සවිඳු සහ සිතුකගේ දඟ කැවීමෙන් ඉසිපතනයට ජය මාවතක් විවර වෙයි

103

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක සවිඳු උත්සර (10/53) සහ සිතුක ගුණවර්ධන දැක්වූ දක්ෂතාවයන් නිසා සිංගර් පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14) පැවති තරග දෙකෙන් එක් තරගයක් ජය ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. එහි දී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයයි.

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (13) දිනයේ දී සාන්ත බෙනඩික්ට් පිටියේ දී ආරම්භ වූ මේ තරගය අද දිනයේ දී නිමා වූයේ ඉසිපතන විද්‍යාලයට කඩුලු 10ක ජයක් හිමිකර දෙමිනි.

කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලයේ ඇරයුමින් පළමුව පන්දුවට සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 141ක් වාර්තා කරගත්තේය. එහි දී පසන් සුවහස් සහ සනෝජ් පෙරේරා ලබා ගත් ලකුණු නොවන්නට සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම ඉතාමත් අවම ලකුණු මට්ටමකට සීමා කරගැනීමට ඉසිපතනයට අවස්ථාව තිබුණි. 

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක සවිඳු උත්සර සහ සිතුක ගුණවර්ධන පිළිවෙළින් කඩුලු 6ක් සහ කඩුලු 3ක් දවා ගනිමින් ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූ අතර සාන්ත බෙනඩික්ට් පළමු ඉනිමට පිළිතුරු ලෙස ඔවුන් සියල්ලන්ම දැවී වාර්තා කරගත්තේ ලකුණු 135ක් පමණි. ඒ අනුව තරගයේ පළමු ඉනිමේ වාසිය හිමි වූයේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයටයි. 

අනතුරුව තරගය පිළිබඳව සිය බලාපොරොත්තු අත්නොහැරගත් ඉසිපතන ක්‍රීඩකයෝ බෙනඩික්ට් දෙවන ඉනිම ලකුණු 43කට සීමා කළ අතර එහිදීද දස්කම් දැක්වූයේ පළමු ඉනිම තුල පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ සිතුක සහ සවිඳු යන දෙදෙනා වීම සුවිශේෂී වේ. ඒ අනුව සවිඳු සහ සිතුක යන දෙදෙනා මේ තරගය පුරාවට පිළිවෙළින් කඩුලු 10ක් සහ කඩුලු 8ක් දවා ගන්නා ලදි.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ඉසිපතන විද්‍යාලයට හිමි වූ ඉලක්කය ලකුණු 49කි. නමුත් ඒ වන විට දෙවන දිනය අවසන් වීම සඳහා තවත් පන්දුවාර කිහිපයක් පමණක් ඉතිරිව තිබූ නිසා වැඩි ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගනිමින් එම ඉලක්කය හඹා යෑමට ඉසිපතන පිතිකරුවන් හට සිදු විය. 

ඔවුන්ට ලැබුණු එම අභියෝගය ඉතාමත් හොඳින් ඉටු කළ ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය කිසිඳු කඩුල්ලක් නොදැවී පන්දුවාර 3කුත් පන්දු 2ක් පමණක් වැය කරමින් මේ ඉලක්කය සපුරා ගන්නා ලදි.  එහි දී තෙවිඳු දික්වැල්ල නොදැවී ලකුණු 29*ක් ලබා ගත්තේය. 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 141 (55.4): පසන් සුවහස් 30, සනෝජ් පෙරේරා 28, සවිඳු උත්සර 6/40, සිතුක ගුණවර්ධන 3/31 සහ 42 (28.3): සිතුක ගුණවර්ධන 5/19, සවිඳු උත්සර 4/13.

ඉසිපතන විද්‍යාලය – 135 (69.2): තෙවිඳු දික්වැල්ල 34, සවිඳු උත්සර 22, කවිඳු ආමන්ත 20, මලින්ද පෙරේරා 4/29,හසිඳු කවිරත්න 2/17, අශේන් මදුසංක 2/20, ඔනිල පතිරණ 2/39 සහ 49/0 (3.2): තෙවිඳු දික්වැල්ල 29*.

ඉසිපතන විද්‍යාලයට කඩුලු 10ක ජයක්

කොළඹ ආනන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් වූ මේ තරගය කොළඹ ආනන්ද විදුහල් පිටියේ දී ක්‍රියාත්මක වූ  අතර කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

ධර්මාශෝක විද්‍යාලය  – 237 (57): හසිත රාජපක්ෂ 51, සනුල ගුණරත්න 44, සචිඳු මල්ෂාන්  42, ඉසුරු අයේෂ් 3/54, දසුන් තාරුක 2/39, දෙනෙත් නිස්සංක 2/60.

ආනන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 116/3 (21): කනිෂ්ක රන්තිලකගේ 54, අනුග ජයවීර 37*

පළමු දිනයට පැවති මේ තරගය හෙට (15) දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<