දිනක් නැති මේසපන්දු නිලවරණය

114
Table Tennis Election has been postponed report

ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන අතර මෙම නිලවරණය අද (26) දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිතව තිබුණි.

ශූරතාවය ඉන්දියාවට; ශ්‍රී ලංකාවට අනුශූරතාවය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු…

එම සංගමයේ විගණන වාර්තා අනුමැතිය සඳහා පුද්ගලික ආයතනයකට ඉදිරිපත් කළ අතර 25 වැනිදා වන විටත් එම විගණන වාර්තා ආපසු නොලැබීම හේතුවෙන් නිලවරණය කල් දැමූ බව සංගමය සඳහන් කර සිටියි.

එම පෞද්ගලික සමාගමෙන් විගණන වාර්තා අනුමත වීමෙන් පසු රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද ඊට විගණකාධිපතිවරයාගේ අනුමැතිය ද ලබා ගත් පසු නිලවරණය පැවැත්වීම සඳහා දිනයක් යොදා ගන්නා බව ද ලේකම් කසුන් උදාර මහතා සඳහන් කළේය.

‘අප සංගමයේ භාණ්ඩාගාරික තුමන් නියමිත වේලාවට මේ විගණන වාර්තා භාර දුන්නා. ඒත්  පෞද්ගලික සමාගමෙන් අනුමත කරලා තවම ඒවා අපිට නොලැබුණු නිසා අද (26) පැවැත්වීමට නියමිත වූ නිලවරණය කල් දැමීමට සිදු වුනා. එම අනුමැතිය ලැබුණු විගසම ඉක්මනින්ම දිනයක් යොදා ගන්නවා නිලවරණය පවත්වන්න. ඒ වගේම මේ මාසේ 30 වැනිදාට කලින් නිලවරණය පැවැත්වීමට නොහැකි බවත් මේස පන්දු සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දීමක් කළා. ඒ විතරක් නෙමෙයි මැයි 07 වැනිදා නාමයෝජනා විවෘත කළ අවස්ථාවට ක්‍රීඩා සංගම් සියල්ලටම අපි ආරාධනා කළත් ඒ සඳහා සහභාගී වුනේ ක්‍රීඩා සංගම් 6ක් 7ක් වගේ ප්‍රමාණයක්” යැයි සංගමයේ ලේකම් කසුන් උදාර මහතා ThePapare.com සමඟින් කියා සිටියේය.

මේ වන විට මේස පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිත්වය දරණු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහත‍ාය. ඔහු ගියවර පැවති නිලවරණයේ දී ඡන්ද 32න් 30ක් ලබා ගැනීමට සමත් විය.

එතුමන් මෙවර ද සභාපතිත්වය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා නිල නොවන වශයෙන් විරෝධතාවයක් එල්ල වී ඇති බවට ද ආරංචියක් තිබෙන බවයි කනක හේරත් මැතිතුමන් ThePapare.com කළ විමසීමක දී පවසා සිටියේය.

“මගේ නාමයෝජනාවට නිල නොවන ආකාරයෙන් විරෝධතාවයක් එල්ල වී ඇති බවට රාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් නාමයෝජනා ඉදිරිපත් කළ දිනයේම විරෝධතා දැක්වීමට පැයක වගේ කාලයක් ලබා දුන්නා. ඒ කාලය තුළ එවැනි විරෝධතාවයක් එල්ල වුනෙත් නැහැ. ඒ නිසා කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපි සියලුම ක්‍රීඩා සංගම් වලට ලිඛිතව දැනුම් දුන්නා විරෝධතාවයක් තිබේ නම් මේ මස 29 වැනිදා වන විට යොමු කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි විගණන වාර්තා අනුමැතිය ලැබුණු සැණින් දින 14ක් ඇතුළත අපි නිලවරණය පවත්වා අවසන් කරනවා“    ‘

මේ වන විට ඉදිරිපත් වී ඇති නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම සඳහා මේ මස 29 වැනිදා දක්වා කාලය ලබා දීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබේ. මෙවර නිලවරණයේ දී කනක හේරත් මහතා සමඟින් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස තරග කරනුයේ හිටපු සභාපතිවරයෙකු වන දයා සමරවීර මහතාය.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට