“මගේ ජීවිතයේ සිදු වූ හොඳම දෙය, ඇයව හමුවීමයි” – සුවාරෙස්

350
Courtesy- UPI.com

පාපන්දු රසිකයන්ට නම් “සුවාරෙස්” කියන නම එතරම් ආගන්තුක නමක් නෙවෙයි. ඔහු පාපන්දු ලොවේ දැක්වූ දක්ෂතා නිසාම මේ වන විට ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ මුල් 10 දෙනා අතරත් සිටිනවා.

වර්තමානයේ ඔහු උරුගුවේ (Uruguay) ජාතික පාපන්දු කණ්ඩායම සහ Barcelona ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පාපන්දු ක්‍රීඩාවේ නියැලෙනවා. නමුත් පාපන්දු රසිකයන්ගේ නෙත් ඔහු වෙත යොමු වුණේ ඔහුගේ දක්ෂතාවලටත් වඩා ඔහු විසින් කරන ලද අකටයුතුකම් නිසයි. ප්‍රතිවාදී ක්‍රීඩකයින් සපාකෑම, ක්‍රීඩකයින්ට ජාතිවාදී අඩන්තේට්ටම් සිදුකිරීම වගේ කරුණු නිසා ඔහුගේ තරග තහනම් වූවා පමණක් නොව දඩ මුදල් ගෙවීමට පවා සිදු වුනා. ඔහුගේ ක්‍රීඩා ජීවිතය එසේ වුවත් ඔහුගේ සාර්ථකත්වය පිටුපස ඇති කතාවයි මේ.

වචනවලින් වෙඩි තබා ඕස්ට්‍රේලියාව කෙලින් කළ මයිකල් චේකාගේ මෙහෙයුම

මනසින් වැටුණු රග්බි කණ්ඩායමක් කෙලින් කරවීමට ඔබට මිනිත්තු 10කින්…

සැන්ඩ්‍රා සුවාරෙස් සහ රොඩොල්ෆෝ සුවාරෙස් යන මව්පිය දෙපළට දාව උපන් සිව්වැනි පිරිමි දරුවා ලෙස 1987 වසරේ ජනවාරි මස 24 වැනිදා Salto ගමේ දී ලුවිස් සුවාරෙස් උපත ලැබුවා. ඔහුගේ උපන් නම “ලුවිස් ඇල්බර්ටෝ සුවාරෙස් ඩයස්” වූවා.

දුප්පත් පවුලක උපත ලැබුවත් පුංචි ලුවිස් ඉතා සතුටින් හැදී වැඩුණා. එහි දී ලුවිස් තම පාපන්දු දිවිය ආරම්භ කරමින් “Sportivo Artigas” හි ළමා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කළා. ඇත්තෙන්ම ඒ කාලයේ උරුගුවේ ඉතා දුෂ්කර ගමක් වුණු Salto හි වාසය කිරීම ඉතාමත් දුෂ්කර කටයුත්තක් වුනා. එම නිසාම සුවාරෙස් පවුල අගනගරයට ආසන්න නගරයක් වූ “La Comercial” වෙත සංක්‍රමණය වුනා. පසුව “La Blanqueada” නගරයේ “Urreta FC” ළමා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමටත් පුංචි ලුවිස්ට අවස්ථාව උදා වුනා. තම පවුලේ ආර්ථිකය එන්න එන්නම කඩා වැටෙන නිසාම ලුවිස්ගේ දෙමාපියන් උරුගුවේ අගනගරය වූ “Montevideo” වෙත යාමට තීරණය කළා. නමුත් ඒ වන විට වයස අවුරුදු 7ක් වූ ලුවිස් තීරණය කළේ තමන් මෙතෙක් කල් හැදී වැඩුණ, සෙල්ලම් කළ, යහළුවන් සිටින ගම අතහැර නොයාමටයි.

දෙමාපියන් සමඟ තම අනෙක් සොහොයුරන් අගනගරය වෙත සංක්‍රමණය වෙද්දී ඔහු තම මිත්තණිය සමඟ Salto ගමේ නැවතී සිටියා. ලුවිස් තම යහළුවන් සමඟ පාපන්දු ක්‍රීඩා කරමින් තම ආදරණීය මිත්තණිය වූ “ද රෝසා” මහත්මිය සමඟ Salto ගමේ කාලය ගත කළා. නමුත් වසරක් ගතවීමටත් මත්තෙන් ලුවිස් තමා ගත් තීරණය වෙනස් කරමින් තම දෙමාපියන් වෙත යාමට තීරණය කළා.

ලුවිස් සුවාරෙස් කුඩා කල
Courtesy- footballplayerschildhoodpics.blogspot.com

නගරයට පියනැගූ ලුවිස් එහිදීත් පාපන්දු ක්‍රීඩා කිරීමට අමතක කළේ නෑ. නගරයේ යහළුවන් සමඟ ක්‍රීඩා කරන විට පාවහන් නොමැතිව, කලිසම බඩ දක්වා උස්සා ක්‍රීඩා කළ ඔහු නිතර යහළුවන්ගේ උසුළු විසුළු වලට ලක්වුණා.

නමුත් Salto ගමේ  දී පාවහන් නොමැතිව ක්‍රීඩා කර පුරුදු ඔහුට නගරයට පැමිණි විගස ගමේ පුරුදු අතහැර දැමිය නොහැකි වුනා. නමුත් ඉන් නොසැලුණු ලුවිස් යහළුවන් ඔහුට කරන විසුළු වලට ඔහුත් සිනාවෙන්ම ප්‍රතිචාර දැක්වූවා. පාපන්දු පිටියේ මෙන්ම සාමාන්‍ය ජීවිතයේදීත් ඔහුගේ සිතේ තිබුණේ “ජයග්‍රහණය” පමණයි. නමුත් එයට මරු පහරක් එල්ල කරාක් මෙන් ලුවිස්ට වයස අවුරුදු 9 වන විට ඔහුගේ දෙමාපියන් වෙන්වීමට තීරණය කළා. ඒ වන විට ඔහු තම මිත්තණිය අතහැර දෙමාපියන් සමඟ වාසය කිරීමට පැමිණ දෙවසරක් වත් ගතවී තිබුණේ නෑ.

දෙමාපියන්ගේ වෙන්වීම නිසා ඔහුට ජීවත්වීමට සිදු වූයේ තනිවමයි. ඔහුගේ අසල්වාසීන්ට ද එතරම් වත්පොහොසත් කමක් නොතිබුණු නිසා ඔවුන්ගෙන්වත් ලුවිස්ට පිළිසරණක් ලැබුණේ නෑ. මේ නිසා ඔහු ආහාරපාන ගැනීමත් එන්න එන්නම අඩු වුණා. එය කෙතරම් බලපෑව ද කිවහොත් හරිහමන් ලෙස ආහාරපාන නොලැබීමෙන් ඔහු මන්දපෝෂණයෙන් පෙලෙන්නෙක් බවට පත්වුණා. ආහාරපාන ගැනීමට පවා ඔහු සතුව මුදල් නොතිබුණු නිසා ඔහු අවශ්‍ය මුදල් සොයා ගැනීමට අගනුවර පාරවල් අතුගාන්නට පටන් ගත්තා. රෝගී බව නිසාත්, මුදල් නොමැතිකම නිසාත් ඔහු වයස අවුරුදු 12 වන විට පාපන්දු ක්‍රීඩා කිරීම, පුහුණුවීම් හා පාසල් යාම නැවැත්වූවා. නොමැරී ජීවත් වීමට අවශ්‍ය ආහාරපාන ලබාගැනීම සඳහා තම කාලය මිඩංගු කළේ පාර අතුගා පිරිසිදු කිරීම වෙනුවෙනුයි. ඒ සඳහා ඔහුට ලැබෙන සොච්චම් මුදල යන්තම් ඔහුගේ බඩකට පිරවීමට සමත් වුනා.

අගනගරයේ පාරවල් අතුගාමින් කාලය ගත කළ ලුවිස්ගේ දෛවය වෙනස් කළ “ඇය” ඔහුට හමුවන්නේ අහම්බෙන්. ඒ වන විට ලුවිස් 15 හැවිරිදි යෞවනයෙකු වූවා. ඇය නමින් “සොෆියා බල්බි” වූ අතර ඇය ඒ වන විට 13 හැවිරිදි සුන්දර තරුණියක් වූවා.

සොෆියා දුටු පළමු දසුනෙන්ම තම දෙනෙත් සහ සිත ඇය කෙරෙහි වසඟ වූ බව ලුවිස්ට හැඟුණා. පළමු හමුවීම අහම්බයෙන් සිදුවුවත් ක්‍රමක්‍රමයෙන් ඔවුනොවුන් දැන හැඳිනගෙන පෙම්වතුන් බවට පත්වුණා. ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස සිටියත් නිතර එකිනෙකා හමුවීම සොෆියා ප්‍රතික්ෂේප කළා. ඒ ඇය එසේ හමුවීමට ඇති භය හා අකමැත්ත නිසා නොව එසේ හමුවන වාරයන් හිදී ලුවිස් ඉතාමත් දුෂ්කර ලෙස උපයනා මුදල් නිකරුණේ වියදම් වන නිසයි. ඇය සැමවිටම පවසා සිටියේ ඔහුගේ මුදල් අනාගතය සඳහා ඉතුරු කළ යුතු බවයි. තම දෙමාපියන් හමුවීමට ප්‍රථම ඔහු යම් තැනකට පැමිණිය යුතු බව හා ඒ සඳහා මුදල් අවශ්‍ය බව ඇය ලුවිස්ට තේරුම් කර දුන්නා. ඒ වන විටත් ලුවිස්ගේ හිතේ තිබූ එකම බය වූයේ තමා දුප්පත් නිසා ඇයගේ දෙමාපියන් තමාට කැමැත්ත නොදේවී කියලයි. සොෆියා ලුවිස්ගේ ආහාරපාන පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කළේ ඒ වන විටත් ඔහු තුළ තිබූ රෝගී පෙනුම නිසයි. ඇත්තෙන්ම ඒ වන විට ඇය ලුවිස් වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කළ හැකි තත්ත්වයේ පසුවුණා.

තරුණ ලුවිස්-සොෆියා යුවළ
Courtesy- dreamteamfc.com

පැමිණි බාධක මැඩගෙන සතුටින් ගෙවුණු ලුවිස්-සොෆියා ආදර කතාවේ තීරණාත්මක දිනය උදා වුනා. බයෙන් සහ තැතිගැනීමෙන් යුතුව සොෆියාගේ දෙමාපියන් හමුවීමට ගිය ලුවිස් මුහුණ දුන්නේ ඔහු කවදාවත් නොසිතූ දෙයකටයි. ලුවිස්ව සාදරයෙන් පිළිගත් සොෆියාගේ දෙමාපියන් ඔහුට හොඳින් සංග්‍රහ කිරීමට ද අමතක කළේ නෑ. ඔවුන් කෙතරම් සොඳුරු මිනිසුන් දැයි ලුවිස්ට තේරුම් ගියේ අවසානයේ ඔවුන් පැවසූ දේවල් නිසයි. ඔවුන් ලුවිස්ට ඔවුන්ගේ නිවසේ වාසය කිරීමට ආරාධනා කළා සේම ඔහු අතරමග නවතා දැමූ පාසල් ගමන නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ද කටයුතු කළා. ඒ සෑමදෙයටම වඩා ඔහු සතුටට පත්වීමට හේතුව වූයේ ඔහු කැමතිම දෙය වූ පාපන්දු ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් ද ඔවුන් සැලසීමට සූදානම් බව දැන ගැනීමයි.

ලුවිස්ව අසරණ කිරීමට සමත් වුණු තවත් සිදුවීමක් සිදු වූයේ ඔහු සොෆියාගේ නිවසේ වසර 2ක් පමණ වාසය කළ විටයි. ඒ සොෆියාගේ පවුලේ අයට ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයට යාමට සිදුවීමයි. ඔහුට එය දරාගත නොහැකි සිදුවීමක් වුණේ ඔහු මෙලොව වැඩියෙන්ම ආදරය කළ හා තමාට මෙතෙක් කල් ශක්තියක් වූ සොෆියාගෙන් වෙන්වීමට සිදුවීමයි.

අවසානයේ ඔහු සොෆියාට සමුදුන්නේ තමා හොඳින් පුහුණුවීම් වල නිරත වී වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස යුරෝපයට පැමිණෙන බවට සොෆියාට පොරොන්දු වීමෙන් අනතුරුවයි. ගතින් තැන් දෙකක සිටියත් ඔවුන්ගේ ආදරයේ අඩුවක් නොවුණා. නිතරම ජංගම දුරකථනයෙන් සහ අන්තර්ජාලය මඟින් ඔවුන් දෙදෙනා තම විස්තර හුවමාරු කරගැනීමට පුරුදු වූවා. නමුත් නිතරම හැඬූ කඳුලින් කාලය ගතකළ ලුවිස්ගේ දක්ෂතා අඩුවී ක්‍රීඩා දිවියත් අඩාල වුනා.

නමුත් ඉන්පසු වසර 2ක් පමණ ගතවූ පසු නැවත දක්ෂතා අතරට පැමිණි ලුවිස් වයස අවුරුදු 18 දී පළමු වරට උරුගුවේ ජාතික පාපන්දු කණ්ඩායමකට තේරී පත්වුණා. ඒ 2006 වසරේ දී වයස අවුරුදු 20න් පහළ ජාතික කණ්ඩායමටයි. ඔහු ක්‍රීඩා කළ Nacional පාපන්දු ක්‍රීඩා සමාජයේ ලුවිස් දැක්වූ දක්ෂතා නිසා නෙදර්ලන්තයේ ප්‍රබල පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Groningen ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කිරීමට වරම් හිමිවූවා. එම නිසා යුරෝපය වෙත ගොස් තම පෙම්වතිය වූ සොෆියා සමඟ වාසය කිරීමේ සිහිනය වැඩි ඈතක නොවන බව ලුවිස්ට වැටහුණා.

Groningen ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ලුවිස්
Courtesy- thesefootballtimes.com

ලුවිස්ට වයස අවුරුදු 19 වන විට නෙදර්ලන්තයේ Groningen නගරයේ පදිංචියට ගිය ඔහු ස්පාඤ්ඤයේ සිටි සොෆියාව තමා වෙත ගෙන්වා ගැනීමට සමත් වුනා. නමුත් නව රටේ දී ඔහුට තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ ඔහුගේ ඉංග්‍රීසි සහ ලන්දේසි භාෂාවන් වල තිබූ දුර්වලතාවයයි. එය ඔහුගේ සාමාන්‍ය දිවියට මෙන්ම ක්‍රීඩා දිවියට ද බෙහෙවින් බලපෑම් ඇති කිරීමට සමත් වුනා.

නමුත් තම ආදරණීය සොෆියාගෙන් ලැබුණු සහයෝගය නිසා එම ප්‍රශ්නය ක්‍රමක්‍රමයෙන් විසඳා ගැනීමට ඔහුට හැකි වුනා. නව ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන නිසා ලුවිස්ට ඉක්මනින් දක්ෂතා අතරට ඒමට නොහැකි වුනා. එය කෙතරම් දුරට බලපෑව ද කිවහොත් Groningen ක්‍රීඩා සමාජයේ කළමනාකාරිත්වය සිතුවේ ලුවිස්ව තම කණ්ඩායමට බඳවා ගෙන ඔවුන් කරගත්තේ මෝඩකමක් දැයි කියලයි. එය දැන ගත් ලුවිස්ගේ මානසික මට්ටම බිඳ වැටුනත් සොෆියා ඔහුව තව තවත් ධෛර්යමත් කිරීමට කටයුතු කළේ පෙම්වතියක් ලෙස පමණක් නොව මනුෂ්‍යත්වයෙන් පිරි සැබෑ කාන්තාවක් ලෙසයි.

සොෆියාගෙන් ලැබුණු ධෛර්යයෙන් නැවත පණ ලැබූ ලුවිස් ඉක්මනින් දක්ෂතා අතරට පැමිණියා. ඔහු තරගාවලි වල දැක්වූ දක්ෂතා නිසාම 2007 වසරේ දී නෙදර්ලන්තයේ අංක එකේ පාපන්දු ක්‍රීඩා සමාජය වන Ajax හි ක්‍රීඩා කිරීමට ආරාධනා ලැබුණා. සොෆියාගෙන් ලැබුණු නොමද සහය නිසා ඔහු තරගාවලින් රැසක් සාර්ථකව නිමා කිරීමට හැකි වුනා.

යුග දිවියට පිවිසි ලුවිස් සහ සොෆියා
Courtesy- twitter

තමාට කියා කිසිවක් නොමැති කාලයේ ඒ බව දැන දැනත් තමාට ආදරය කළ, සහයෝගය දුන්, හැමවිටම ඔහු පසුපස සිටි සොෆියාගේ එකම සිහිනය සැබෑ කරවීමට ලුවිස් සමත් වුණේ 2009 වසරේදීයි. ඒ ඇය සමඟ විවාහ දිවියට පියමන් කිරීමෙනුයි. සාර්ථක විවාහ දිවියක් ගත කළ ඔවුනට දාව 2010 වසරේ දී ඩෙල්ෆිනා නම් දියණියක් උපත ලැබුවා. ඔබ ලුවිස් සුවාරෙස්ගේ රසිකයෙකු නම් ඔහු ගෝලයක් වාර්තා කළ සෑම මොහොතකම ඔහුගේ මැණික් කටුව පෙදෙස සිඹින ආකාරය දැක ඇති බව නිසැකයි. ඒ ඔහු තම මැණික් කටුවේ පච්චයක් ලෙස ඔහු ඩෙල්ෆිනාගේ නම සටහන් කරගෙන තිබීම නිසයි.

ගෝලයක් වාර්තා කළ පසු තම සතුට සමරමින්
Courtesy- The Independent

2011 වසරේ දී එංගලන්තයේ Liverpool කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පැමිණෙන ඔහු ඉතා සාර්ථක පාපන්දු ක්‍රීඩකයෙකු වුනා. 2013 වසරේ දී ඔවුන් පිරිමි දරුවෙකු ලද අතර ඔහු නමින් බෙන්ජමින් වුනා. මෙසේ සාර්ථක පවුල් දිවියක් සහ ක්‍රීඩා දිවියක් ගත කරන ලුවිස් සුවාරෙස් මේ වන විට ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩා සමාජය වන Barcelona කණ්ඩායමට ක්‍රීඩා කරන්නෙක්. ඔහු Liverpool කණ්ඩායමෙන් ඉවත්ව Barcelona කණ්ඩායමට සම්බන්ධ වීමට ස්පාඤ්ඤයට යන විට පවසා සිටියේ “සොෆියා සහ සොෆියාගේ පවුලේ අය තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. ඔවුන් සමඟ ජීවත් වීම තමයි මගේ ජීවිතයේ තිබූ එකම අරමුණ. මෙය තමයි එයට ලැබෙන හොඳම වෙලාව” ලෙසයි.

ලුවිස් සහ සොෆියා තම දරුවන් දෙදෙනා සමඟ  
Courtesy- weheartit.com

ලුවිස් Liverpool කණ්ඩායමේ ක්‍රීඩා කරන විට එහි ප්‍රධාන පුහුණුකරු වන බ්‍රෙන්ඩන් රොජර්ස් වරෙක පවසා සිටියේ “ලුවිස් නම් සාර්ථක පාපන්දු ක්‍රීඩකයා පිටුපස ඇති ශක්තිමත් හස්තය, ඔහුගේ ආදරණීය බිරිඳ වන සොෆියා යි” ලෙසයි.

ඇය ලුවිස්ට ආදරයේ කළේ ඔහුට ඔහුගේම කියා කිසිවක් නොමැති කාලයේ දීයි. සැබවින්ම ඇය එසේ නොකළා නම් තවත් සාර්ථක පාපන්දු ක්‍රීඩකයෙකු ලොවට අහිමි වීමටත් ඉඩ තිබුණා. ඇත්තෙන්ම “සොෆියා බල්බි” යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “මනුෂ්‍යත්වයෙන් පිරි සැබෑ කාන්තාවක්”.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<