සාන්ත පීතර ක්‍රීඩකයින් අර්ධ අවසන් වටයට

529

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය යටතේ ඊයේ (10) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති අර්ධ අවසන් පූර්ව තරගය ලකුණු 38-24ක් ලෙස ජයග්‍රහණය කරන්නට සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

වෙස්ලි විදුහලේ ජනාධිපති කුසලාන සිහිනය බොඳ වේ

යිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ හතරවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම…

ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙම තරගය සඳහා පිවිසියේ බ්‍රැඩ්බි පලිහ රාජකීය විද්‍යාලය හමුවේ පරාජය වීමෙන් අනතුරුවයි. එහි දී පැවති තරග වට දෙකම ඔවුන් පරාජයට පත්විය. අනෙක් පසින් සාන්ත පීතර ක්‍රීඩකයින් මෙම තරගය සඳහා පිවිසියේ එතරම් සාර්ථක නොවූ ලීග් තරගාවලියකින් අනතුරුව ය. කෙසේ වුවත් ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කළහොත් ඔවුන්ට ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බව පෙන්වීමට ඔවුන් සමත්ව තිබුණි. මෙම කණ්ඩායම් දෙක අතර ලීග් තරගාවලියේ දී පැවති තරගය ලකුණු 15-13ක් ලෙස ජයග්‍රහණය කරන්නට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඒ අනුව ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙම තරගය සඳහා පිවිසියේ ජයග්‍රහණය තමන්ගේ කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.

ඉතා හොඳ වාතාවරණයක් යටතේ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය රෂේන් බණ්ඩාරනායක විසින් ආරම්භ කළේය. තරගයේ පළමු මිනිත්තු කිහිපය තුළ පන්දුව වැඩි වේලාවක් තමන් සතුව තබා ගනිමින් ක්‍රීඩා කරන්නට සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වුවත්, ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත.

තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට පීතර කණ්ඩායමේ දියත් ප්‍රනාන්දු සමත් විය. නවීන් රාජරත්නම් ක්‍රීඩා පිටියේ මැද භාගයේ දී ලබා දුන් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් එම උත්සාහක දිනුම වාර්තා කර ගන්නට දියත් සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද තීක්‍ෂණ දසනායක විසින් සාර්ථක කර ගන්නා ලදි. (SPC 07 – 00 TCK)

මිනිත්තු කිහිපයකට අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන වොරන් වීරකෝන් උත්සාහක දිනුමක් වාර්තා කරගත්තේය. ඔහු සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩකයින් තිදෙනෙක් පසු කර යමින් එම උත්සාහක දිනුම වාර්තා කරගත්තේය. නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට බණ්ඩාරනායක සමත් වූයේ නැත. තරගයේ උණුසුම වැඩි කරමින් ඉන් අනතුරුව තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් විය. එහි දී රවීන් ප්‍රනාන්දු ලබා දුන් පන්දුව ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන දසනායක උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගිය අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද පහසුවෙන් සාර්ථක කර ගන්නට ඔහු සමත් විය. (SPC 14 – 05 TCK)

තවදුරටත් තරගය තුළ උත්සාහක දිනුම් වාර්තා වූ අතර රෂේන් බණ්ඩාරනායක විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කරමින් ලබා දුන් පන්දුව ෂෙනාල් අබේවර්ණ විසින් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගියේය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද රෂේන් විසින් සාර්ථක කර ගත්තේ ලකුණු පරතරය ලකුණු 02ක් දක්වා අඩු කර ගනිමිනි. (SPC 14 – 12 TCK)

ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල වූ අතර ත්‍රිත්ව ක්‍රීඩකයින් හට තවත් අවස්ථාවක් නොදෙන්නට ඔවුන් දැඩි උත්සාහයක් දැරීය. කෙසේ වුවත් ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ තිබූ දුර්වලතාවයකින් ප්‍රයෝජන ගත් සාන්ත පීතර කණ්ඩායමේ ‘Flanker’ ස්ථානයේ ක්‍රීඩා කරන ජේසන් කරුණාරත්න තම කණ්ඩායමට තරගයේ තුන්වන උත්සාහක දිනුම හිමි කර දෙන්නට සමත් විය. මෙහි දී ද ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට දසනායක සමත් විය. (SPC 21 – 12 TCK)

අනතුරුව තරගයේ පළමු අර්ධයට හොඳ අවසානයක් ලබා ගන්නට ත්‍රිත්ව ක්‍රීඩකයින් සමත් විය. ත්‍රිත්ව කණ්ඩායමේ වොරන් වීරකෝන් ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසු කරමින් ඉදිරියට ගිය අතර ඉන් පසුව පන්දුව ලබා ගත් ත්‍රිත්ව කණ්ඩායමේ නායක නේතන් යී ගෝල රාමුවට පහළ උත්සාහක දිනුම් කලාපය වෙත පන්දුව රැගෙන යමින් තම කණ්ඩායමට අත්‍යවශ්‍යව තිබූ උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් විය. එහි දී බණ්ඩාරනායක ලබා ගත් ප්‍රවර්තන අවස්ථාව අවහිර කරන්නට ජේසන් කරුණාරත්න සමත් විය. තරගයේ පළමු අර්ධය නිමා වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී සාන්ත පීතර කණ්ඩායමේ ක්‍රීඩකයින් අභිබවමින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගිය ත්‍රිත්ව කණ්ඩායමේ වොරන් වීරකෝන් තරගය තුළ පළමු වරට තරගයේ වාසිය තම කණ්ඩායම දෙසට යොමු කර ගන්නට සමත් විය. මෙම අවස්ථාවේ දී ප්‍රවර්තන අවස්ථාව බණ්ඩාරනායක විසින් සාර්ථක කරගත්තේය. (SPC 21 – 24 TCK)

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 21 (3T 3C) – 24 (4T 2C) ත්‍රිත්ව විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගන්නට පීතර කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත් විය. ත්‍රිත්ව කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර තිබූ හිඩැසකින් ප්‍රයෝජන ගත් තීක්‍ෂණ දසනායක පන්දුව රැගෙන යමින් එය දියත් ප්‍රනාන්දු වෙත යොමු කළ අතර ඔහු ගෝල රාමුවට පහළ උත්සාහක දිනුම් කලාපය වෙත පන්දුව රැගෙන යමින් උත්සාහක දිනුම සම්පූර්ණ කරන්නට සමත් විය. දසනායක මෙවර ද ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගත්තේය.

අනතුරුව ත්‍රිත්ව කණ්ඩායමේ ෂෙනාල් අබේවර්ණ සිදු කළ ‘High tackle’ කිරීමක් හේතුවෙන් ඔහුට කහ කාඩ්පත් අවවාදයක් විනිසුරුවරයා විසින් ලබා දුන් අතර ඒ අනුව ත්‍රිත්ව කණ්ඩායමට මිනිත්තු 10ක කාලයක් සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කරන්නට සිදු විය. මෙය සාන්ත පීතර ක්‍රීඩකයින් හට වාසිදායක තත්වයක් විය. එහි දී ලැබුණු දඬුවම් පහර අවස්ථාව ලබා ගැනීමෙන් අනතුරුව පන්දුව ජූලියන් චාල්ස් විසින් ලබා ගත් අතර ඔහු යොමු කළ පන්දුව ලබා ගත් ෆායිස් අබ්දුල්ලා එය උත්සාහක දිනුම් කලාපය වෙත සාර්ථකව රැගෙන යන්නට සමත් විය. කෙසේ වුවත් මෙම අවස්ථාවේ දී ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට දසනායක අපොහොසත් විය. (SPC 33 – 24 TCK)

අනතුරුව ත්‍රිත්ව ක්‍රීඩකයින් හට ලකුණු ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම උදා වුවත් ඒවා සාර්ථකව අවසන් කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත. තරගය අවසාන වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී සාන්ත පීතර කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින් ජේසන් කරුණාරත්න උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව අසාර්ථක විය. (SPC 38 – 24 TCK)

ඉන් පසුව තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී ප්‍රතිවාදී ත්‍රිත්ව ක්‍රීඩකයින් හට කිසිදු ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නොදෙන්නට පීතර ක්‍රීඩකයින් වග බලා ගත අතර ඒ අනුව මෙම අර්ධ අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන්නට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

දෙවන අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 38 (6T 4C) – 24 (4T 2C) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – තීක්‍ෂණ දසනායක (සාන්ත පීතර විද්‍යාලය)

ThePapare.com තරගයේ වීරයා වූ තීක්‍ෂණ දසනායක තරගය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ;

“අපි කණ්ඩායමක් විදිහට ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ත්‍රිත්ව ක්‍රීඩකයින් හොඳ තරගයක් ලබා දුන්නා. තරගයේ පළමු අර්ධය අවසානයේ ඉදිරියෙන් සිටියේ ඔවුන්. කෙසේ වුවත් අපි මෙම තරගයට සහභාගී වුණේ ජයග්‍රහණය කරන්න. කණ්ඩායමක් විදිහට හොඳින් ක්‍රීඩා කළ නිසා ඒක කරන්න අපිට හැකි වුනා.”

ලකුණු ලබා ගැනීම

සාන්ත පීතර විද්‍යාලය – 38 (6T 4C)

උත්සාහක දිනුම්: දියත් ප්‍රනාන්දු 2, ජේසන් කරුණාරත්න 2, තීක්‍ෂණ දසනායක, ෆායිස් අබ්දුල්ලා

ප්‍රවර්තන: තීක්‍ෂණ දසනායක 4

ත්‍රිත්ව විද්‍යාලය – 24 (4T 2C)

උත්සාහක දිනුම්: වොරන් වීරකෝන් 2, නේතන් යී, ෂෙනාල් අබේවර්ණ

ප්‍රවර්තන: රෂේන් බණ්ඩාරනායක 2

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට