බංගලාදේශ ක්‍රීඩකයින් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළයි

176
Sri Lanka v Bangladesh 2nd test day 5 report

ජය පැරදුම දෙපසටම දෝලනය වුනු ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ දී ජයග්‍රහණය තමන් සතු කරගන්නට බංගලාදේශ ව්‍යාඝ්‍රයින් සමත් විය. ඒ අනුව සමස්ථ තරගාවලිය ජය පැරදුමකින් තොරව නිමා වූ අතර සිංහයින්ට හිමිවිය යුතුව තිබූ කුසලානය අද (19) දෙරටේ නායකයින් දෙදෙනා අතරේ බෙදී ගියේය.

පීඩනය උපරිම අවස්ථාවේ දී දිමුත්ගෙන් අති විශිෂ්ට ශතකයක්

තම ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ සියවැනි පරිච්ඡේදය රන් අකුරින් සටහන් කිරීමට මාන බලමින් සිටින බංගලාදේශ ක්‍රීඩකයින් පී. සරා ඕවල් තණතීරුවේ…

විශේෂයෙන්ම ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලකුණු 259ක දරුණු පරාජයකට මුහුණ දුන් බංගලාදේශය මෙම තරගයේ දී අළු ගසා නැවත නැගී සිටීමට තරම් ශක්තිමත් වීම කැපී පෙනුනි. එසේම තමන් සහභාගි වුනු සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව පරාජය කරන්නට ලැබීම ඔවුන්ගේ සිහිනයක් සැබෑ වූ අවස්ථාවක් බවට පත්විය.

අද උදෑසන තරගයේ පස්වැනි සහ අවසන් දිනය ආරම්භ වන විට ඉතාමත් ගැටලුකාරී තත්වයකට මුහුණපා සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 268ක් ලබාගෙන සිටි අතර ඔවුන් බංගලාදේශ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 139ක් පමණක් ඉදිරියෙන් පසුවූහ. නමුත් අද උදෑසනින්ම ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු බොඳ වීමට ඉඩ නොදුන් දිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්මාල් 9වැනි කඩුල්ල වෙනුවෙන් ප්‍රශංසනීය සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. බංගලාදේශ නායකයා ඊයේ දිනයේ සාර්ථක ප්‍රතිඵල නෙලාගත් මුස්ටාෆිසූර් රහ්මාන් සහ ශකීබ් අල් හසන් අතට අද උදෑසනින්ම පන්දුව ලබාදුන් නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා ඔවුන්ගෙන් තම කඩුලු ආරක්ෂා කර ගැනීමට තරම් දක්ෂ විය.

ක්‍රම ක්‍රමයෙන් පිතිකරුවන් දෙදෙනා අතරේ ගොඩ නැගුණු සබඳතාවය ලකුණු 50 ඉක්මවා ගිය අතර දිල්රුවන්ගේ අර්ධ ශතකය , ශ්‍රී ලංකා පිළේ ලකුණු 300 ද වාර්තා වෙමින් තරගය නැවතත් ශ්‍රී ලංකාව දෙසට හැරෙමින් පැවතුණි. නමුත් 113 වැනි පන්දුවාරයේ දී ඉතාමත් දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි දිල්රුවන් පෙරේරා අනවශ්‍ය පරිදි එක් ලකුණක් කරා දුව යාමේ දී පන්දු යවන්නාගේ අන්තයේ දුවද්දී දැවී යාමකට හසුවිය. ශ්‍රී ලංකාවට දිවා විවේකය වන තෙක් පිතිකරණයේ යෙදෙමින් තරගය ආරක්ෂා කර ගැනීමට තිබූ හොඳම අවස්ථාවක් එලෙසින් ගිලිහී ගිය අතර සුරංග ලක්මාල් ද ඊට සුළු මොහොතකට පසු විශාල පහරක් කරා යාමට උත්සාහ කිරීමේ දී දැවී ගියේය.

කෙසේ වෙතත් මැදපෙළ පිතිකරුවන් ඉතාමත් වගකීම් විරහිතව ක්‍රීඩා කරමින් ඉතාම අඩු ලකුණු සංඛ්‍යා වලට දැවී ගිය මොහොතේ ඔවුන් දෙදෙනා ගොඩ නැගූ ලකුණු සබඳතාවය ඉතාමත් විශිෂ්ට වූ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 319ක් තම දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි විය. දිල්රුවන් අද තම සිව්වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගත් අතර සුරංග ලක්මාල් තම ටෙස්ට් දිවියේ හොඳම ඉනිම වශයෙන් ලකුණු 42ක් රැස් කළේය. ශ්‍රී ලංකාව ජයග්‍රහණයෙන් ඈතට ගෙන ගිය ශකීබ් අල් හසන් කඩුලු 4ක් ද මුස්ටාෆිසූර් රහ්මාන් කඩුලු 3ක් ද බිඳ හෙලීමට සමත් වූහ.

ඒ අනුව ප්‍රථම වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක දී පරාජය කිරීම සඳහා ලකුණු 191ක ඉලක්කයක් හිමිවූ බංගලාදේශයට දිවා විවේකයට පෙර විනාඩි 45ක් පමණ පිතිකරණයේ යෙදෙන්නට සිදු විය. එම කාල සීමාව තුලදී ක්‍රියාත්මක වූ අද උපන්දිනය සමරන රංගන හේරත් පිට පිටම යැවූ පන්දු දෙකක දී සෞම්‍ය සර්කාර් සහ ඉම්රුල් කයිස් දවා ගැනීමට සමත් විය. ඒ අනුව දිවා විවේකය සඳහා කණ්ඩායම් දෙක ක්‍රීඩාගාරයට පියවර මනිද්දී ශ්‍රී ලංකාවට ද ජයග්‍රහණය පිළිබඳ සියුම් බලාපොරොත්තුවක් තබා ගත හැකිව තිබුණි.

නමුත් දිවා විවේකයෙන් අනතුරුව එම බලාපොරොත්තු මොහොතින් මොහොත බොඳ කෙරූ තමීම් ඉක්බාල් සහ සබ්බීර් රෙහ්මාන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක සුපිරි සබඳතාවයක් පිහිටුවීමට සමත් වූහ. වමත් පිතිකරු තමීම් ඉක්බාල් බංගලාදේශ ජයග්‍රහණයකට අවශ්‍ය මංපෙත් විවර කරමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 82ක් රැස් කල අතර සබ්බීර් රෙහ්මාන් ද ලකුණු 41කින් ඊට ආධාර විය. බංගලාදේශය ජයග්‍රහණයට ආසන්න වෙමින් සිටි මොහොතේ කඩුලු කිහිපයක් බිඳ හෙලන්නට දිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් සමත් වුවද එය පරාජය වළක්වාලීමට ප්‍රමාණවත් නොවීය.

අවසානයේ මෙහෙදි හසන් එල්ල කල පහරකින් බංගලාදේශයේ කඩුලු 4ක ජයග්‍රහණය වාර්තා වූ අතර එය ශ්‍රී ලංකාව බංගලාදේශයට ටෙස්ට් තරගයක් පරාජය වූ ප්‍රථම අවස්ථාව ලෙස සටහන් විය. නායක හේරත් සහ දිල්රුවන් කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් විය. විශේෂයෙන්ම පන්දු රකින්නන් දැක්වූ දුර්වලතා බංගලාදේශයට මෙම තරගයේ ජයග්‍රහණය පහසු කල අතර චන්දිමාල් සහ කරුණාරත්න හැරුණුකොට අනෙක් පිතිකරුවන් ඉනිම දෙකේදීම අසාර්ථක වීමද ශ්‍රී ලංකාවට බරපතල පාඩුවක් බවට පත්විය.

තරගයේ වීරයා සම්මානය ප්‍රථම ඉනිමේ ලකුණු 49ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 82ක් රැස් කරමින් බංගලාදේශ පිතිපෙළ ශක්තිමත් කල තමීම් ඉක්බාල්ට හිමිවිය. තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත්වෙමින් එක් ශතකයක් රැස්කර අවශ්‍යම වේලාවන්හිදී කඩුලු බිඳ හෙලූ ශකීබ් අල් හසන් තරගාවලියේ වීරයා සම්මානය ලබා ගත්තේය. ඒ අනුව ටෙස්ට් තරගාවලිය තරග 1 – 1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවූ අතර දෙරට අතර ප්‍රථම එක්දින තරගය ලබන 25 වැනිදා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 338 (පන්දුවාර 113.3): දිනේෂ් චන්දිමාල් 138, සුරංග ලක්මාල් 35, නිරෝෂන් දික්වැල්ල 34, ධනංජය ද සිල්වා 34, මුස්ටාෆිසූර් රහුමාන් 2/50, මෙහෙදි හසන් 3/90, සුභාශිස් රෝයි 2/53.

බංගලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 467 (පන්දුවාර 134.1): ශකීබ් අල් හසන් 116, මොසෙද්දික් හුසේන් 75, සෞම්‍ය සර්කාර් 61, මුෂ්ෆිකර් රහීම් 52, රංගන හේරත් 4/82, ලක්ෂාන් සඳකැන් 4/140.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) –  සියල්ලන්ම දැවී ලකුණු 319 (පන්දුවාර 113.2): දිමුත් කරුණාරත්න 126, කුසල් මෙන්ඩිස් 36, දිල්රුවන් පෙරේරා 50, සුරංග ලක්මාල් 42, මුස්ටාෆිසූර් රහ්මාන් 3/78, ශකීබ් අල් හසන් 4/74.

බංගලාදේශ (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 191 (පන්දුවාර 57.5): තමීම් ඉක්බාල් 82, සබ්බීර් රෙහ්මාන් 41, මුෂ්ෆිකර් රහීම් 22*, දිල්රුවන් පෙරේරා 3/59, රංගන හේරත් 3/75.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට