ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ආබාධයක්!

1808

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වැනි ක්‍රිකට් තරගය බංග්ලාදේශය සමඟ මේ අඟහරුවාදා (11) බ්‍රිස්ටල් හිදී පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් අද (9) පැවති පුහුණු සැසි වාරයක් අතරතුර වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව ඇත.

“ඩිවිලියර්ස් ප්‍රමාද වුනා වැඩියි” – දකුණු අප්‍රිකානු පුහුණුකරු

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු සංචිතයට ඒ. බී. ඩිවිලියර්ස්ව තෝරා නොගැනීම පිළිබඳව…

ප්‍රදීප්ගේ දකුණු අතෙහි සුලැඟිල්ලෙහි පන්දුව වැදීම නිසාවෙන් ඔහු ආබාධයට ලක් වී තිබේ. බංග්ලාදේශ තරගය වෙනුවෙන් ප්‍රදීප් ඇතුළු කණ්ඩායම දැල තුල පුහුණුවීම් වල නිරත වෙමින් සිටිය දී පන්දුව යොමු කළ පසුව කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා විසින් නැවත පන්දුව ප්‍රදීප් වෙත ඒවා තිබෙන අතර එහි දී පන්දුව රැකගැනීමට යාමේ දී ප්‍රදීප් මෙලෙස ආබාධයට ලක්ව තිබේ.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රථමාධාර ඒකකය ඒ සඳහා අවශ්‍ය ඉක්මන් ප්‍රතිකාර සිදු කළේය. කෙසේ නමුත් තවමත් ප්‍රදීප්ගේ ආබාධය ඔහුට ඉදිරි තරගවලට බලපෑමක් කරනවා ද, නැද්ද යන්න තීරණය වී නොමැත‍.

දකුණතින් වේගපන්දු යවන ප්‍රදීප් පසුගිය දා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයේ දී සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් එම ජයග්‍රහණයේ එක් නියමුවෙක් බවට පත්විය.

යම් හෙයකින් ප්‍රදීප් හට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග මඟහැරී ගියහොත් මේ වන විට කණ්ඩායම සමඟ එංගලන්තයේ සිටින අතිරේක ක්‍රීඩකයින් 4 දෙනා අතරින් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට ප්‍රදීප්ගේ තැන හිමිවෙනු ඇත.

“නුවන් ප්‍රදීප්ගේ ඇඟිල්ලේ අස්ථි බිඳීමක් වෙලා නැහැ. පිහිටීමේ වෙනස් වීමක් විතරයි වෙලා තියෙන්නේ. ඔහුට බංග්ලාදේශ තරගය මඟ හැරෙන්න පුළුවන්. නමුත් වෛද්‍යවරුන් පවසපු ආකාරයට සතියකින් වගේ ඔහුට ආධාරකයක් භාවිතා කරමින් හෝ පන්දු යවන්න පුළුවන් වේවි.” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් ThePapare.com වෙත පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය මේ මස 11 වැනි අඟහරුවාදා බංග්ලාදේශය සමඟ බ්‍රිස්ටල් හිදී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<