ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙක්ට BPL වරම්!

139

2019/20 වෙනුවෙන් පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් ලැයිස්තු ගත කිරීම (Draft) ඊයේ (17) බංග්ලාදේශයේ දී සිදු විය.

අලුත් මුහුණුවරකින් එන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මීළඟ වසරේ සිට ඉන්දීය ක්‍රීඩකයන් ඇතුළත් කරගැනීමට සූදානමින් සිටින බව බංග්ලාදේශ…

කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ ක්‍රීඩක ලැයිස්තු ගත කිරීම සඳහා විදේශීය ක්‍රීඩකයින් 439ක් දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 620ක් ඇතුළත්ව සිටියි. තරගාවලිය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වේ.

මෙම ක්‍රීඩක ලැයිස්තුව සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පස් දෙනෙක් ඇතුළත්ව සිටින අතර කුසල් පෙරේරා සහ දසුන් ශානක පසුගිය වර ශූරතාව දිනා ගත් කොමිලා වෝරියර්ස් කණ්ඩායම විසින් මිලට ගෙන ඇත. ඔවුන් දෙදෙනාම මේ වන විට අබුඩාබි හිදී පැවැත්වෙන T10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටියි.

වයස අවුරුදු 21ක් වන අවිශ්ක ප්‍රනාන්දු පළමු වතාවට විදේශීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් සඳහා තේරී පත්ව තිබෙන අතර ප්‍රනාන්දු 7 වැනි වරට පැවැත්වෙන BPL තරගාවලියේ දී චැටග්‍රොම් චැලෙන්ජර්ස් කණ්ඩායම විසින් මිලට ගෙන ඇත.

කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන ක්‍රිස් ගේල් ද එම සංචිතයට ඇතුළත්ව සිටින නිසා මෙවර තරගාවලියේ දී ප්‍රනාන්දු සහ ගේල් චැටග්‍රොම් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබේ.

රාම්ප්‍රකාශ් බෑ කියයි; ශ්‍රී ලංකා ක්‍රිකට් ආතර්ගේ පිහිට පතයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරයට දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා පත්කිරීමේ යෝජනාවක්…

ශ්‍රී ලංකා හිටපු විස්සයි විස්ස නායක තිසර පෙරේරා ඩකා ප්ලැටූන් කණ්ඩායම වෙනුවෙන් තේරී සිටින අතර ඔහු මීට පෙර අවස්ථාවන් කිහිපයක දී BPL තරගාවලිය නියෝජනය කිරීම සඳහා වරම් දිනා ගත්තේය. එම ක්‍රීඩකයින් සිව්දෙනාට අමතරව තුන් ඉරියව් අංශයේ කැපී පෙනෙන විස්සයි විස්ස ක්‍රීඩකයෙක් වන ජීවන් මෙන්ඩිස් සිලෙට් තන්ඩර්ස් කණ්ඩායමට තේරී පත්ව ඇත.

පසුගිය බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර මුදලට තරග පාවා දීම් කීපයක් වාර්තා වූ අතර විදෙස් ක්‍රීඩකයන්ට නියමිත ගෙවීම් පැහැර හැරීම් කීපයක් ද වාර්තා විය.

කෙසේ වෙතත් මෙම තරග බංගබන්ධු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය නමින් නම් කිරීමට සංවිධායකයන් තීරණය කර ඇති අතර එය එළඹෙන දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<