අසේලගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට ගෞරවාන්විත පරාජයක්

849
Sri Lanka v South Africa 5th ODI

දකුණු අප්‍රිකානු සංචාරය නිමා කරමින් ඊයේ (10) සෙන්චූරියන් හිදී පැවති අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකාවට උරුම වූයේ ලකුණු 88ක පරාජයකි. ඒ අනුව එක්දින තරගාවලිය දකුණු අප්‍රිකානුවන් 5-0ක් ලෙස ජය ගත් අතර සංචාරයෙන් උපයා ගත් එකම වත්කම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස කුසලානය දෝත දරාගෙන දකුණු අප්‍රිකාවෙන් පිටත් වීමට නියමිතය.

තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාව සටනක් දී පරාජය වෙයි

දකුණු අප්‍රිකාව සමඟ පැවති සිව්වැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාවට ජය මාවත සොයා ගැනීමට නොහැකි වුවද කලින් තරග තුනේදීම නොතිබුණු…

දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුනු පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක උපුල් තරංග සමත් විය. නමුත් ප්‍රථම ඉනිමේ ලකුණු සාමාන්‍යය 300කටත් වඩා වැඩි සෙන්චූරියන් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. ඒ අනුව ඉනිම ආරම්භ කල අම්ලා සහ ඩි කොක් මුල සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳ හැටි පහර එල්ල කලේ සෑම පන්දු වාරයකටම එක් හතරේ පහරක් හෝ අඩංගු කරමිනි.

ඉනිමේ 15වැනි පන්දු වාරයේ ධනංජය ද සිල්වාගේ පන්දුවකට හෂීම් අම්ලා ස්ලිප් කලාපය වෙත ලබා දුන් පහසු උඩ පන්දුව උපුල් තරංග අතහැරීම මෙම තරගයේ හැරවුම් ලක්ෂයක් බවට පත් විය. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් අම්ලා තම ඉනිම නිමා කළේ ලකුණු 154ක් රැස් කරමිනි. ඔහුගේ දැවැන්ත ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය. ඔහු සමඟින් ආරම්භක කඩුල්ලට ලකුණු 187ක් එක් කල ක්වින්ටන් ඩි කොක් පන්දු 16ක්ම හතරේ සීමාවෙන් එපිටට යවමින් ලකුණු 109ක් රැස් කළේය. ඒ අනුව පිතිකරුවන්ගේ දක්ෂතාවයත්, පන්දු රකින්නන්ගේ දුර්වලතාවයත් මැනවින් යොදා ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50දී ලකුණු 384ක් රැස් කලේ කඩුලු 6ක් පමණක් අහිමි කර ගනිමිනි.

දැවැන්ත ලකුණු සංඛ්‍යාවක සිහිනය සැබෑ කර ගැනීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට මෙම තරගයේ දී වැඩි වේලා තණතීරුව මත රැඳී සිටින්නට දකුණු අප්‍රිකානුවන් ඉඩ තැබුවේ නැත. කේප්ටවුන් හිදී අගනා ශතකයක් රැස් කල උපුල් තරංග මෙම තරගයේ දී ලකුණු 7කට දැවී යන්නේ ඒ අනුවය. නිරෝෂන් දික්වැල්ල පන්දු 19කින් ලකුණු 39ක් රැස් කරමින් තම සුපුරුදු ප්‍රවේගකාරී පිතිහරඹය දියත් කිරීමට උත්සාහ කලත් අවසානයේ වේන් පාර්නෙල්ගේ පන්දුවකට ගොදුරු වීමට සිදුවිය.

මුල්පෙළ ශක්තිය බිඳ වැටී අසරණ වුනු ශ්‍රී ලංකා ඉනිම ලකුණු 82ට කඩුලු 5ක් ලෙස සටහන් වූ මොහොතේ ශ්‍රී ලංකා පිළේ ගෞරවය වෙනුවෙන් සටනක නියැලුණු නවක පිතිකරු අසේල ගුණරත්න හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 114ක් රැස් කළේය. ලැජ්ජා සහගත පරාජයකට සියලු කරුණු කාරණා සැකසී තිබිය දී ඔහු රැස් කල විශිෂ්ට ශතකය විදෙස් විචාරකයින්ගේ පවා නොමඳ පැසසුමට ලක්විය. අසේල සමඟින් සයවැනි කඩුල්ල සඳහා ලකුණු 93ක් එක්කල සචිත් පතිරණ ලකුණු 56ක් රැස් කළේය. ඒ අනුව ඉතාම අඩු ලකුණු ගණනකට දැවී යාමට තිබූ ශ්‍රී ලංකා ඉනිම අවසානයේ කඩුලු 8කට ලකුණු 296ක් වශයෙන් සටහන් විය.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ක්‍රිස් මොරිස් ලකුණු 31කට කඩුලු 4ක් බිඳ හෙලීය. වේන් පාර්නෙල් කඩුලු 2යි. විශිෂ්ට ශතකයක් රැස් කරමින් දකුණු අප්‍රිකානුවන්ට ආරම්භයේදීම තරගයේ වාසිය හිමිකර දුන් හෂීම් අම්ලා තරගයේ වීරයා සම්මානයට හිමිකම් කීවේය. මෙම ජයග්‍රහණයත් සමඟින් දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට ද සමත් විය. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් දෙවැනි ස්ථානයට ඇද දමමිනි. එමෙන්ම මෙය දකුණු අප්‍රිකානුවන් මව්බිමේ දී නොකඩවා ලබා ගත් 14වැනි ජයග්‍රහණය ලෙස සටහන් විය.

නිමාවුනු සංචාරයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරග 11කට මුහුණ දුන් අතර එයින් ජය ගැනීමට සමත් වූයේ තරග 2ක් පමණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා තිබූ ක්‍රීඩකයින් වන චන්දිමාල්, ධනංජය, මෙන්ඩිස් සහ චමීර වැනි ක්‍රීඩකයින්ට සැලකිය යුතු තරම් දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම කණ්ඩායම ප්‍රශ්න රාශියක් මැද අතරමන් කරන්නට හේතුවිය. නමුත් අසේල ගුණරත්න නවකයෙකු ලෙස දැක්වූ දක්ෂතා මෙන්ම නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ආරම්භක පිතිකරු ස්ථානයේ ස්ථාවර වීම ශ්‍රී ලංකාව පැත්තෙන් ලැබූ ජයග්‍රහණ බවට පත්විය. මෙම සියල්ල මැද විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා පිළේ ඕස්ට්‍රේලියානු සංචාරය ලබන 17 වැනිදා මෙල්බර්න් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ලකුණු 384 (පන්දුවාර 50): හෂීම් අම්ලා 154, ක්වින්ටන් ඩි කොක් 109, ඩූ ප්ලෙසිස් 41, ෆර්හාන් බිහාර්ඩියන් 32, සුරංග ලක්මාල් 3/71, ලහිරු මධුශංක 2/70.

ශ්‍රී ලංකාව – කඩුලු 8ක් දැවී ලකුණු 296 (පන්දුවාර 50): අසේල ගුණරත්න 114*, සචිත් පතිරණ 56, නිරෝෂන් දික්වැල්ල 39, සුරංග ලක්මාල් 20, ක්‍රිස් මොරිස් 4/31, වේන් පාර්නෙල් 2/51.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට