ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ අවසානය (22) සනිටුහන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් ලබාගෙන සිටින්නේ ඉතාමත් අසීරු අඩියක පසුවෙමිනි.

තුන් ඉරියව්වේ දිදුලන තරුව – අකිල දනංජය

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (21) අවසන් වන විට නම් තරගයේ වැඩි වාසිය තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුවයි. ඒ සඳහා අකිල දනංජය පිත්තෙන්…

කොළඹ එස්. එස්. සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 151ක් ලබාගෙන සිටියේ දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 365ක් ඉදිරියෙන් සිටිමිනි.

දිනය ආරම්භ කරනු පිණිස පිටියට පැමිණි දිමුත් කරුණාරත්න හා ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැංවූයේ මැතිව්ස්ගේ පිත්තෙන් ලකුණු 39ක් හා කරුණාරත්නගේ පිත්තෙන් ලකුණු 29ක් වාර්තා කර ගනිමිනි. එම සබඳතාවයට තිත තැබූ ලුන්ගි නිගිඩි 4 පහර 12ක් සමඟ ලකුණු 85ක් ලබාගෙන සිටි කරුණාරත්නව දවා ගන්නා ලදි.

කරුණාරත්න දැවී ගිය පසුව දකුණත් පිතිකරුවන් යුගලයක් වන මැතිව්ස් හා රොෂේන් සිල්වා ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ගොඩනැංවීමේ වගකීම සිය උර මතට ගත්තේ මේ තරගාවලිය පුරාවට ඔවුන් දෙදෙනාටම පිතිකරුවන් ලෙස සාර්ථක වීමට නොහැකි වූ නිසාවෙනි.

අකිල – දිල්රුවන් දකුණු අප්‍රිකානු ඉනිම වනසති

ඊයේ (21) කොළඹ එස්. එස්. සී. පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර…

නමුත් අද දිනයේ දී ඒ සඳහා පිතිකරණයෙන් නියම පිළිතුරක් ලබා දුන් මැතිව්ස් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 29 වන අර්ධ ශතකය වාර්තා කර ගැනීමට සමත් විය. මැතිව්ස් නැවතත් ලකුණු අතරට පිවිසීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වනු ඇත.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 237ක් ලබා සිටියේය. නොදැවී ක්‍රීඩා කරමින් සිටි මැතිව්ස් 4 පහර 4ක් සමඟ ලකුණු 53*ක් ලබාගෙන සිටි අතර ඔහුගේ සහායකයා වන රොෂේන් සිල්වා නොදැවී ලකුණු 19*ක් ලබාගෙන සිටියේ 4 පහර 2ක් වාර්තා කරමිනි.

දිවා ආහාරයට පසුව ශ්‍රී ලංකා ලකුණු සටහනට තවත් ලකුණු 26ක් එකතු වූ පසුව 4 පහර 7ක් සමඟ ලකුණු 71ක් ලබා සිටි මැතිව්ස් මහරාජ්ගේ පන්දුවකට දැවී ගියේ ෆෆ් ඩියු ප්ලේසී අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. රොෂේන්, දික්වැල්ල 6 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ ක්‍රීඩා කරමින් සිටිය දී නායක සුරංග ලක්මාල් ක්‍රීඩාගාරයේ සිට ඔවුන්ට ඉනිම අත්හිටුවීමට තීරණය කරන බව ප්‍රකාශ කිරීමත් සමඟම ශ්‍රී ලංකා දෙවන ඉනිමට තිත තැබුණි. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 275ක් ලබාගෙන තිබුණි. නොදැවී ක්‍රීඩා කළ රොෂේන් ලකුණු 32*ක් ලබා ගන්නා විට දික්වැල්ල නොදැවී ලකුණු 7*ක් ලබාගෙන තිබුණි.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක කේශව් මහරාජ් ලකුණු 154කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 490ක විශාල ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ පළමු කඩුල්ල ලෙස ලකුණු 13ක් ලබා සිටි එයිඩ්න් මාක්‍රම් දැවී ගියේය.

දිල්රුවන් පෙරේරා හමුවේ ඩීන් එල්ගාර් දෙවතාවක් දැවී ගියත් එම අවස්ථාවන් දෙකේ දී ම දිල්රුවන්ගේ පන්දුව නිපන්දු වූ නිසා එල්ගාර් දැවී ගියේ නොමැත. එයින් උපරිම ඵල නෙළාගත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් යුගලය වන එල්ගාර් හා තෙවුනිස් ඩී බෘයින්  තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවයක් එක් කළේය.

ඉන්පසුව පිටියට පැමිණි නායක ප්ලේසී හා මහරාජ් අකිල දනංජයගේ දක්ෂ පන්දුකරණය හමුවේ පිළිවෙළින් ලකුණු 7කට හා ලකුණු නොලබාම දැවී ගියේ තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකාවට තරගාවලිය ජය ගැනීමට හැකි බව ලොවට පෙන්නමිනි.

හුදකලා සටනක් දියත් කරන දකුණතින් පිත්ත හසුරුවන තෙවුනිස් ඩී බෘයින් 4 පහර 7ක් ලබාගෙන නොදැවී ලකුණු 45*ක් ලබාගෙන සිටින්නේ මේ තරගාවලියේ අර්ධ ශතකයක් ලබාගත් පළමු ක්‍රීඩකයා වීමේ බලාපොරොත්තුව ඇතිවයි.

ඔහු සමඟ එක්ව 6 වන කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 26*ක සබඳතාවයක් එක්‌ කිරීමට සහය වූ ටෙම්බා බවුමා එක්‌ 4 පහරක් සමඟ නොදැවී ලකුණු 14*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 351ක් අවශ්‍ය අතර ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට තවත් ලබාගත යුතුව ඇත්තේ තවත් දකුණු අප්‍රිකානු කඩුලු 5ක් පමණි.

බැඳීම් අලුත් කරමින් ජය මාවත විවර කළ SSC මිතුදම

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය වූ ඊයේ (20) දිනයේ දී දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු…

පන්දු යැවීමේ දී අකිල දනංජය හා රංගන හේරත් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

හෙට (23) සිව්වන දිනයටත් ක්‍රියාත්මක වන මේ තරගයේ ඡායාරූප, එසැණ පුවත් හා සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 338/10 (104.1): ධනංජය ද සිල්වා 60, ධනුෂ්ක ගුණතිලක 57, දිමුත් කරුණාරත්න 53, අකිල දනංජය 43*,  කේශව් මහරාජ් 9/129.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම – 124/10 (34.5): ෆෆ් ඩියු ප්ලේසී 48, ක්වින්ටන් ඩි කොක් 32, හෂීම් අම්ලා 19, අකිල දනංජය 5/52, දිල්රුවන් පෙරේරා 4/40.

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 275/5d (81): දිමුත් කරුණාරත්න 85, ඇන්ජලෝ මැතිව්ස් 71, ධනුෂ්ක ගුණතිලක 61, රොෂේන් සිල්වා 32*, කේශව් මහරාජ් 3/154, ලුන්ගි නිගිඩි 1/09.

දකුණු අප්‍රිකා දෙවන ඉනිම (තෙවන දිනය අවසානයේ) – 139/5 (41): තෙවුනිස් ඩී බෘයින් 45*, ඩීන් එල්ගාර් 37, අකිල දනංජය 2/35, රංගන හෙරත් 2/54.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<