මරණ දැන්වීමක් නිසා බිහි වූ අළුබඳුනේ මෙවර අයිතිය කාටද?

486
©The Telegraph

“ටෙස්ට් ක්‍රිකට් කියා දෙයක් තිබෙනවා. ඊට පසුව අළුබඳුන ක්‍රිකට් ක්‍රීඩාව කියා දෙයක් තිබෙනවා. ඒ දෙක එකිනෙකට වෙනස්”

2019 එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත අළුබඳුන තරගාවලියට පෙර හිටපු එංගලන්ත නායක ඇන්ඩෲ ස්ට්‍රාවුස් කියන්නේ එහෙමය. ස්ට්‍රාවුස් යනු එංගලන්තයේ දී මෙන්ම ඕස්ට්‍රේලියාවේදීත් අළුබඳුන තරගාවලිය ජය ගත් එංගලන්ත නායකයින් තිදෙනාගෙන් කෙනෙකි. එබැවින් ස්ට්‍රාවුස් කියන්නේ කුමක්ද කියා ඔහු හොඳින්ම දනී.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය වැදගත්කමක් උසුලන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන තරගාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවේ හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.

රෝහිත් – කෝලි ගැටුම ගැන කෝලි කට අරී

ඉන්දීය නායක විරාත් කෝලි හා ආරම්භක පිතිකරු ……

එංගලන්ත නායක ජෝ රූට්, ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් මෙන්ම සියලුම එංගලන්ත සහ ඕස්ට්‍රේලියානුවන්ගේ ඉදිරි සති හතේ ජීවිතය ගෙවෙනු ඇත්තේ අළුබඳුන තරගාවලිය සමඟිනි. නිදි වර්ජිත රාත්‍රියන් ගත කිරීමට, නිමා නොවන සැලසුම් සකස් කිරීමට මෙන්ම නිරන්තරයෙන් ප්‍රතිවාදියා පහත හෙලන්නට ඔවුන් එළඹෙන සති කිහිපයේ පසුබට වන්නේ නැත. අළුබඳුන තරගාවලිය පිත්තත් පන්දුවත් අතර සටනක් කියා යමෙකු සිතයි නම් එය මුලාවකි. වචනයකින් පවා ප්‍රතිවාදියා පීඩනයට පත් කරන්නට ඔවුන් සූදානම්ය.

1882 වසරේ එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී එංගලන්ත කණ්ඩායම ලද පරාජයත් සමඟ The Sporting Times පුවත්පතේ පළවූ මරණ දැන්වීම නිසා බිහි වූ අළුබඳුන තරගාවලිය දෙස ලොව පුරා ක්‍රිකට්ලෝලීන් බලා සිටින්නේ ද දැඩි අවධානයකිනි. 

©ESPN Cricinfo

1882/83 තරගවාරයේ ඕස්ට්‍රේලියාවේ දී ඇරඹි අළුබඳුන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ හැත්තෑ එක්වෙනි වතාවටය. ඉන් තරගවාර තිස් තුනක ජය ඕස්ට්‍රේලියාවටත් තරගවාර තිස්දෙකක ජය එංගලන්තයටත් හිමිවී තිබේ. තරගවාර පහක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

මෙතෙක් අළුබඳුන තරගාවලියේ තරග 330ක් පැවැත්වුන අතර ඉන් තරග 134ක ජය ඕස්ට්‍රේලියාවටත්, තරග 106ක ජය එංගලන්තයටත් හිමිව තිබේ. තරග අනූවක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

අළුබඳුන ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානුවෙකි. ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තරග 37ක දී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 5028කි. එංගලන්තය කණ්ඩායම පැත්තෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශ්‍රිමත් ජැක් හොබ්ස් විසිනි. ලෙන් හටන් 1938 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ලකුණු 364 අළුබඳුන ඉතිහාසයේ හොඳම තනි ඉනිම ලෙස සැලකේ.

©ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් | India Today

තරග 36ක දී කඩුලු 195ක් දවා ගත් ෂේන් වෝන් අළුබඳුන තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන අතර ඉයන් බෝතම් එංගලන්තය වෙනුවෙන් තරග 32ක දී කඩුලු 128ක් දවා ගෙන තිබේ.

අළුබඳුන ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරගෙන ඇත්තේ එංගලන්තයේ ජිම් ලේකර් විසිනි. 1956 වසරේ මැන්චෙස්ටර්’හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී ලේකර් ලකුණු 53කට කඩුලු 10ක් දවාගත්තේය. එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස සටහන් වී තිබේ. එම තරගය පුරාවටම ලේකර් කඩුලු 19ක් දවා ගත් අතර එය ද ලෝක වාර්තාවක් ලෙස සනිටුහන් වේ.

2019 අළුබඳුන තරගාවලිය කරට කර සටනක් ලෙස සැලකෙන්නේ කණ්ඩායම් දෙකම ඉතාම සමබර තත්වයෙන් සිටින බැවිනි. එමෙන්ම 2019 ලෝක කුසලානය එංගලන්තයේ දී පැවැත්වුණ නිසා මෙවර අළුබඳුන තරගාවලිය ඇරඹුණේ මදක් පමා වෙලාය.

හැම වසරේම තරගාවලිය පවත්වන රට ඉදිරියෙන් සිටියත් මෙවර එය වෙනස් වනු ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වන ග්ලේන් මැක්ග්‍රාත් පවසයි. එමෙන්ම කණ්ඩායම් දෙකම කරට කර සිටින බව මැක්ග්‍රාත් පවසයි.

9ෂේන් වෝන් | ESPN Cricinfo

අළුබඳුන ඉතිහාසයේ අමතක කළ නොහැකි චරිතයක් වන හිටපු ඕස්ට්‍රේලියානු  නායක ස්ටීව් වෝ පවසන්නේ කණ්ඩායම් දෙකටම ජයග්‍රහණය වෙනුවෙන් 50-50 අවස්ථාවක් ඇති බවයි.  

2005 අමරණීය අළුබඳුන තරගාවලියට නායකත්වය දුන් හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් පවසන්නේ මෙවර අළුබඳුන තරගාවලිය තීරණය වන්නේ ජෝ රූට්ගේ සහ ස්ටීව් ස්මිත්ගේ දස්කම් අනුව බවයි. තරගාවලිය 3-2ක් ලෙස අවසන් වනු ඇති බවත් ජයග්‍රාහකයා කවරෙක්ද කියා පැවසිය නොහැකි බවත් වෝන් තවදුරටත්  ප්‍රකාශ කළේය.

මෑතක දී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් හිටපු එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් පවසන්නේ නම් මෙවර අළුබඳුන 3-2ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජය ගනු ඇති බවයි.

එකී මෙකී නොකී අනාවැකි කුමන ආකාර වුනත් ඉදිරි සති හතක කාලය තුළ අතිශය උද්වේගකර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට ලොව පුරා ක්‍රීඩාලෝලී සැමට ඉඩ සැලසෙන බවට නම් සැකයක් නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<