආකාරයෙන් සමාජයට නැවතත් දෙයක් දෙන්නට පුළුවන් නම් වටිනවා. කිසිම පහසුකමක් නැති ක්‍රිකට් ක්‍රීඩාවට හිතැති දරුවන් 400කට වැඩි ප්‍රමාණයක් මේ අවස්ථාවට පැමිණ සිටියා. ඔවුන්ට මේ ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරු දැකගන්න ලැබෙන්නේ කලාතුරකින්” අම්රිත් මතූර් මහතා පැවසුවේය.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<