සිංගර් – වෙළඳ සේවා ක්‍රිකට් සංගම් පිළිමලුන් පිටු දැකීමේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට MAS යුනිචෙලා, ඩිමෝ, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් සමත් විය. ඒ අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී MAS ඇක්ටිව්, සම්පත් බැංකු, හැටන් නැෂනල් බැංකු සහ ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම් පරාජය කරමිනුයි.

පසුගිය ලිපි: MAS යුනිචෙලා කණ්ඩායම ශූරතාවය දිනා ගනී

MSA යුනිචෙලා සහ MAS ඇක්ටිව් අතර තරගය

වෙළඳ සේවා ලීග් තරගාවලියේ ශූරයන් ඔවුන්ගේ සහෝදර ප්‍රතිවාදීන් වන MAS ඇක්ටිව් කණ්ඩායම පහසුවෙන් පරාජය කරන්නට සමත් විය. කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් MAS ඇක්ටිව් ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 201ක් පමණයි. දිල්ශාන් මුණවීර ලකුණු 55කින් සහ නායක ජෙහාන් මුබාරක් ලකුණු 44කින් කණ්ඩායමට දායකත්වය ලබා දීමට සමත් වුවත් ලහිරු ජයරත්න සහ ෆර්වීස් මහරූෆ් ඔවුන්ගේ වේග පන්දුවේ බලයෙන් කඩුලු 6ක අයිතිය සමව බෙදා ගැනීමත් සමඟ MAS ඇක්ටිව් කණ්ඩායමේ ඉදිරි ගමන අඩාළ විය.

යලිත් වරක් ධනුෂ්ක ගුණතිලකගේ පිත්ත වේගවත්ව ක්‍රියාත්මක වුනේ ලකුණු 202ක පහසු ඉලක්කය තවත් පහසු කරවමිනුයි. පන්දු 72ක් තුල හතරේ පහර 10ක් සහ අහයේ පහර 6ක් සමඟින් ක්‍රියාත්මක වූ ධනුෂ්කගේ ඉනිම අගනා ශතකයකට ලකුණු 4ක් මෙපිටින් නතර වූයේ අවාසනාවන්ත අයුරිනි. අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කර යන්නට MAS යුනිචෙලා කණ්ඩායම වැය කලේ පන්දුවාර 31ක් පමණයි.

ලකුණු පුවරුව –

MAS ඇක්ටිව් – 201/9 (50): ඩිල්ශාන් මුණවීර – 55, ජෙහාන් මුබාරක් – 44*, TM සම්පත් – 26, ලහිරු ජයරත්න – 3/37, ෆර්වීස් මහරූෆ් – 3/47.

MAS යුනිචෙලා- 204/3 (30.3) : ධනුෂ්ක ගුණතිලක – 96, මහේල උඩවත්ත – 37, තිලක්ෂ සුමනසිරි – 28*, TM ඩිල්ශාන් – 20*.

MAS යුනිචෙලා කණ්ඩායමට කඩුලු 7ක ජයක්.


ජෝන් කීල්ස් සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් අතර තරගය

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ පැවති මේ තරගයෙන් ලකුණු 155ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය. ජෝන් කීල්ස් ජයග්‍රහණයේ නියමුවන් බවට පත්වූ මනෝජ් සරත්චන්ද්‍ර සහ ජනක ගුණරත්න අගනා ශතක වාර්තා කිරීම කැපී පෙනුනි.

සරත්චන්ද්‍ර පන්දු 121කින් ලකුණු 133ක් රැස් කළේ හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟයි. පන්දු 89කින් වාර්තා වූ ගුණරත්නගේ ලකුණු 123ක ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ඇතුලත් විය.

ලකුණු 359ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 203ක් පමණයි. විකුම් බණ්ඩාර සහ මධුශාන් රවිචන්ද්‍රකුමාර් අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදී.

ලකුණු පුවරුව –

ජෝන් කීල්ස් – 358/9 (50) : මනෝජ් සරත්චන්ද්‍ර – 133, ජනක ගුණරත්න – 123, මාධව වර්ණපුර – 2/55, සචින් ජයවර්ධන – 2/56.

හැටන් නැෂනල් බැංකුව – සියල්ලන් දැවී – 203 (42.5) : සචින් ජයවර්ධන – 67, සජීව වීරකෝන් – 27, විකුම් බණ්ඩාර – 3/34, මධුශාන් රවිචන්ද්‍රකුමාර් – 3/21, ශානුක දුලාජ් – 2/25.

ජෝන් කීල්ස් කණ්ඩායමට ලකුණු 155ක ජයක්


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම් අතර තරගය

චතුරංග ද සිල්වා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම පරදවා අගනා ජයක් ලබන්නට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත් විය. කොළඹ NCC ක්‍රීඩාංගනයේ පැවති මේ තරගය ඔවුන් ජය ගත්තේ ලකුණු 35කිනුයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පන්දුවාර 46.5ක් තුල සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 229ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චතුරංග ලකුණු 66ක් ලබා ගන්නට සමත් විය. මිලින්ද සිරිවර්ධන සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3 බැගින් දවා ගන්නා ලදී.

ලකුණු 230ක එතරම් අපහසු නොවූ ඉලක්කයක් හඹා ගිය ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමට එම ඉලක්කය සපුරා ගැනීමේ මග අවහිර කල චතුරංග ද සිල්වා තම වමත් දඟ පන්දුවෙන් පිටියේ පෙරලියක් සිදු කලේ පිතිකරුවන් 5 දෙනෙක් නැවත ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි. නායක මිලින්ද සිරිවර්ධන ලකුණු 79ක් සහ ඩිලාන් ජයලත් ලකුණු 46ක් ලබා ගන්නට සමත් වුවත් චතුරංගගේ පන්දුවේ බලය බිඳ දමන්නට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවුනි.

ලකුණු පුවරුව –

කොමර්ෂල් ක්‍රෙඩිට් – සියල්ලන් දැවී – 229 (46.5) : චතුරංග ද සිල්වා – 66, සුරාජ් රන්දීව් – 28, මිලින්ද සිරිවර්ධන – 3/51, ජෙෆ්රි වැන්ඩර්සේ – 3/54.

ටෙක්ස්චර්ඩ් ජර්සි  – සියල්ලන් දැවී – 194 (36.4) : මිලින්ද සිරිවර්ධන – 79, ඩිලාන් ජයලත් – 46, චතුරංග ද සිල්වා – 5/36.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට ලකුණු 35ක ජයක්.


සම්පත් බැංකු සහ ඩිමෝ කන්ඩායම් අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගනයේදී පැවති මේ තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කරන්නට ඩිමෝ කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගත් ඩිමෝ නායකයාගේ ආරාධනයෙන් පලමුවෙන් පන්දුවට පහර දුන් සම්පත් බැංකු කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 149ක් පමණි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් වන කෞෂාල් සිල්වා ලකුණු 34ක් සහ දසුන් ශානක ලකුණු 32ක් ලබා ගත්තද, පුලින තරංග ප්‍රමුඛ ඩිමෝ පන්දු යවන්නන් හමුවේ අනෙකුත් පිතිකරුවන් බොහෝ දෙනෙක් අසාර්ථක විය.

ලකුණු 150ක පහසු ඉලක්කය පසු කර යන්නට ඩිමෝ කණ්ඩායම වැය කළේ පන්දුවාර 17.2ක් සහ කඩුලු 4ක් පමණයි.

ලකුණු පුවරුව –

සම්පත් බැංකුව – සියල්ලන් දැවී –149 (32.4) : කෞෂාල් සිල්වා – 34, දසුන් ශානක – 32, පුලින තරංග – 3/35, නිසල තාරක – 2/47.

ඩිමෝ කණ්ඩායම  – 152/4 (17.2) : නිපුන් කරුණානායක – 68, ලසිත් අබේරත්න – 44, කසුන් රාජිත  3/40.

ඩිමෝ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

සිංගර් –  වෙළඳ සේවා පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 15 වැනිදා (15/10/2016) පැවැත්වීමට නියමිතයි.

එහිදී MAS යුනිචෙලා සහ ඩිමෝ කණ්ඩායම අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගනයේ දීත් , කොමර්ෂල් ක්‍රෙඩිට් සහ  ජෝන් කීල්ස් අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගනයේදීත් පැවැත්වීමට නියමිතයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට