රාජකීය බල සිඳලූ සාන්ත තෝමස් විද්‍යාලයට ජයග්‍රහණයක්

1339

ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට නව මුහුණුවරක් එක් කරමින් වයස අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයක මිහිර විඳ ගැනීමට ඊයේ (16) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේත්, කොළඹ රාජකීය විද්‍යාලයේත් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා විය. එක් පිළකට පන්දුවාර 25 බැගින් හිමි වුන මෙම උණුසුම් තරගය අවසානයේ ජය ගත්තේ සත්කාරක සාන්ත තෝමස්  විද්‍යාලයයි.

 ගාලු පිටිය වසර 17කට පසුව එක්දින තරගයකට සූදානමින්

බොහෝ විට දෙදින ක්‍රිකට් තරග ක්‍රීඩා කරන මෙම පාසල් දෙක ඊයේ හමුවන්නේ වෙනස්ම තරග රටාවක දී උරෙනුර ගැටීමේ අරමුණෙනි. එහි දී උරගා බැලුණු කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූයේ රාජකීය විද්‍යාලයේ නායක කවිඳු චතුරංගයි. ඒ අනුව සත්කාරක තෝමස් විද්‍යාලයට මුලින් පන්දුවට පහර දීමට ඉඩකඩ සලසා දෙමින් ඔවුන්ව අඩු ලකුණු ගණනකට සීමා කර ගැනීමට ඔහු තීරණය කළේය. ඒ අනුව තෝමස් විද්‍යාලයීය ප්‍රේක්ෂකයින්ගේ ජය ඝෝෂාව මැද ඉනිම ආරම්භ කරන්නේ මොහොමඩ් ඉෂාක් සහ ශලීන් ද මෙල් විසිනි.

තරමක් කෙටි තරගයක් වුවද අනවශ්‍ය ලෙස ප්‍රහාරය දැඩි කිරීමට උත්සාහ නොගත් මොවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 25ක් එක් කළහ. හරිඳු පළිහවඩනගේ පන්දුවක් හමුවේ ශලීන් දැවී යන විට ඔහු ලකුණු 12ක් රැස් කරගෙන සිටියේය. ඉන් අනතුරුව තෝමස් විද්‍යාලයේ ලකුණු පුවරුව ඉහළ දැමීමට ඉෂාක් සමඟ එක්වූ සිතාර හපුහින්න දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක් රැස් කිරීමට සමත් විය. ඒ අතරතුර මොහොමඩ් ඉෂාක් හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 31ක් රැස්කර ගත්තේය. ඒ පන්දු 52ක් වැය කරමිනි.

සාන්ත තෝමස් විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු සිතාර හපුහින්න ලකුණු 39ක් රැස් කළේය. පන්දු 37ක් පමණක් වැයවුණු ඔහුගේ ඉනිමට මනරම් හතරේ පහර 4ක් ද ඇතුළත් විය. ඔහුගේ අවස්ථානුකූල ඉනිම නිසාවෙන් ඉනිමේ මුල්ම ලකුණු 50 ලබා ගැනීමට පන්දුවාර 12යි එක් පන්දුවක් වැය කළ තෝමස් පිතිකරුවන්ට පන්දුවාර 18ක් වන විට ලකුණු 100 ලබා ගැනීමට හැකි විය. කෙසේ වෙතත් කෞෂාන් කමලසූරිය සහ බිසඳු රණසිංහ සාර්ථක වීමත් සමඟ තෝමස් මැදපෙළ ඉක්මනින්ම බිඳ වැටුණි.

එහි දී මනීෂ රූපසිංහ ලකුණු 14ක් ද, නායක ඩෙලෝන් පීරිස් ලකුණු 11ක් ද වාර්තා කර ගත්තේය. පන්දු යැවීමේ දී කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු කෞෂාන් කමලසූරිය ලකුණු 24කට කඩුලු 3ක් බිඳ හෙලීය. මීට අමතරව බිසඳු රණසිංහ ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්තේය. ඒ අනුව නියමිත පන්දුවාර 25 අවසානයේ තෝමස් විද්‍යාලය රැස්කර ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 145ක් පමණි.

ආරම්භයේ දී පන්දුවාරයකට ලකුණු 5.8ක වේගයක් පමණක් අවශ්‍ය වූ නිසා රාජකීය විද්‍යාලයේ පිතිකරුවන් ජයග්‍රහණය වෙනුවෙන් දැඩි සටනක් ලබා දෙනු ඇතැයි තරගය නැරඹූ බොහෝ ප්‍රේක්ෂකයින්ගේ විශ්වාසය බවට පත්විය. නමුත් දෙවැනි ඉනිම ඇරඹුණු මොහොතේ පටන්ම තමන්ට හුරුපුරුදු තණතිල්ලේ සහය ද මැනවින් භාවිතා කළ සාන්ත තෝමස් විද්‍යාලයීය පන්දු යවන්නන් ජයග්‍රහණයට ලකුණු 23ක් මෙපිටින් රාජකීය විදුහල් ඉනිම සීමා කිරීමට සමත්කම් දැක්වූහ.

මීට සති කිහිපයකට පෙර දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලයට එරෙහිව සුවිශේෂී පන්දු යැවීමක නිරත වෙමින් ඉනිමක කඩුලු 10ම දවා ගත් වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා ඊයේ දිනයේ දී ද සුපිරි දක්ෂතා අතරට පිවිසීමට සමත් විය. ඒ ලකුණු 23කට රාජකීය පිතිකරුවන් සය දෙනෙකුම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවමිනි. තවමත් නව යොවුන් වියේ පසුවන මෙම ක්‍රීඩකයාගෙන් තවත් වසර කිහිපයක්ම සාන්ත තෝමස් විද්‍යාලයට ප්‍රයෝජන ගත හැකි අයුරින්ම දිනක ජාත්‍යන්තරය ජය ගන්නා විශිෂ්ට ක්‍රීඩකයෙකු ද ශ්‍රී ලංකා පිළට එක්වීමට ඉඩ ඇත.

ඉනිමේ ආරම්භයත්, අවසානයත් බිඳ වැටීම නිසා අසරණ වුනු රාජකීය ඉනිම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළේ නායක කවිඳු චතුරංග පමණි. ඔහු පන්දු 46ක දී ලකුණු 55ක් රැස් කරමින් තම විද්‍යාලය ජයග්‍රහණය කරා ගෙන යන්නට ප්‍රබල උත්සාහයක් දැරීය. ඔහුගේ ඉනිමට දර්ශනීය හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. කෙසේ වෙතත් රාජකීය විදුහල් ඉනිම නිමා වීමට තවත් පන්දු 11ක් ඉතිරිව තිබිය දී ඔවුන් ලකුණු 122කට දැවී යාමත් සමඟම සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 23ක ජයක් හිමි විය. ඒ තම විදුහල් ක්‍රීඩා පිටියට එක් රැස්වුණු සිය ගණනක ප්‍රේක්ෂකයින්ගේ ජය ඝෝෂාව මධ්‍යයේයි.

සාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 145 (පන්දුවාර 25): සිතාර හපුහින්න 39, මොහොමඩ් ඉෂාක් 31, මනීෂ රූපසිංහ 14, ශලීන් ද මෙල් 12, කෞෂාන් කමලසූරිය 3/24, බිසඳු රණසිංහ 2/16.

රාජකීය විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 122 (පන්දුවාර 23.1): කවිඳු චතුරංග 55, මතීෂ අමරසිංහ 18, අහන් සංචිත 16, තෙවිඳු සේනාරත්න 14, කළණ පෙරේරා 6/23, තෙවින් ඊරියගම 2/22.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට