නිහඬ ලෝක කුසලානයක උණුසුම ගෙන දුන් ශ්‍රවණාබාධිතයෝ

358

ලක්මවට තවත් ක්‍රිකට් ලෝක කුසලානයක් හිමිව තිබේ. අපි ඊට අත්පොලසන් නද දුන්නෙමු. එහෙත් ඔවුන්ට එහි වගේ වගක් තිබුණේ නැත. දුටු දෙයින් සෑහීමකට පත් වූ බවක් අඟවමින් ඔවුන්ගේ මුවේ නැගුණ සිනහවක් පමණි අප දුටුවේ. කයිවාරු කතා කිසිවක්ම නැත. ඒ මේ ලෝක කුසලානය ශ්‍රවණාබාධිතවූවන්ගේ වීම නිසා ය.

එදා 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුව පන්දුවාර 50 ලෝක කුසලානය රැගෙන එද්දීත්, 2014 වසරේ දී ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතුව විස්සයි විස්ස ලෝක කුසලානය රැගෙන එද්දීත් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ වීදි පුරා සැරිසරමින් එය සැමරූ අයුරු අපට මතකය. එහි උණුසුමින් රත් වූ අප අදත් ඒ මතකයන් තලු මර මරා භුක්ති විදිමු. නමුත් මෙවර දිනූ ලෝක කුසලානය ගැන වැඩි කතාබහක් නැත. සද්ද බද්ද නැත. එහෙත් ඒ කුසලානය ද අපේම වූ සහෝදරයන් රැසකගේ ශක්තියයි.

තවත් ලෝක ක්‍රිකට් කිරුළක් ශ්‍රී ලංකාවට

පළමු වතාවට සංවිධානය කරනු ලැබූ විස්සයි විස්ස ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය 23 වැනිදා සිට ඉන්දියාවේ ගුරුග්‍රාම් හිදී පැවැත්වුණු…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ද අනුග්‍රහයෙන් යුතුව ශ්‍රවණාබාධිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවති පළමු ශ්‍රවණාබාධිත වූවන්ගේ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සංවිධානය වන්නේ ඉන්දියාවේ සත්කාරකත්වයෙනි. මෙම තරගාවලිය සඳහා සත්කාරක ඉන්දියාව සමඟ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව සහභාගී විය.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට පමණක් පරාජය වී අවසන් තරගය මෙන්ම අනෙකුත් සෑම තරගයක්ම ජය ගන්නේ ය.

නවදිල්ලි නුවර දී පැවති අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමින් ශූරතාව දිනා ගන්නේ ය. අවසන් තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන නායක ගිමඳු මැල්කම් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ද වන්නේ ය.

Photo Album: Sri Lanka Deaf Cricket Team Preview 2018/19

මේ ජයග්‍රහණය පිටුපස මහා සෙවණැල්ලක් ද විය. ඒ පුහුණුකරු උෂාන්ත ගුණරත්න මහතා ය. අර්ජුන සේ ම මාලිංග ද මෙරට ට ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවන් රැගෙන එද්දී එම කණ්ඩායම්වල පුහුණුකාරීත්වයේ කටයුතු කළේ විදෙස් ජාතිකයෙක් ය. නමුත් මෙවර එසේ නොවේ. මෙවර දිනූ ලෝක කුසලානයට අපේ කොල්ලන්ට පුහුණුව ලබා දුන්නේ අපේම කෙනෙකි. ඒ අනුව අපේම රටේ අපේම පුහුණුකරුවෙක්ගේ දායකත්වය මත ලබා ගත් පළමු ක්‍රිකට් ලෝක කුසලානය ලෙසින් ද මෙය ඉතිහාස ගත වන්නේ ය.

“රට වෙනුවෙන් මේ විදිහේ සේවයක් කිරීමට ලැබීම ගැන සතුටුයි. ඇත්තටම මේ ජයග්‍රහණය සුවිශේෂී වුනා. මොකද අපි මේ තරගාවලියට සහභාගී වුනේ අඩු-පාඩු විශාල ප්‍රමාණයක් තියාගෙන. කොටින්ම අපිට සම්බාහකයෙක්වත් හිටියෙ නැහැ. අනිත් එක තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් හතර පස් දෙනෙක්ම අසනීප වුනා. සමහර ක්‍රීඩකයෝ සෙල්ලම් කළේ ඒ අසනීප තියාගෙන. ඔවුන්ට අවශ්‍ය වුනේ මේ තරගාවලියේ දී අපේ දක්ෂතා ලෝකයට කියන්න. ඔවුන්ගේ කැපවීම සුවිශේෂීයි. පුහුණුවීම්වලදීත් තරගවලදීත් ඔවුන් එකාවගේ කටයුතු කළා. මේ ජයග්‍රහණයට හේතු වුනේ ඔවුන්ගේ ඒ එකමුතුකම. ” උෂාන්ත ගුණරත්න ThePapare.com සමඟ එකුවෙමින් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ශ්‍රවණාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය දශක දෙකකට එහා ගිය එකකි. මේ කාලය තුළ ඔවුන්ට විදෙස් තරග ලැබුණි නම් ඒ අතරින් පතර ය. මංගල විස්සයි විස්ස ලෝක කුසලානයට ඇරියුම් ලැබෙන්නේ ද එවැනි වටපිටාවක ය.

“මේ තරගාවලියට සහභාගී වෙන කොට ලොකුවට හිතාගෙන ගියේ නැහැ. ඇත්තටම එහෙම හිතන්න තරම් උණුසුමක් තිබුනෙත් නැහැ. නමුත් ගියාට පස්සෙ තමයි දැන ගත්තේ මේක ලොකු ඉවෙන්ට් එකක් කියලා. අනිත් එක මේ තරගාවලියට කලින් මම මේ කණ්ඩායම බාර ගන්නෙත් තරමක් අදිමදි කරලා. මොකද අපි අතර අදහස් හුවමාරු කර ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතු වුනා. නමුත් දවසෙන් දෙකෙන් මට ඉතා පහසුවක් දැනුණා. අපේ අය හදනවට වඩා මේ අය හදන්න පහසු වුනා. ඔවුන්ගේ අඩුවකට තියෙන්නේ ශාරීරික ආබාධය විතරයි. නමුත් ඔවුන්ගේ හිත් ඉතා ශක්තිමත්.”

කාලයක සිටම ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරුවේ ජයලත් අපොන්සු මහතා ය. ඔහු කටයුතු කරද්දීම ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කරන ලද ඉල්ලීමකට අනුවයි උෂාන්ත ගුණරත්න මහතා එම තැනට පැමිණෙන්නේ.

“ජයලත් අයියත් එක්ක වැඩ කරන්න කිසිදු අපහසුවක් තිබුණේ නෑ. ඔහු මගේ ෂෙඩූල්වලට වැඩ කරන්න ඉඩ දුන්නා. අපහසුවක් කියල හිතාගෙන ආපු වැඩේ පහසු කළේ ජයලත් අයියා. අපි දැන් මාස 6ක පමණ කාලයක් තිස්සේ වැඩ කරනවා. ඒ මොනව වුනත් මුල් කාලෙ නම් භාෂාවෙ ටිකක් අවුලක් තිබුණා. ඔවුන්ගේ භාෂා විලාසය මම දැනගෙන හිටියෙ නැහැ. ඔවුන්ට මම කියන දේ තේරෙන්නේ නැහැ. නමුත් අපි දෙගොල්ලම ක්‍රිකට් දැනගෙන හිටියා. අන්තිමට මම ක්‍රිකට් භාෂාවක් අපි දෙගොල්ල අතර හදාගත්තා. ඒක තනිකර ම බොඩි ලැන්ග්වේජ් එකක්.”

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම ගොඩ නැංවීමේ දී කොළඹ, හම්බන්තොට වගේම යාපනයේ ද ක්‍රීඩකයන් සම්බන්ධ වී ඇත. ඔවුන් සංචිත තුනක් යටතේ කණ්ඩායම් ගත කරමින් ටිකෙන් ටික අඩු කරමින් අවසන් 15 දෙනා දක්වා පැමිණ ඇත.

“කණ්ඩායම සූදානම් කළත් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙන අනෙකුත් කණ්ඩායම් ගැන දැන නොසිටීම ටිකක් විතර අවුලක් වගේ දැනුණා. මොකද අපි අනෙකුත් තරගවලට යන්නේ අපේ ප්‍රතිවාදී කණ්ඩායම් ගැන දැනගෙන. ඒත් මෙතැන එහෙම දෙයක් තිබුණේ නැහැ. ටිකක් හරි දැනුවත් වෙලා හිටියේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම ගැන විතරයි. අනිත් එක අපිට තිබුණ අඩු-පාඩු අපිව ටිකක් පිටු පස්සෙන් තිබ්බා. නමුත් මම තරගාවලියට සහභාගී වෙන විට සංගමයේ නිලධාරීන්ට කිව්වා ලෝක කුසලානය ගේනවාමයි කියලා. මම එහෙම කිව්වේ මට අවශ්‍ය වුනේ ඔවුන් අවුරුදු ගණනාවක් පුරා මේ අය කරපු සේවාවට ගරු කිරීමක් කිරීමටයි. ඒ වගේම මම මගේ කොල්ලන්ටත් ඒකම ඒත්තු ගැන්වුවා. කොල්ලො ටිකත් හොඳ මොරාල් එකෙන් තමයි ගමන ගියේ.”

එසේ ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන්ම තරග වදින්නේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟය. ඔවුන් පළමු පන්දුවාර 5ට කිසිදු කඩුල්ලක් නොදී ලකුණු 52ක් ලබා ගන්නේ ය. එය නියත පරාජයක ලකුණු පහළ කරන්නක් විය. නමුත් එතැන් සිට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ගේ ඉනිම ලකුණු 102කට සීමා කරන්නේ ය.

ලැබූ එම ජයග්‍රහණය ලෝක කුසලානය දිනා ගත්තා හා සමාන විය. ඒ සතුටත් සමඟින් ඔවුන් දෙවැනි තරගය සඳහා සහභාගී වෙන්නේ දකුණු අප්‍රිකාව සමඟය. එම තරගයේ දී ලකුණු 18ක පරාජයක් ලැබූ අපේ ක්‍රීඩකයෝ නැවත තෙවැනි තරගයේ දී දක්ෂතා අතරට පිවිසෙමින් නේපාල කණ්ඩායමට එරෙහිව ලකුණු 186ක ජයග්‍රහණයක් ලබා ගන්නේ ය. නේපාලයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 228ක් ලබා ගන්නා අතර එය තරගාවලියේ කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූවා සේ ම තරගාවලියේ වැඩිම පරතරයක් තබා ගනිමින් ජයග්‍රහණය කළ තරගය ලෙසින් ද එය වාර්තා පොත් අතරට එක් විය.

“ඊට පස්සෙ තමයි අපි ලොකු අමාරුවක වැටුණේ. එක් ක්‍රීඩකයෙක් තරගාවලිය පුරාවටම සහභාගී කර ගන්න බැරි විදිහට අනතුරකට ලක් වුනා. තවත් කිහිප දෙනෙක්ට උණ ගැනුණා. දෙවැනි වටය පටන් ගනිද්දී අපේ නිලධාරීන් වැඩි දෙනා හිටියෙ ඉස්පිරිතාලවල. මොකද සැරින් සැරේ එක එක්කෙනා ඉස්පිරිතාලෙට ගෙනියන්න වුනා. සමහර අය ක්‍රීඩා කරන්න බැරි තත්ත්වයේම හිටියා. නමුත් ඔවුන්ට අපේ අවශ්‍යතාව මතක් කළාට පසුව අමාරුවෙන් හරි ඔවුන් සෙල්ලම් කරන තැනට වැටුණා. ඒක අමතක කරන්න බැරි මතකයක්.”

මේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දීමට වෙහෙස වූ අපේ ක්‍රීඩකයන් රැසකගේ නොදුටු කතාව ය. ඔවුන් මේ වෙනුවෙන් කළ කැපවීම කොතෙක් ද යන්න උෂාන්ත ගුණරත්න මහතාගේ කතාවෙන් ම වටහා ගත හැකිය.

“මේ කණ්ඩායම ම එකා වගේ මහන්සි වුනා. ඒක පුහුණුවීම්වල සිටම වූ දෙයක්. ඔවුන්ට ක්‍රිකට් ගැන කතා කරන්න බැරි වුනත්, ක්‍රිකට් දකිනවා. ක්‍රිකට් ගැන ලොකු උවමනාවක් තිබුණා. ඔවුන් ඇගේ තිබුණ ක්‍රිකට් එක ගැහුවා මිසක් දැනගෙන ගැහුවේ නැහැ. තාක්ෂණය පැත්තෙන් ඔවුන් හිටියෙ මදක් පිටුපස්සෙන්. මම මුලින් කළේ ක්‍රිකට් තාක්ෂණ ඥානය ඔවුන්ට ලබා දීම. ඔවුන් ඒක භක්තියෙන් වැළඳ ගත්තා. ඒ තුළින් ඔවුන් තුළම ආත්ම විශ්වාසයක් ඇති කළා. ඔවුන් ඒ දේවල් අවශ්‍ය තැන දී පාවිච්චි කළා. මේ ජයග්‍රහණයට ඒකත් හේතුවක් වුනා.”

ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා මෙරටට ආ දා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේ මෙම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය යටතට ගනිමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන සැම පහසුකමක් ලබා දෙමින් ඔවුන් තව තවත් ජාතික තත්තවයට පත් කරන බවයි. එය එසේම සිදු වෙන්නේ නම් මේ ක්‍රීඩකයන් ලැබූ තවත් ජයග්‍රහණයක්ම වන්නේ ය.

“මේ ජයග්‍රහණය පිටුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රැඳී සිටිනවා. විශේෂයෙන්ම මේ තනතුර වෙනුවෙන් මාව නිදහස් කිරීම ම ගරු කටයුත්තක්. ඒ වෙනුවෙන් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ අනුර වීරසිංහ මහතා කළ මැදිහත් වීම්වලට ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම අපේ පුහුණුවීම්වලට මොරටු ක්‍රිකට් පිටිය වගේම ගෘහස්ථ පුහුණුවීම් වෙනුවෙන් ලබා දුන් පහසුකම් ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. ඒ වගේම ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම මේ තැනට ගෙන ඒමේ දී සහයෝගය ලබා දුන් සෑම දෙනෙක්ටම මම අපේ ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.“ උෂාන්ත ගුණරත්න මහතා පැවසුවේ ය.

මේ ජයග්‍රහණය අද ලබා හෙට දවසේ විනාශ කර ගත යුතු නැත. එය තව දුරටත් පවත්වා ගෙන යා යුතු ය. ThePapare.com අපගේ බලාපොරොත්තුව වෙන්නේ එයයි. අපි මේ කතාව අවසන් කරන අටියෙන් ඒ ගැන ද ඇසුවෙමු.

අවුරුදු 50 දී ටෙස්ට් වරම් ලබන රුචිර පල්ලියගුරුගේ

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හීනය වෙලා තියෙන්නේ තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට කොහොම හරි ක්‍රීඩා කරන එක. එහෙම කරගන්න බැරි වෙන ගොඩක්…

“ඇත්ත. අපි ලෝක ශූරයන් වෙලා දැන් ඉතිං ගෙවල්වලට වෙලා ඉඳල වැඩක් නැහැ. මේක ආරක්ෂා කර ගත යුතුයි. එහෙම නම් අපි තව තවත් තරග අත්දැකීම් ලබා ගත යුතුයි. අපිට අඩුම ඒ පහසුකම. ජයලත් අයියගෙත් මගෙත් අදහස වෙන්නේ අපේ මේ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් තරගාවලිය වෙනුවෙන් අපේ ක්‍රීඩකයන්ටත් සහභාගී වීමට අවස්ථාව ඉල්ලා සිටීමටයි. එතැනට සුදුසු ක්‍රීඩකයන් අපි අතර ඉන්නවා. හොඳම උදාහරණය තමයි අපේ කණ්ඩායමේ නායකයාගේ දක්ෂතා දුටු දකුණු අප්‍රිකානුවෝ ඔහුව ඒ රටට ඉල්ලුවා. ඔහු මේ තරගාවලියේ දී ලකුණු 320කට අධික ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා. ඔහු තමයි තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගන්නේ. ඒ වගේම හොඳ දක්ෂ ක්‍රීඩකයන් හතර පස්දෙනෙක් අපේ කණ්ඩායමේ ඉන්නවා. ඔවුන් කිසිදු බයක් නැතිව ජාතික මට්ටමේ ක්‍රීඩකයන් හා කරට කර දාන්න පුළුවන්. ඔවුන්ගේ දක්ෂතා රැක ගන්න නම් ඔවුන්ට පුහුණුව විතරක් මදියි. තව තවත් තරග අවස්ථාවන් දිය යුතුයි.”

නිහඬ ලෝක කුසලානයක උණුසුම ලබා දුන් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමටත්, මේ කණ්ඩායමේ සැඟවුණ දක්ෂතා ලෝකය ඉදිරියේ නිරාවරණය කළ සියලු දෙනාටත් ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ සංක්ෂිප්ත ලකුණු පුවරුව.

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 9ක් දැවී  145 (20) ගිමඳු මැල්කම් 41, සුමුදු ලංකා 22, සම්පත් ජයසිංහ 19 , නදීම් ශායික් 17/2, ජටින්ද්‍ර ත්‍යාගි 32/2

ඉන්දීය ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 109 (17.5) සායි ආකාස් 29, රෝහිත් සයිනි 23, ජටින්ද්‍ර ත්‍යාගි 21, ගිමඳු මැල්කම් 25/3, ඇලන් රූස් කාලිප් 21/2,  සුමුදු ලංකා 20/2

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම; ගිමඳු මැල්කම් (නායක) සුමුදු ලංකා (උප නායක) තාරක සම්පත් ජයසිංහ, ලක්ෂාන් ප්‍රනාන්දු, තරින්ද්‍ර දීපික විමලවීර, ගොයුම් ශානක වල්ගම (කඩුලු රකින්නා) චාමර ඩිල්ශාන්, ඇලන් රූස් කාලිප්, උෂාන් ලක්ෂිත, නුවන් හසරංග, දිනුක සචින්, ජානක තරංග

නිලධාරි මණ්ඩලය; ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය (කණ්ඩායම් කළමණාකාරිනි) උශාන්ත ගුණරත්න (පුහුණුකරු) ජයලත් අපොන්සු (පුහුණුකරු) එම්. එල්. බ්‍රයන් ද කෘස් (Interpreter) මොහොමඩ් නසීර් (සභාපති ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමය) හේමජිත් වජිර කුමාර (ලේකම් – ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමය) රෝහිත කොට්ටහච්චි (ක්‍රිකට් විනිසුරු)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<