Home Sinhala පුහුණු තරගයෙන් කැන්ගරුවන්ට එක් කඩුල්ලක තියුණු ජයක්!

පුහුණු තරගයෙන් කැන්ගරුවන්ට එක් කඩුල්ලක තියුණු ජයක්!

75

අවසන් පන්දුව දක්වා ඇදී ගිය තියුණු තරගයකින් අනතුරුව සංචාරක ශ්‍රී ලංකා පිළ පරදවා එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට අද (24) ඕස්ට්‍රේලියානු අගමැතිගේ කණ්ඩායම සමත්විය. ඒ කැන්බරා හිදී ක්‍රියාත්මක වූ පුහුණු තරගය සාර්ථක ලෙස අවසන් කරමිනි. කෙසේවෙතත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ද මෙම තරගය පුරාවට ඉහළ දස්කම් අතරට පැමිණීමට සමත් වූහ.

පාකිස්තානු සංචාරයට සහභාගි නොවූවද නැවතත් විස්සයි විස්ස කණ්ඩායම හා එක්වීමට වාසනාවන්ත වූ ක්‍රීඩකයින් සිව්දෙනා අතරින් එක් අයෙක් වූ නිරෝෂන් දික්වැල්ල විසින් අද කණ්ඩායම මෙහෙයවූ අතර ඔහු කාසියේ වාසිය ශ්‍රී ලංකාවට දිනා දීමටද සමත් විය. ඒ අනුව දික්වැල්ල තීරණය කළේ මුලින් පන්දුවට පහර දීම වඩාත් සුදුසු වන බවයි. ඕස්ට්‍රේලියානු තණතිලි වල හැසිරීම ගැන දන්නා නිත්‍ය නායක ලසිත් මාලිංග අද තරගය සඳහා සහභාගි වූයේ නැත.

නිමාවූ තරගාවලියේ දී සුපිරි දස්කම් අතරට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට අද දිනය එතරම් වාසනාවන්ත නොවූ අතර ඉනිම පුරාවටම කඩුලු බිඳ වැටෙනු දැක ගැනීමට හැකිවිය. එහිදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූයේ ලකුණු 7ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකයි. ඒ කඩුලු රකින්නා උඩපන්දුවක් රැකගත් බවට කළ ඉල්ලීම විනිසුරු විසින් පිලි ගැනීමත් සමඟයි. 

කෙසේවෙතත් ගුණතිලක තමන්ට ලැබුණු තීරණය පිලිබඳ සෑහීමකට පත් නොවූ අතර පුහුණු තරගය වෙනුවෙන් DRS අවස්ථා ලබා දී නොතිබූ නිසා නැවත ක්‍රීඩාගාරය වෙත හැරී යාම මිස ඔහුට වෙනත් විකල්පයක් නොවීය.

භානුක රාජපක්ෂ අද සාර්ථක ඉනිමක පෙරමග ලකුණු පෙන්වමින් පන්දු 17කදී ලකුණු 24ක් ලබා ගත්තද ෆාවඩ් අහමඩ්ගේ කඩුල්ල තුලට තියුණු ලෙස දඟ කැවුණු පන්දුවක් හමුවේ ඔහුට ගැලවීමක් නොවීය. දැවී යන විට භානුක හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කර සිටියේය. ශ්‍රී ලංකා පිළේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ආබාධයකට ලක්වීමෙන් පසු ආරම්භක පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වූ කුසල් මෙන්ඩිසුයි. ඔහු අද පන්දු 10කට මුහුණ දෙමින් රැස් කළේ ලකුණු 7ක් පමණි.

කණ්ඩායමේ නායකයා ලෙස මෙන්ම කඩුලු රකින්නා ලෙසද කටයුතු කරන නිරෝෂන් දික්වැල්ල අද දිනයේ සාර්ථක නොවූ අතර පැඩල් ස්වීප් පහරක් වරද්දා ගනිමින් ඔහු දැවී යනවිට ලකුණු 11ක් පමණක් ලබා සිටියේය. 

මේ අනුව සීග්‍රයෙන් කඩා වැටෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිම යම් තරමකට හෝ බේරා ගත්තේ මේ දිනවල ලකුණු අතර සිටින ඕෂධ ප්‍රනාන්දුයි. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් ප්‍රවේගකාරී ලකුණු 38ක් ලබා ගත්තේය. ඕෂධගේ සටන්කාමී ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

ඕෂධ දැවී යන්නේ අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියෙල් ක්‍රිස්ටියන් යැවූ වේගය අඩාල කළ පන්දුවක් හමුවේ තම කල් මැනීම අසාර්ථක කර ගැනීම නිසයි. ඩැනියෙල් ෆෝලින්ස් යැවූ පා දඟ පන්දුවක් හමුවේ දසුන් ශානක තම කඩුල්ල අහිමි කර ගන්නා විට ලබා සිටියේ ලකුණු 7ක් පමණි. 

මීට අමතරව පසුපෙළ පිතිකරුවෙකු ලෙස අනගි සේවයක් ඉටුකළ වනිඳු හසරංග අද ලබාගත් ලකුණු 26 නිසාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 132ක ඉලක්කයක් ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීමට හැකිවිය.

තම රටේදී මෙම ඉලක්කය පහසුවෙන් ජය ගැනීමේ අටියෙන් ඕස්ට්‍රේලියානු පිළ පිටියට පිවිසියද මුල සිටම එය ඔවුන් සිතූ තරම් පහසු වූයේ නැත. ඒ කැන්ගරු ඉනිමට ලකුණු 26ක් එක් වෙද්දී ඔවුන්ගේ ප්‍රබල කඩුලු 3ක් දඩයම් කර ගැනීමට කසුන් රාජිත සහ නුවන් ප්‍රදීප් සමත් වීම නිසයි. ඒ අතර බිග් බෑග් තරගාවලි වල සුපිරි දස්කම් දක්වා ඇති ක්‍රිස් ලින්ගේ කඩුල්ල මෙන්ම ඕස්ට්‍රේලියානු නවක ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම නම කියවෙන ජේසන් සංගාගේ කඩුල්ලද විය.

කෙසේවෙතත් ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිස තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වූ හැරී නීල්සන් තම කණ්ඩායමේ බලාපොරොත්තු තවදුරටත් රැක දීමට සමත් විය. ඒ පන්දු 50කදී ලකුණු 79ක් රැස් කරමිනි. ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. නීල්සන් හැරෙන්නට අද ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉලක්කම් දෙකේ ලකුණක් රැස් කළේ ඩැනියෙල් ක්‍රිස්ටියන් (13) පමණි. 

මේ නිසාවෙන්ම ඕස්ට්‍රේලියාවට අවසන් පන්දුවාරය සඳහා ලකුණු 10ක් අවශ්‍ය වූ අතර එය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුනේ තම මුල් පන්දුවාර 3ම ලකුණු 11කට නිමාකර තිබූ කසුන් රාජිතටයි. කෙසේවෙතත් ඔහුට ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා ගෙන යාමට නොහැකි වූයේ පසුපෙළ පිතිකරුවෙකු ලෙස සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ෆාවඩ් අහමඩ්ගේ සුවිශේෂී දක්ෂතා නිසාවෙනි. එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ ඔහු ශ්‍රී ලංකාව අත තිබූ ජයග්‍රහණය උදුරා ගැනීමට සමත් විය.

තරගය අවසන් වූයේ අවසන් පන්දුවට ඕස්ට්‍රේලියානුවන් ලබාගත යුතුවූ ලකුණ වයිඩ් පන්දුවක් මගින් සම්පූර්ණ වීමත් සමඟයි. ඒ අනුව ඕස්ට්‍රේලියාවට එක් කඩුල්ලක තියුණු ජයක් හිමිවිය. ඒ වනවිට ෆාවඩ් අහමඩ් නොදැවී ලකුණු 9ක් ලබා සිටියේය. කෙසේවෙතත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු ඉනිම තනිවම ඉදිරියට ගෙන ගිය හැරී නීල්සන්ටයි. 

පන්දු යැවීමේ දී කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 3 බැගින් බිඳ හෙලමින් විශිෂ්ට දක්ෂතා ප්‍රකට කළහ. කෙසේ වුවද නිමාවූ පාකිස්තානු සංචාරයේ දී තරගාවලියේ වීරයා සම්මානය ද දිනාගත් වනිඳු හසරංගට එරෙහිව අද ඕස්ට්‍රේලියානුවන් සාර්ථකව ලකුණු රැස් කරනු දැක ගන්නට ලැබුණි. 

නමුත් පුහුණු තරගය පරාජයට පත් වුවද ශ්‍රී ලංකා පිළ තම බලාපොරොත්තු බිඳ ගැනීමට අවශ්‍ය නොවන්නේ ඔවුන් මෙම තරගයට ලසිත් මාලිංග, කුසල් පෙරේරා සහ ඉසුරු උදාන නොමැතිව සහභාගි වීම නිසයි. එබැවින් සම්පූර්ණ කණ්ඩායමක් ලෙස එකමුතුව ක්‍රීඩා කළහොත් ලබන 27 වැනිදා ඇඩිලේඩ් හිදී පැවැත්වෙන පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයේ දී කැන්ගරුවන් පරාජය කිරීම අපහසු නොවනු ඇත.

Result


Sri Lanka
131/8 (20)

Prime Ministers XI
132/9 (19.5)

Batsmen R B 4s 6s SR
Kusal Mendis c Djali Bloomfield b Daniel Christian 7 10 0 0 70.00
Danushka Gunathilaka c Harry Nielsen b Djali Bloomfield 7 8 1 0 87.50
Bhanuka Rajapakse b Fawad Ahmed 24 17 2 2 141.18
Oshada Fernando c Peter Siddle b Daniel Christian 38 25 3 2 152.00
Niroshan Dickwella c Harry Nielsen b Peter Siddle 11 10 1 0 110.00
Dasun Shanaka c Harry Nielsen b Daniel Fallins 7 10 0 0 70.00
Wanindu Hasaranga run out (Jason Sangha) 26 29 1 0 89.66
Lakshan Sandakan c Peter Siddle b Djali Bloomfield 2 8 0 0 25.00
Kasun Rajitha not out 2 3 0 0 66.67


Extras 7 (b 4 , lb 2 , nb 0, w 1, pen 0)
Total 131/8 (20 Overs, RR: 6.55)
Fall of Wickets 1-10 (1.5) Danushka Gunathilaka, 2-38 (5.4) Bhanuka Rajapakse, 3-40 (6.1) Kusal Mendis, 4-81 (10.4) Niroshan Dickwella, 5-94 (12.1) Oshada Fernando, 6-110 (15.6) Dasun Shanaka, 7-120 (18.3) Lakshan Sandakan, 8-131 (19.6) Wanindu Hasaranga,

Bowling O M R W Econ
Chris Green 4 0 24 0 6.00
Djali Bloomfield 3 0 17 2 5.67
Peter Siddle 3 0 15 1 5.00
Fawad Ahmed 4 0 37 1 9.25
Daniel Christian 3 0 16 2 5.33
Daniel Fallins 3 0 16 1 5.33


Batsmen R B 4s 6s SR
Harry Nielsen c Bhanuka Rajapakse b Kasun Rajitha 79 50 9 1 158.00
Jordan Silk b Nuwan Pradeep 5 8 1 0 62.50
Chris Lynn b Kasun Rajitha 3 7 0 0 42.86
Jason Sangha c Kusal Mendis b Kasun Rajitha 0 5 0 0 0.00
Daniel Christian c Niroshan Dickwella b Lakshan Sandakan 13 15 0 1 86.67
Mackenzie Harvey st Niroshan Dickwella b Lakshan Sandakan 3 8 0 0 37.50
Chris Green st Niroshan Dickwella b Lakshan Sandakan 1 2 0 0 50.00
Peter Siddle b Lahiru Kumara 9 10 0 0 90.00
Daniel Fallins run out (Wanindu Hasaranga) 5 7 0 0 71.43
Fawad Ahmed not out 9 7 1 0 128.57
Djali Bloomfield not out 0 0 0 0 0.00


Extras 5 (b 1 , lb 0 , nb 0, w 4, pen 0)
Total 132/9 (19.5 Overs, RR: 6.66)
Fall of Wickets 1-12 (1.5) Jordan Silk, 2-15 (2.6) Chris Lynn, 3-26 (4.5) Jason Sangha, 4-49 (9.1) Daniel Christian, 5-89 (13.2) Mackenzie Harvey, 6-91 (13.5) Chris Green, 7-108 (16.3) Peter Siddle, 8-119 (18.1) Daniel Fallins, 9-123 (19.1) Harry Nielsen,

Bowling O M R W Econ
Kasun Rajitha 3.5 0 21 3 6.00
Nuwan Pradeep 4 0 26 1 6.50
Lahiru Kumara 4 0 26 1 6.50
Wanindu Hasaranga 3 0 22 0 7.33
Lakshan Sandakan 4 0 21 3 5.25
Danushka Gunathilaka 1 0 15 0 15.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<