තරගාවලියේ පෙරමුණයන් තෝරන තීරණාත්මක තරගය හෙට

225
sl v aus

තරගාවලියේ පෙරමුණ ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙන්ම ඔස්‌ට්‍රේලියානු පිලට අතිශයින්ම තීරණාත්මක වූ තෙවැනි එක්‌දින තරගය හෙට (28 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක්‌ ලෙස ප.ව. 2.30 ට ආරම්භ වේ.

පසුගිය ලිපි: වේග පන්දුවේ සවියට ලහිරු කුමාර

පිතිකරුවන් යෑයි සම්මත බහුතරයක්‌ ලකුණු අතරට පැමිණීමට අපොහොසත්වීම, දඟ කැවෙන තණතීරුවලදී වුවද දග පන්දු යවන්නන් සාර්ථකත්වයට ළඟා නොවීම සහ විශ්වාසය බිඳී යැම ආදී කරුණු වලින් හෙම්බත් වී සිටින ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමේ නිත්‍ය නායක ස්‌ටීවන් ස්‌මිත් ව යළි ඔස්‌ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට එරට තේරීම් කමිටුව තීරණය කිරීමද කණ්‌ඩායමට එල්ල වී තිබෙන තවත් අතුල් පහරක්‌ ලෙස සඳහන් කළ හැක.

ඒ අනුව ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් විසින් මෙහෙයවනු ලබන අතර එය වෝනර් විසින් ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමක්‌ මෙහෙයවනු ලබන පළමු අවස්‌ථාව ලෙසින් සටහන් වේ.

ස්‌ටීවන් ස්‌මිත්ගේ පිටත්වීමත් සමග ඔස්‌ට්‍රේලියානු සංචිතය 13 දක්‌වා අඩු වන අතර එහිදී පිතිකරුවන් ලෙස තෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී ශතකයක්‌ රැස්‌ කරන ලද ෂෝන් මාෂ් හෝ උස්‌මාන් කවාජාගෙන් අයෙකු ස්‌මිත් ක්‍රීඩා කරනු ලබන අංක 03 ස්‌ථානයේ ක්‍රීඩා කරනු ඇත.

සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායමට හෙට තරගය ඉතාමත් සුවිශේෂී තරගයක්‌ බවට පත්වන්නේ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ටී. එම්. ඩිල්ෂාන්ගේ අවසාන එක්‌දින තරගය වීම නිසාය.

වසර 18 ක ඩිල්ෂාන්ගේ ජාත්‍යන්තර දිවියේ 330 වැනි එක්දින තරගය වන්නේ හෙට තරගය වන අතර එම තරගයෙන් පසු ඔහු සිය එක්‌දින තරග දිවියටද ලබන 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි විස්‌සයි/20 තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත්වනු ඇත.

“ඩිල්ස්‌කූප්” පහරේ නිර්මාතෘවරයා වන ඩිල්ෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ලකුණු 10,000 සීමාව ඉක්‌මවා ගිය සිව්වැනි පිතිකරුවා වශයෙන් ඉනිම 302 කදී ලකුණු 10248ක්‌ රැස්‌ කර ගැනීමට සමත්ව සිටියි. ශතක 22ක්‌ සහ අර්ධ ශතක 47ක්‌ ඇතුළත් ඩිල්ෂාන්ගේ එක්‌දින තරග දිවියේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 39.26ක්‌ වේ. එය ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ඉනිමක සාමාන්‍යයක්‌ රඳවා තබාගෙන සිටින පිතිකරුවන් අතර තෙවැනි ස්‌ථානය ඩිල්ෂාන්ට හිමිව තිබේ. ඔහුට ඉදිරියෙන් කුමාර් සංගක්‌කාර(41.96) සහ ඇන්ජලෝ මැතිව්ස්‌ (40.45) වෙති.

ඩිල්ෂාන්ගේ අවසන් එක්‌දින තරගය වන හෙට තරගය ජයග්‍රහණයකින් සැරසීමේ අරමුණ පෙරදැරිව තරගයට අවතීර්ණ වනු ලබන අතර එහිදී බොහෝ විට දෙවැනි තරගයට ක්‍රීඩා කරන ලද සංයුතියම ක්‍රීඩා කරනු ඇතැයි අපේක්‌ෂා කළ හැක. කෙසේ වෙතත් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පවතින දැඩි සුළං සහිත කාලගුණය වේග පන්දු යවන්නන්ට තරමක්‌ වාසිදායක බවක්‌ ගෙන දෙන බැවින් බොහෝ විට තරගයේදී වේග පන්දු යවන්නකු එක්‌ කලහොත් එය පුදුමයට කරුණක්‌ නොවනු ඇත.

හෙට තරගය ක්‍රියාත්මක රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරගයක්‌ පවත්වනු ලබන්නේ වසර 2කට ආසන්න කාලයකින් පසුව වන අතර එහි පෙර පැවැති විදුලි ආලෝක තත්ත්වයට වඩා වැඩි ආලෝකයක්‌ හෙට තරගයේදී දැකගත හැකි වනු ඇත. මෙම ක්‍රීඩාංගණයේ අවසන් වරට එක්‌දින තරගයක්‌ පවත්වා ඇත්තේ ඉකුත් 2015 වසරේ පාකිස්‌තානය සමග පැවැති තරගයක්‌ වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට