ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන්දියාවට තියුණු සටනක් දෙයි

643
sri lanka womens vs india womens

ශ්‍රී ලංකා – ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (19) කටුනායක නිදහස් වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ලකුණු 13ක තියුණු පරාජයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවෙමිනි.

එශානි ලොකුසූරිය නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට

ඉන්දීය කණ්ඩායමට එරෙහිව අද (19) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය..

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඉන්දීය කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඒ ආරාධනයෙන් පිටියට පැමිණි ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබා ගන්නා ලදි. එයට පිළිතුරු දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 155ක් පමණි.

ස්ම්රිති මන්දාන ඇය මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යද්දී, නායිකා මිතාලියා රාජ් හා දකුණතින් පිත්ත හසුරුවන ජෙමිමා රොද්‍රිගෝස් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවයක් ගොඩනංවමින් බිඳවැටීමට ලක්වෙමින් තිබූ ඉන්දීය කාන්තා ලකුණු සටහන ස්ථාවර මට්ටමකට රැගෙන එන ලදි. එක්දින තරගාවලිය පුරාවට පිතිකරණයෙන් සාර්ථක වූ මිතාලියා 4 පහර 3ක් සමඟ ලකුණු 17ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට ශ්‍රී පාලි වීරක්කොඩිට හැකි විය. ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ රොද්‍රිගෝස් 4 පහර 3ක් හා 6 පහර 3ක් සමඟ ලකුණු 36ක් ලබා ගැනීම සඳහා වැය කළේ පන්දු 15ක් පමණි.

ලකුණු 70කට ඉන්දීය කඩුලු 4ක් දැවී ගොස් තිබිය දී පිටියේ එක්කාසු වූ ටානියා භාතිය හා අනුජ් පටිල් ඔවුන්ගේ කණ්ඩායමේ 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක් ලකුණු පුවරුවට එක් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් වෙත යම් පීඩනයක් එල්ල කරමිනි. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කඩුලු රකින ක්‍රීඩිකාවක් වන භාතිය පන්දු 35ක් තුල 4 පහර 6ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 46ක් ලබාගෙන අර්ධ ශතකය පෙනෙන මානයේ තිබිය දී දැවී ගියාය. පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධනී හා අතපත්තු අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

චමරි – මිතාලි සහ මන්සි අතර ලියැවුණ එක්දින තරගාවලිය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින්..

ලකුණු 169ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට ආ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන යසෝදා මෙන්ඩිස් හා අතපත්තු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සබඳතාවයක් ගොඩනැංවූයේ පන්දු 18ක් තුලයි. 4 පහර 5ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 32ක් ලබා සිටි යසෝදා මෙන්ඩිස් දැවී ගිය පසුව ශ්‍රී ලංකාව ලබාගත් සාර්ථක ආරම්භය තරමක් අඩාල විය. නමුත් අතපත්තු එය යළිත් ගොඩනැංවීමට වෑයම් කරමින් සිටිය දී පුන්මා යාදෙව් එවූ පන්දුවකට දැවී ගියාය.

ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරණ අංශයේ කතා නායිකාව වූ එශානි ලොකුසූරියගේ කලකට පසුව ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවතීර්ණ වූයේ ඉතාමත් සාර්ථක පිතිකරණයක නිරත වෙමිනි. ඇය පන්දු 31ක් තුල 4 පහර 5ක් හා එක් 6 පහරක් එල්ල කරමින් ඉන්දීය පන්දු යවන්නියන් වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වුවත්, අනෙක් අන්තයෙන් ඇය සඳහා නිසි සහයක් නොලැබීම නිසා ඇයගේ උත්සාහය සාර්ථක නොවීය. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමටත් පෙර සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 155ක් පමණි. පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පුන්මා යාදෙව් ලකුණු 24කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වූවාය.

ඉන්දියාව – 168/8 (20): ටානියා භාතිය 46, ජෙමිමා රොද්‍රිගෝස් 36, අනුජ් පටිල් 36, උදේශිකා ප්‍රබෝධනී 2/18, චමරි අතපත්තු 2/23

ශ්‍රී ලංකාව – 155/10 (19.3): එශානි ලොකුසූරියගේ  45, යසෝදා මෙන්ඩිස් 32, චමරි අතපත්තු 27, පුන්මා යාදෙව් 4/26.

දෙරට අතර පැවැත්වෙන මීළඟ විස්සයි විස්ස ක්‍රිකට් තරගය අනිද්දා (21) කොළඹ කොල්ට්ස් පිටියේ දී පැවැත්වේ. එතෙක් ThePapare.com සමඟින් රැඳී සිටින්න.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <